කතුවැකි

එක්ව නැගිටිමු – තනිව ගොඩ යමු

ජාතික ව්‍යසන අවස්ථාවකදී ඇසෙන ජනප්‍රිය පාඨයක් තිබේ. ‘‘මේ ව්‍යසනයෙන් ගොඩ එන්නට අප සියලු දෙනා එක්විය යුතුයි’’ යන්නය. කොරෝනා වසංගතය හමුවේද දැන් මීට සමාන වදන් ඇසෙන්නට පටන් ගෙන තිබේ. කොරෝනා වසංගතය අප රටේ ආර්ථිකය රෝගී කර ඇත්තේ මිනිසුන් රෝගී කරවනවාට වඩා වේගයෙනි. කොරෝනා වසංගතය ජය ගන්නට සියලු දෙනාගේ සහය අවශ්‍ය වන්නා සේම ඉන් පසු රට ඉදිරියට ගෙන යන්නටද සියලු දෙනාගේ සහය අවශ්‍ය බවට බොහෝ දෙනා සෘජුවත්, වක්‍රවත් කියමින් සිටිති. මේ අදහස ජනතාව අතර ආකල්පයක් බවට පත් කිරීම සඳහා එක්ව නැගිටිමු යන තේමාවෙන් රූපවාහිනී සංගීත වැඩසටහනක් පවා විකාශය කෙරෙමින් තිබේ.

මෙවැනි ව්‍යසනයකින් ජය ගන්නට සියලු දෙනාගේ දැනුවත් සහය අවශ්‍ය බවට විවාදයක් නැත. ඒ සඳහා එක්ව නැගිටිමු යැයි කීවත් ප්‍රශ්නය ඇත්තේ හැමදෙනාම එක්වන බවක් පෙනෙන්නට නොතිබීමය. කොරෝනා පරාජය කරන්නට ජනතාව එක්වන්නේ නම් ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් වෙළෙඳසල් ඉදිරිපිට අනෙකා ගැන නොසිතමින් පොරකන්නේ කවුද? නිරෝධායනයට ලක් නොවී සැඟවී සිටින්නට උත්සාහ කරන්නේ කවුද?

මෙවැනි ව්‍යසන අවස්ථාවකදී විපක්ෂයට ආණ්ඩුව කුමක් කළත් වැරදිය. එදා ගුවන් තොටුපොළ නොවැසීම වැරදිය. මෙදා එය වසා තිබීම වැරදිය. ඇඳිරි නීතිය දාන විට කියන්නේ ඒ නිසා එදා වේල කන ජනතාවට ජීවත් වෙන්නට ක්‍රමයක් නොමැති බවය. ආදායමක් නොමැති ජනතාවට මූල්‍ය ආධාරයක් දෙන විට එය දෙන්නේ දේශපාලන හිතවාදීන්ට පමණක් බව කියති.

මුහුණු පොතේ සිටින සියල්ල දත්ලාද එසේය. ඇඳිරි නීතිය දැමීමත් වැරදිය. ඉවත් කළත් වැරදිය. හැඳුනුම්පතේ අග අංකයට අනුව පිටත්ව යන්නට අවසර දීම ජෝක් එකකි. කොරෝනා පැතිරෙන්නට හැකි යැයි උපකල්පනය කළ නොහැකි වූයේ ඇයි දැයි විමසනා මේ අය බොඩි බෑග් ඇණවුම් කරන්නේ කුමටදැයි ප්‍රශ්න කරති. හමුදාව කඳවුරු වෙත කැඳවන්නට ඇඳිරි නීතිය පැනවීම සැක සහිත බව කියති. මේ අය අදහස් පළ කරන්නේ තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණු විට ලෝකය පෙරළෙනවා යැයි සිතූ හාවා සේය. සොයා බැලීමක් නැත.

එක්ව නැගිටිමු යැයි කීවාට ආණ්ඩුවද දුවමින් සිටින්නේ වන් මෑන් රේස් එකකි. කොරෝනා මර්දනය වෙනුවෙන් ආණ්ඩුව බොහෝ දේ කරමින් සිටියත් ඒ එක තැනකටවත් විපක්ෂයේ කිසිවකු හෝ වැද්ද ගන්නේ නැත. කොරෝනා මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සිට ගමේ රුපියල් 5000 බෙදීම දක්වා වන කමිටු කිසිවකට විපක්ෂයේ සහභාගීත්වයක් නැත. කොරෝනා මර්දන වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂය නගන චෝදනාවන්ට නොකවුට් පිළිතුරු දෙනවා මිස එම චෝදනාවල පදනමක් ති​බේද යන්න මධ්‍යස්ථව විමසා බලන බවක් පෙනෙන්නටද නැත.

වැරදි නිවැරදි කරගැනීමේ සාධනීය ක්‍රියාමාර්ගය වන්නේ කවුද හරි, කවුද වැරදි යැයි සෙවීම නොව කුමක්ද හරි, කුමක්ද වැරදි යැයි සෙවීමය. නමුත් ආණ්ඩුවත්, විපක්ෂයත් යන දෙපාර්ශ්වයම තමන් පමණක් නිවැරදි වන අතර අනෙකා සෑම විටම වැරදි බව තහවුරු කිරීමට උත්සාහ ගනිමින් සිටීම ඉතාමත් ඛේදජනකය. මේ තරගයේ අනිටු ප්‍රතිඵල විඳීමට සිදුවන්නේ ජනතාවටය.

කෙසේ වෙතත් මේ වරද නිවැරදි කරගැනීමට තවමත් ප්‍රමාද නැත. කොරෝනා වසංගතයට වඩා අපට මුහුණ දීමට සිදුවන බරපතළම අභියෝගය වන්නේ කොරෝනා වසංගතයෙන් පසු රට ගොඩ නගන්නේ කෙසේද යන්නය. එහෙත් ආණ්ඩුවත්, විපක්ෂයත්, ජනතාවත් යන තුන් පාර්ශ්වයම එක්වුවහොත් එය එතරම් අසීරු අභියෝගයක් නොවනු ඇත.

එක්ව නැගිට එක්ව ගමනක් යන්නට නම් පැහැදිලි එක් අරමුණක් තිබිය යුතුය. හරියන්නට හෝ වරදින්නට සැලසුමක් සකස් කළ හැක්කේ අරමුණක්, ඉලක්කයක් ඇත්නම් පමණකි. මේ නිසා පළමුව කළ යුතුව ඇත්තේ අරමුණක් හා ඉලක්කයක් නිශ්චය කරගැනීමය. නමුත් තවමත් පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවත්, විපක්ෂයත්, ජනතාවත් ඉලක්ක තුනක සිටින බවය.

කොරෝනා මර්දනය සහ රට ඉදිරියට ගෙන යෑම තබා ඡන්දය තියන්නේද, නැද්ද යන්න ගැනවත් ආණ්ඩුව හා විපක්ෂයට එක මතයකට එන්නට නොහැකිව තිබේ. ආණ්ඩුවට අවශ්‍ය ඡන්දය තියන්නටය. විපක්ෂය උත්සාහ කරමින් සිටින්නේ ඡන්දය කල් දමා ගන්නටය. ජනතාවට අවශ්‍ය හැකි ඉක්මනින් කොරෝනා වසංගතයෙන් නිදහස් වී තම තමන්ගේ සාමාන්‍ය දිවි පෙවතට එළඹෙන්නටය.

මෑත ඉතිහාසය තුළ එක්ව නැගිටින්නට අපට අවස්ථා කිහිපයක්ම හිමිවුවත් අප ඒ අවස්ථා ප්‍රයෝජනයට ගත්තේ නැත. අප මේ සූදානම් වන්නේ මෙවරත් ඒ වරදම කිරීමටද? ‘‘එක්ව නැගිටිමු’’ යැයි කීම හුදෙක් වචන දෙකක් බවට පත් කරන්නේද, ගැඹුරු අරුතක් ඇති ක්‍රියාදාමයක් බවට පත් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ අප විසිනි. ඊට බාධාවක් සේ පෙනෙන්නේ හැම පාර්ශ්වයක්ම තමන් නැගිට්ටාට පසු අනෙක් පාර්ශ්වයන් නැගිටුවීමට උත්සාහ කිරීමය. එක්ව නැගිටිමු යනු සියලු දෙනා එකට නැගිටීමය.