විශේෂාංග

එකපාරට මුළු විභාග ශාලාවටම ඇහෙන්න මාස්ටර් සින්දුවක් කිව්වලු – ප්‍රේමසිරි කේමදාසයන්ගේ බිරිඳ සෝමලතා පෙරේරා

මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කරමින් සිට දිවියෙන් සමුගත්තේ 71 වැනි වියේදීය. කේමදාසයන් හා ගෙවූ දිවිය ගැන මෙවර ලියගුණ වරුණෙන් කියන්නේ ඔහුගේ බිරිඳ සෝමලතා පෙරේරාය.

* ඔහු නැතුව ගෙවන කීවැනි වසරද මේ ?

දහවැනි අවුරුද්ද. මාස්ටර් නැතිවුණේ 2008 ඔක්තෝබර් 24

* ඔබට ප්‍රේමසිරි කේමදාසයන් හමුවෙන්නේ ?

ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ අපේ අයියා ගිය සාන්ත ජොන් විද්‍යාලයේම තමයි මාස්ටර් ඉගෙනගෙන තියෙන්නෙ. ඒ කාලේ ඉතින් අයියගෙ ඇඳුනුම්කමට එයා අපේ ගෙදර එනවා යනවා.

* ඒ කියන්නේ ඔබේ ගම් පළාත වුණේ ?

බණ්ඩාරගම. අපේ පවුලේ අම්මයි තාත්තයි, අක්කයි, අයියයි මමයි හිටියෙ. අපේ තාත්තා ඉඩම් හිමි ව්‍යාපාරිකයෙක්. තාත්තට විශාල කිරිහරක් පට්ටියක් තිබුණා. මං අදටත් ගමට ආසයි.

* ඔය වගේ පවුල් පසුබිමක

ජීවිතය ගෙවෙද්දි ?

මම ඉගෙනගත්තේ පානදුරේ යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙ. එස්.එස්.සී දක්වා ඉගෙනගත්තට රස්සාවක් කරන්න නම් කවදාවත් මට ආසාවක් ආවේ නෑ.

* ඉතින් එහෙම කාලේ ගතවෙද්දී ?

ඔය කාලෙ වෙනකොට අයියත් එක්ක මාස්ටර් අපේ ගෙදර ආවා ගියා. ඒ කාලෙත් මාස්ටර් ඒ පැත්තේ ඉස්කෝලවල පියානෝ වාදනයටත් බටනළා වාදනයටත් ජනප්‍රිය පිරිමි ළමයෙක්.

* ඔහු එහෙම ඉස්කෝල අතරෙ

ජනප්‍රිය වුණේ ?

කොන්සර්ට් කාලෙට මාස්ටර්ව ඉස්කෝලවලට ගෙන්නුවා. ඒ විදිහට අපේ ඉස්කෝලෙ කොන්සර්ට් එකකටත් මාස්ටර් බටනළා වාදනයට ආවා. අපේ ගෙදරත් වයලීනයකුයි සර්පිනාවකුයි තිබුණා. මාස්ටර් අයියා එක්ක ආවම ඒවා වාදනය කළා. අපේ තාත්තත් සංගීතෙට කැමති නිසා මාස්ටර්ටත් බොහොම කැමති වුණා.

* ප්‍රේමසිරි කේමදාසයන් මොන පළාතෙ කෙනෙක්ද ?

එයා වාද්දුවේ. එයා පොඩි කාලෙම තාත්තා නැතිවෙලා. අම්මා එක්ක තව සහෝදර සහෝදරියො අටදෙනයි. මාස්ටර් ඉගෙනගෙන තියෙන්නෙ පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ සාන්ත ජෝන් විද්‍යාලයෙන් .

* කොහොමද ඉතින් ඒ කාලේ ?

සංගීතෙත් කර කර එයා හොඳට ඉගෙනගත්තා. ඒ කාලේ එස්.එස්. සී. විභාගෙට ලියන්න කඩඉම් විභාගයක් තිබ්බා. ඒක පාස් වුණොත් තමයි එස්.එස්.සී ලියන්න දෙන්නෙ. මාස්ටර්ට ඒ කඩඉම් විභාගෙට ලියන්න බැරිවුණා. ඒ හින්දා එස්.එස්.සී විභාගෙට ලියන්නත් බැරිවුණා.

* ඇයි ලියන්න බැරි වුණේ ?

ඒ කඩඉම් විභාගෙ තිබ්බ දවසෙම උදේ දහයට තමයි එයාට මුලින්ම ගුවන්විදුලියෙන් සංගීත වැඩසටහනකට බටනළා වාදනයකට එන්න කියලා තිබුණෙ. ඒක තිබුණෙ උදේ දහයට. මාස්ටර් ඒකත් හිතේ තියාගෙන විභාගෙට ලියන්න උදේ ගෙදරින් ගිහින් තියෙන්නේ.

* ඊට පස්සෙ ?

ශාලාවෙ ඉඳගෙන විභාගෙට ලිය ලිය ඉන්නකොට උදේ දහයට ළංවෙලා තියෙනවා. එයාට හිතෙන්නෙම විභාගෙ පැත්තකින් තියලා බටනළා වාදනේට යන්නලු. ඒ හින්දා මාස්ටර් එකපාරටම මුළු ශාලාවටම ඇහෙන්න මහ හයියෙන් සිංදුවක් කිව්වලු. ඒක ඇහිලා ශාලාධිපති එහෙම දුවගෙන එද්දි මාස්ටර් විභාග ශාලාවෙ කොට බිත්තියෙන් පැනලා දුවලා.

* ඉතින් එහෙම දුවලා ගිහින් ?

ඒ ගමන කෙලින්ම ගිහින් තියෙන්නෙ ගුවන් විදුලියට. ඒ වගේම මාස්ටර් ඉස්කෝලෙ ගිය අන්තිම දවසත් එදා. එදා ඉඳලා ගුවන් විදුලියේ සංගීත වැඩසටහන් වලට නිතර නිතර සම්බන්ධ වෙලා තියෙනවා

* ඔහොම කාලෙ ගෙවෙද්දී ?

මාස්ටර්ටම හිතිලා තියෙනවා සංගීත පන්තියක් පටන් ගන්න. ඒ හින්දා තමයි මරදාන සංඝරාජ මාවතේ සංගීත පන්තියක් පටන් ගත්තෙ. හොඳට ළමයි ආවා කියනවා. ඒ කාලේ තමයි ධර්ම ශ්‍රී කල්දේරා මහත්තයාගේ නාට්‍යයකින් වේදිකා නාට්‍යවලට සංගීතය සපයන්න අරන් තියෙන්නෙත්.

* ඉතින් ඊට පස්සෙ මොකද වෙලා තියෙන්නේ?

වේදිකා නාට්‍ය ගණනාවකට සංගීතය කරද්දී තනියම නාට්‍යයකුත් කරන්න මාස්ටර්ට හිතුනලු. ඒ හින්දා බැරිසිල්, කැලෑමල් වගේ නාට්‍ය කීපයක් කරලා තියෙනවා. ඒ කාලෙ මාස්ටර් වමේ දේශපාලන කටයුතුත් කරලා තියෙනවා, ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතාවයට රතුමල් කියලා වේදිකා නාට්‍යයකුත් කළා ඒ කාලෙ.

* ඒ තරම් වාමාංශික දේශපාලනය ඔහු ප්‍රිය කළේ ?

එයාලගෙ ගෙදර අයත් හිටියෙ ඔය දේශපාලන මතයෙ. ඒ ගෙදර තමයි ඒ කාලෙ ඒ පැත්තෙ වාමාංශික කාන්තා සමිතිය තිබුණෙත්. මාස්ටර්ගෙ මහ ගෙදරට ඒ කාලෙ ඔය පක්ෂවල නාපු දේශපාලනඥයෙක් නෑ.
ඉස්සර ඉස්කෝලෙ ඇරිලා ඇවිත් ඇන්.ඇම්. පෙරේරගෙ, පීටර් කෙනමන්ගෙ රැස්වීම් බලන්න මෙයා යනවලු.

* ඔහොම කාලෙ ගෙවෙද්දි ?

අපි අතරෙ මුලින් තිබුණු හිතවත්කම ආදර සම්බන්ධයක් වෙනවා. ඒ 1957 වගේ. අපි අවුරුදු 10 ක්ම යාළුවෙලා හිටියා.

* ඒ තරම් කාලයක් ?

මේ සම්බන්දෙ වැඩිකල් යන්න කලින් අපේ අම්මයි අයියයි දැනගත්තා. අම්මා නම් බොහොම කැමැති වුණා. අයියත් අකැමති වුණාට ඔයාගේ කැමැත්තක් කියලා මට කිව්වා. තාත්තා කොහොමත් මම මාස්ටර් බඳිනවට කැමති වුණේ නෑ.

කාලෙ ගෙවෙනකොට ප්‍රශ්නෙ විසඳෙයි කියලා අපි හිතුවා. එහෙම කාලෙ යද්දි මෙයාට වැඩ හම්බවෙලා ජනප්‍රිය වෙනවා. ඒත් තාත්තා කැමති වෙන්නෙ නෑ.

* ඉතින් මොකද කළේ ?

අවුරුදු ගාණක් ගියාට පස්සෙ අක්කා බැඳපු අයියා තාත්තා එක්ක මේ ගැන කතා කළා. තාත්තා ඒ වෙලෙත් කිව්වෙ මම නම් කැමති නෑ. මම ඕවා කරල දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ කියලා. ඊට පස්සෙත් අවුරුද්දක් විතර හිටියා. එහෙම ඉන්නකොට තමයි ඒ අයියා අපේ අයියත් එක්ක එකතුවෙලා අපි දෙන්නව විවාහ කරලා දුන්නෙ. ඒ 1966 පෙබරවාරි 17 වැනිදා.

* විවාහයෙන් පස්සෙ ?

අපි මාස්ටර්ගෙ වාද්දුවේ මහගෙදර පදිංචියට ගියා. එහෙ ගියෙත් හේතුවක් ඇතුව. ඉදිරි දිනයක මාස්ටර්ට ඔපෙරාවක් අරන් චීනෙ යන්න තිබුණා. ගෙයක් කුලියට අරන් චීනෙ ගිහින් එනකල් වහලා දාලා තියෙන එක අපරාදෙ නිසා ගිහින් ඇවිල්ලම කුලී ගෙදරකට යන්නයි එහෙම කළේ.

* ඒ කියන්නෙ ඒ වෙනකොට මාස්ටර් ඔපෙරාවලටත් සම්බන්ධයි ?

ඔපෙරා කළා විතරක් නෙවේ ඒ වෙනකොට චිත්‍රපට පසුබිම් සංගීතයත් කළා. මම බඳින්නත් කලින් එයා සුදු සඳේ කළු වලා කියන පළවැනි චිත්‍රපටියට සංගීතය කරලා තිබුණෙ. ඊට පස්සෙ සැනසුම කොතැන ද චිත්‍රපටයට සංගීතය දුන්නා. ඒකත් විවාහයට කලින්. ඊට පස්සෙ චිත්‍රපට එක දිගට ලැබුණා. කොච්චර චිත්‍රපට ලැබුණත් ඒ කාලෙ ගෙව්වෙ රුපියල් 5000 යි.

* චීනෙ ගිහින් ආවට පස්සෙ?

බොරැල්ලෙන් ගෙයක් කුලියට අරන් අපි එහෙ පදිංචියට ගියා. ඒ ගෙදර ජීවිතේ හරි පහසු වුණා.මාස්ටර් වැඩට ගියාම හවස ආවෙ. ඒ අතරෙ මරදානේ ජයන්ත වීරසේකර මාවතේ සංගීත පන්ති පටන් ගතතා. ඒ කාලෙම තමයි ගොළු හදවතට සංගීතය කළෙත්.

* කොහොමද ඉතින් චිත්‍රපටවලට සම්බන්ධ වීම ?

ගොළු හදවත හොඳටම ජනප්‍රිය වුණා. ඊට පස්සෙ සීතල වතුර, රෑන ගිරව් වගේ චිත්‍රපට ගොඩක් ලැබුණා. චිත්‍රපට විතරක් නෙවේ මෝරු, ධවල භීෂණ, මකරාක්ෂයා, අත් වේදිකා නාට්‍යත් ගොඩක් ලැබුණා සංගීතය දෙන්න.

* එහෙම වෙනකොට විවේකයක් තියෙන්න නැතුව ඇති ?

ඔය අතරතුරේ මානසවිල, දොරමඬලාව, වර්ණදාසි වගේ ඔපෙරා කළා. සිංහල අලුත් අවුරුද්ද, මහ මුහුද, මගේ කාලයේ මවුනි, වගේ සිම්පනි කළා. මාස්ටර්ට පුහුණුවීම් කරන නිසා විවේකයක් තිබ්බෙ නෑ. මට ඒ අයට සලකන්න තිබ්බ නිසා විවේකයක් තිබ්බෙ නෑ.

* සලකන්න තිබ්බ නිසා කිව්වේ ?

ඔය එකක පුහුණුවීමකට කට්ටිය පනහ හැට එනවා. මාස්ටර් මට උදේට කියනවා අද හවසට සැන්විචස් මෙව්චරක් හදලා එවන්න. කට්ලට් මෙච්චරක් හදලා එවන්න. කියලා හැමදාම ඔයවගේ මොනවා හරි හදලා ඉල්ලනවා.

* ඒක ඔබට කරදරයක් කියලා හිතුණෙ නෑ.?

අනේ නෑ. මාස්ටර් හැමෝටම පුදුම විදිහට ආගන්තුක සත්කාර කරපු කෙනෙක්. මමත් ඒ වගේ වුණා. අනික හැමදාම අපේ ගෙදර මාස්ටර් ළඟින් ආශ්‍රය කරපු දෙතුන් දෙනෙක් රාත්‍රිය ගතකළා. ඒ වගේම හවස්වෙද්දි නිතරම යන එන කලාකාරයෝ පිරිසක් හිටියා. ඒ අයගෙ කතාබහ අහගෙන ඉඳලා මමත් දරුවොත් බොහෝ දේ ඉගෙනගත්තා.

* ඒ වෙනකොට ඔබලා ගෙයක් හදාගෙන තිබුණා ?

ලොකු දුව වයන්තා අනුපා හම්බවෙනකොට අපි රාජගිරියෙන් ඉඩමක් ගත්තා. එයාට අවුරුදු එකහමාරක් වෙද්දි ගෙදර යට තට්ටුව හදාගෙන ආවා. ඊට පස්සෙ පොඩි දුව ධනේෂා ගයත්‍රි ඉපදෙනවා. අපි ඉතින් ටික ටික ගේ වැඩ ඉවර කරගත්තා. අද ඉන්නෙ ඒ ගෙදර.

* එතකොට පුහුණුවීම් කළේ ?

මුලින් නම් එක එක තැන්වල කළා. මට මතකයි මානසවිල කළේ පීටර් කෙනමන් මහත්තයාගෙ ගෙදර. 93 අවුරුද්දෙ කේමදාස පදනම පිහිටෙව්වට පස්සෙ ළමයින්ට නොමිලේ උගන්නන එකයි පුහුණුවීමුයි දෙකම කළේ එතැන.

* ප්‍රේමසිරි කේමදාසයන් විශාල නිර්මාණ ගණනක් කලාවට දායාද කරපු කෙනෙක් ?

චිත්‍රපට ගණනාවකට, වේදිකා නාට්‍ය 15 කට 20 කට සංගීතය නිර්මාණය කළා. එයින් ජනප්‍රිය වූ ගීත බොහොමයි. ඒ වගේම ගුවන් විදුලියට අලුත් සිංදු ගණනාවක් කරලා තියෙනවා. ඒ අතරෙ ගායක ගායිකාවන්ට සිංදු දෙතුන් සීයකට විතර සංගීතය නිර්මාණය කරලා ඇති. ගීත නාටක, ඔපෙරා සිම්පනි ගණනාවක් හැදුවා.

* මේවට ඇගයීමුත් ලැබුණා ?

සම්මාන ඇගයීමුත් බොහෝමයක් ලැබුණා.

* කොහොමද ඔහු හා ගෙවූ ජීවිතේ ?

පහසු වුණේ නෑ. හරියට වැඩ නොකළොත් කේන්ති යනවා. කාර්ය බහුල ජීවිතයක් මාස්ටර්ට තිබුණෙ. හැබැයි වැඩ කෝටියක් තිබුණත් ගෙදරට බඩු ගේන්න ඕන එයා. මම ගෙනත් හරියන්නෙ නෑ.

* සංගීතය පුහුණු වෙන්න වෙලාවක් තිබ්බද?

කවුරු හිටියත් කොච්චර වැඩ තිබ්බත් රෑ 9 ට නිදාගත්තා. ඊට පස්සෙ පාන්දර 3 ට නැගිටිනවා. නැගිට්ට ගමන් කෝපි එකක් ඕනමයි. මං කෝපි හදලා දීලා නිදා ගන්නවා. ඒ වගේම තව පුරුද්දක් තිබ්බා හැමදාම බත් එකට කරවල බැදුමක් ඕනමයි.

* ඔහොම කාලෙ ගෙවෙද්දි ?

2004 වෙනකොට මාස්ටර් අසනීපෙන් හිටියෙ. දියවැඩියාවට ගත්ත බෙහෙත් නිසා වකුගඩු නරක් වුණා. වෛද්‍යවරයා කිව්වෙ එක වකුගඩුවක් හරි බද්ධ කරන්න ඕන කියලා. අවුරුදු 60 වැඩිනම් ලංකාවෙ වකුගඩු බද්ධ කරන්නෙ නැති නිසා අපි ඉන්දියාවෙ යන්න සූදානම් වුණා.

* ඊට පස්සෙ ?

පත්තරේ දැන්වීමක් දැම්මා මාස්ටර්ට වකුගඩුවක් ඉල්ලලා. ටෙලිෆෝන් කෝල් 1000 ක් 2000 ක් ආවා. එයින් අනුරාධපුරේ හාමුදුරුනමකගෙ වකුගඩුව බද්ධ කරන්නයි සූදානම තිබ්බෙ. ඒ අතරෙ ඒ දැන්වීම දැකලා නුවර රෝහලේ ඩොක්ටර් හරිශ්චන්ද්‍ර නුවරින් සැත්කම කරන්න කතා කරලා අපි එහෙම කළා.

* සාර්ථක වුණා ?

එක එක අවදානම් අවස්ථාත් ආවා. ඒත් සුව වුණා. අවුරුද්දකට එක චිත්‍රපටියකට වගේ විතරක් මහන්සිවෙන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණෙ. 2006 අවුරුද්ද පුරාම අග්නි වෙනුවෙන් මහන්සි වුණා. 2007 වෙද්දි ටික ටික අසනීප ආවා. එතකොට දැනගත්තෙ බද්ධ කරපු වකුගඩුවත් නරක් වෙලා.

* එහෙම වුණාම ?

ඩොක්ටර් හරිශ්චන්ද්‍රත් රට ගිහින් හිටපු කාලේ 2006 ඔක්තෝබර් තුන ඇපලෝ රෝහලට ඇතුල් කළා, ඩයලසීස් කරන්න. එහෙම රුධිර කාන්දුකරණය කරමින් රෝහලේ සිටිද්දි තමයි ඔක්තොබර් 26 වැනිදා මාස්ටර් නැතිවෙන්නෙ.

* ඒ අවස්ථාව දරා ගත්තේ ?

අමාරුයි. අවුරුදු හතළිස් ගාණක් අපි එකට ජීවත් වුණා. එයා නැතිවුණ වෙලේ ඇතිවුණ කම්පනය නැති වෙන්න සෑහෙන කාලයක් ගියා. අන්තිමට මගෙත් ඔළුවෙ නහරයක් පිපිරුවා. අද වෙනකල් බෙහෙත් බොනවා.

* දරුවො හිටියෙ ඔබ සමග ?

දැන් පොඩි දුව ලංකාවෙ, ලොකු දුව කැනඩාවේ. දෙන්නටම මාස්ටර්ගෙ සංගීත හැකියාව තියෙනවා. එයාලට ක්‍රමානුකූලව සංගීතය ඉගැන්නුවා. මාස්ටර් එයාලට කිව්වෙ මම ඉගෙන ගත්තෙ නොවිදිමත් විදිහට. පුතාලා විදිමත්ව ඉගෙන ගන්න කියලයි.

බියංකා නානායක්කාර