කතුවැකි

එකෙකුගේ නොසැලකිල්ල රටක වැනසිල්ලට හේතු වේ

ජනතාවට අසීරුතාවන්ට මුහුණ දීමට සිදුව ඇතත්, අඛණ්ඩව දින තුන හතරක් තිස්සේ ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ප්‍රතිඵල අත්කර දී තිබේ. ඇඳිරි නීතිය පැවැති කාලය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිය යුතු මට්ටමකින් පහත බැස ඇත. එහෙත් තවමත් අනතුර මුළුමනින්ම පහව ගොස් නැත. මේ නිසා තවත් දින කිහිපයක් එදිනෙදා හුරුපුරුදු කටයුතුවලින් බැහැරව නිවසට වී සිටීමට අපට සිදුව තිබේ. මේ අන්දමට කොතෙක් කල් නිවසට වී සිටීමට සිදුවනු ඇත්දැයි කිව නොහැක.

යම් යම් අතපසුවීම් සිදු වුණත්, ලොව දියුණු යැයි කියන රටවල් සමග සසඳන විට මේ දක්වා කොරෝනා පාලනයේදී අප රටක් ලෙස සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. කවුරුන් කෙසේ කීවත් මේ ප්‍රතිඵලයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ආරක්ෂක අංශවල මැදිහත් වීමය. වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍යය සේවා කැපවීමෙන් ඉහළ වෘත්තීය නිපුණතාවක් පෙන්නුම් කරමින් කටයුතු කළත් ආරක්ෂක අංශ මැදිහත් නොවන්නට ඔවුන්ගේ උත්සාහයද ඵලරහිත වන්නට ඉඩ තිබිණ.

ආරම්භයේදීම ජනතා සහය උපරිම වශයෙන් ලැබුණේ නම් තැති ගැන්මකින් තොරව අපට රෝගය පාලනය කරගන්නට අවස්ථාව ලැබෙන්නට ඉඩ තිබූ බව අප කවුරුත් පිළිගන්නා කාරණයකි. ආණ්ඩුවට ඇඳිරිනීතිය පනවන්නට සිදු වුයේද ඇතැම් පිරිස් තත්ත්වයේ බරපතළකම තේරුම් නොගැනීම නිසාය.

දැන් යම් තරමකට රෝග ව්‍යාප්තිය අඩපණ වී තිබෙන වාතාවරණයක අභියෝගය බවට පත්ව තිබෙන්නේ ජනතාවගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමය. ආණ්ඩුව ඒ සඳහාද යම් යම් වැඩපිළිවෙළ සකස් කර ඇති බව වාර්තා වී තිබේ. ජනතාවට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න ගැන පූර්ව අවබෝධයක් ඇතිව කටයුතු කිරීම වගකිවයුතු ආණ්ඩුවක ලක්ෂණයකි. එසේ වුවත් ඉහළින් සකස් කෙරෙන ඕනෑම සැලසුමක් සාර්ථක යැයි කිව හැක්කේ එහි ප්‍රතිලාභ ලබන තැනැත්තාගේ තෘප්තිය මතය. මේ නිසා ජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා සකස් කර ඇති සැලසුම් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැනත් අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

මෙවැනි හදිසි තත්ත්වයකදී භාණ්ඩ සැපයුම සාමාන්‍ය පරිදි සිදු වේ යැයි අපේක්ෂා කළ නොහැකිය. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමකි. මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඇඳිරි නීතිය ඉවත් කරන කෙටි කාලයකදී විශාල පිරිසක් එක්වර වෙළෙඳසල් වෙත පැමිණීමය. මෙවන් තත්ත්වයකදී ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම මගහරවා ගැනීමට අනුගමනය කළ යුතු පියවර නිවේදනය කර ඇතත් ඒවා කොතෙක් දුරට ප්‍රායෝගිකද යන්න ප්‍රශ්නයකි. මේ නිසා ගම් මට්ටමින් හෝ ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් ඇඳිරිනීතිය තිබියදීම ජංගම අලෙවි රථ යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවියට පියවර ගැනීම වඩා උචිත පියවරක් වනු ඇත.

ප්‍රාදේශීය සභා, නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවලට මේ කටයුත්ත පරිපාලනය කළ හැකිය. මෙහිදී තමන්ගේ බල ප්‍රදේශවල සිටින එදිනෙදා ජීවිකාව සපයා ගන්නා ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ද පළාත් පාලන ආයතනවල සුවිශේෂී අවධානයක් යොමු කිරීම වැදගත්ය. මෙහිදී නිර්මාණාත්මකව සිතා කටයුතු කළ පළාත් පාලන ආයතනද තිබේ. හෝමාගම එබඳු පළාත් පාලන ආයතනයකි.

වැදගත්ම කාරණය වන්නේ ආණ්ඩුව කුමන පියවරක් ගත්තත් ඒවා සාර්ථක වන්නේ ජනතාව ලෙස අප දක්වන දායකත්වය මත බව සිහි තබා ගැනීමය. ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු බොහෝ නගරවල වෙළෙඳසල් වෙත පැමිණි ජනයා ආරක්ෂාකාරී ලෙස කටයුතු කළ බව දක්නට ලැබීම සතුටට කාරණයකි. එසේ වුවත් ඇතැම් තැනක ජනතාව ආරක්ෂක උපදෙස් නොතකා කටයුතු කරනු දක්නට ලැබිණ. මේ අයගේ හැසිරීම – කොරෝනාවට එරෙහිව රටක් ලෙස අප සියලු දෙනා ගෙන යන වැඩපිළිවෙළ අඩාළ කරන්නක් බව කිව යුතුය.

ඇතැමකු හදිසි නීති රෙගුලාසි නොතකා කටයුතු කරන බවද වාර්තා වී තිබේ. මේ අය මෙලෙස කටයුතු කරන්නේ නොදැනුවත්කම නිසා නොව, නොසැලකිල්ල නිසා බව පැහැදිලිය. මේ නිසා මෙවැනි අය සම්බන්ධයෙන් ඉතා උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමය.

මේ අතර කොරෝනා තර්ජනය භයානක අදියරකට පැමිණ තිබියදීත්, නිරෝධායන නියමයන් පිළිපැදීම ප්‍රතික්ෂේප කරන අය ගැනද වාර්තා වී තිබේ. මෙවැනි අය හැඳින්වීමට ‘අමනයන්’ යන වචනයට වඩා සුදුසු වචනයක් සොයාගත නොහැකිය. රට තුළ කොරෝනා වසංගතය මේ තරම් දුරට පැතිර යන්නට ආරම්භ​යේදී මෙවැනි පිරිසකගේ හැසිරීම හේතුවක් වූ බව මේ වන විට ඉතා හොඳින් තහවුරු වී තිබේ. මෙවැනි අමනයන්ට නම් නූතන යුගයේ දඬුවම් සියුමැලි වැඩිය. ඔවුන්ට දිය යුත්තේ රජකාලේ දඬුවම්ය.

අප දැනුවත්ව තවත් කෙනකුගේ ජීවිතය අවදානමකට ලක් කරන්නේ නම් එය අපරාධයකි. ශිෂ්ට සම්පන්න මිනිසුන් ලෙස අප හැම විටම අනෙකාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුය. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සලකන විට මෙහි විශේෂත්වයක් තිබේ. එනම් අපගේ නොසැලකිල්ලෙන් හෝ තව කෙනකුගේ ජීවිතය අවදානමකට පත් කරන විට පළමුව අවදානමට ලක් වන්නේ තමන් වීමය. මේ නිසා අනෙක් අය ගැන සිතන්නට නොහැකි නම් තමන් ගැන සිතා හෝ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නට කටයුතු කරමු. එවිට සියලු දෙනා සුරක්ෂිත වනු ඇත.