විශේෂාංග

එංගල් බ්‍රෙක් පරපුරේ අවසන් පුරුක

ලෝරා මේරි එංගල් බ්‍රෙක් යනුවෙන් කීවට ඇගේ වගතුග රටුන්ගේ මතකයට එන්නේ නැති බව සහතිකය. එනමුත් එංගල් බ්‍රෙක් යන වාසගම නම් වනයට පෙම්බැඳි කොයි කාට වුවත් අමතක වීමට හේතුවක් නැත්තේය. එංගල් බ්‍රෙක් යන වාසගම ලංකාවේ ප්‍රසිද්ධියට පත් වූයේ මීට සියවසකට ඉහතදීය. ඒ යාල වනෝද්‍යානයේ භාරකරු ලෙස හෙන්ද්‍රි එංගල් බ්‍රෙක් පත්කිරීමත් සමගය. පෙර කී ලෝරා මේරි එංගල් බ්‍රෙක්, හෙන්ද්‍රි එංගල් බ්‍රෙක්ගේ මිනිබිරිය වන්නීය. එංගල් බ්‍රෙක් පරපුරේ ලංකාවේ සිටින අන්තිම පුරුක ඇයය. ලෝරා මේරි පදිංචිව සිටින්නේ තිස්සමහාරාම මහසෙන්පුර ටිකිරි ගොඩගේ පුංචි නිවසකය. කිසිවකුගේ පිහිටක් නැතිව රෝගාතුරව වැහිරී ගිය ඇය දුටු විට කල්පනාවට එන්නේ නිසි ප්‍රතිකාර හා පෝෂ්‍යදායි ආහාර ඇයට නොලැබුණහොත් එංගල් බ්‍රෙක් පරපුරේ අවසන් ජීවමාන සාක්ෂිය වියැකී යන දිනය වැඩි ඈතක නොවන බවය.

එංගල් බ්‍රෙක්ලාගේ පරපුරේ උරුමය ඇත්තේ මේ බිමේ නොවේ.

දකුණු අප්‍රිකාවේ බ්‍රෝයර් ජාතියට නෑදෑකම් ඇති හෙන්ද්‍රි එංගල් බ්‍රෙක්ගේ ඉතිහාස කතාව දකුණු අප්‍රිකාවේ මෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා යන්නේය.

දකුණු අප්‍රිකානු හා ඕලන්දයන්ගෙන් මිශ්‍රව පැවත එන බ්‍රෝයර් ගෝත්‍රිකයන්ගේ නිජබිම දකුණු අප්‍රිකාවය. ඔවුන් අති දක්ෂ රණකාමි ප්‍රෞඪ ජාතියක් ලෙස එකල ප්‍රකට විය. මේ අතරේ දහ අටවැනි සියවසේ අත්ලන්තික් සාගරය දිගේ පැමිණි බ්‍රිතාන්‍ය නාවිකයෝ දකුණු අප්‍රිකාව යටත් කර ගත්හ. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වශයෙන් 1814 සිට දසක කිහිපයක් පැවැති දකුණු අප්‍රිකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් බේරා ගැනීමේ අරමුණින් බ්‍රිතාන්‍ය හමුදාවට විරුද්ධව බ්‍රෝයර්වරු කැරැලි ගැසූහ. එම කැරැල්ල ලෝක ඉතිහාසයට එක් වූයේ ​ෙ බ්‍රා්යර් යුද්ධය නමින්.

බ්‍රෝයර් යුද්ධයෙන් ජය ගත්තේ බ්‍රිතාන්‍යයෝය. පරාජය ලැබූ බ්‍රෝයර්වරු දකුණු අප්‍රිකාව තුළම හිරකරුවෝ බවට පත්වූහ. යුද්ධයට එඩිතරව නායකත්වය දුන් බ්‍රෝයර්වරු සිරකරුවන් ලෙස එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ඉන්දියාවට හා ලංකාවටද පිටුවහල් කෙරිණි.

ලංකාවට පිටුවහල් කළ බ්‍රෝයර් සිරකරුවන් දියතලාවෙහි රඳවා තබා ගනිමින් මාර්ග අලුත්වැඩියා කර ගැනීම වැනි කටයුතුවලට යෙදවූහ. ඇතැමෙක් දියතලාවේ යුද්ධ හමුදා කඳවුර ඉදිකිරීමේ කටයුතුවල යෙදවූහ. ඒ අතරේ තවත් පිරිසක් මියගියේ මැලේරියාව හා පරංගි වසංගත රෝගයන්ට ගොදුරු වීය.

මෙසේ මෙරටට රැගෙන එන ලද සිරකරුවන් අතරින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පක්ෂපාත වන බවට පසුකලක දිවුරා පොරොන්දු වූ පසුව ඔවුහු නැවතත් දකුණු අප්‍රිකාවේ ඔවුන්ගේ ගමබිම් වෙතට රැගෙන ගියහ. එහෙත් එංගල් බ්‍රෙක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට කිසි දිනක යටත් නොවීය. මේ නිසා ඔහුට සිරකරුවකු ලෙස තවදුරටත් ලංකාවේ සිටීමට සිදුවිය.

නොසැලෙන තැනැත්තකු වූ එංගල්ට දිය හැකි සුදුසු දඬුවමක් ඉංග්‍රීසි පාලකයෝ කල්පනා කළහ. ඒ අනුව ඔහු හම්බන්තොටට ගෙන එන්නේ ලුණු ලේවායෙහි වැඩට යෙදවීමටය.

එහෙත් ඔහුගේ හැසිරීම් රටාව ගැන හම්බන්තොට ජනතාවගේ මනාපයක් නොවීය. සිංහල ගම්මු පමණක් නොව මැලේ සහ මුස්ලිම් ජාතිකයෝද නිතර එංගල් බ්‍රෙක්ට එරෙහිව ඒජන්ත හාමුදුරුවන්ට පැමිණිලි කළහ.

බ්‍රිතාන්‍යයන්ට මෙන්ම ඔවුන්ගේ පාලනයට බැණ වදිමින් අමු නිර්වස්ත්‍රව තුවක්කුවක් කර පින්නාගෙන පාර ඇවිද යන එංගල් ගැන පාලකයනට තිබෙන පැමිණිලිවල නිමක් නැති විය. මේ අතරේ එංගල් බ්‍රෙක්ට ආදරය කළ එක් සිංහල තරුණියක් ද විය. ඇය තොසානා නම් විය. ඇය පසුකලෙක එංගල්ගේ බිරිඳ ලෙස ජීවත් වූවාය.

එංගල් බ්‍රෙක්ට දාව තොසානාට බිලිඳෙක් උපන්නේය. ඔහුට හැරි එංගල් බ්‍රෙක් යනුවෙන් නම තැබීය.

මේ අතරතුර හම්බන්තොට නගරවාසීහු එංගල් බ්‍රෙක් සමග දිගටම ගැටුම් ඇති කර ගත්හ. මෙම ගැටුම හම්බන්තොට උප ඒජන්ත එල්. ඩබ්ලිව්. ශ්රේඩර්ටද ප්‍රශ්නයක් විය. කළ යුතු හොඳම විසඳුම එංගල් බ්‍රෙක් කැලේට පිටමං කිරීම බවට උප ඒජන්තවරයා තීන්දු කළේය.

ඔහුගේ තීන්දුව ක්‍රියාත්මක කිරීමට උප ඒජන්තවරයා පැවරුවේ මුදළිඳු එච්.ඊ. අමරසේකරටය. ඒ අනුව එංගල් බ්‍රෙක් යාලට පිටත් කළේ එහි ප්‍රථම භාරකරු ලෙසය. ඒ හරියටම 1907 වසරේදීය.

හම්බන්තොට වැසියන් එංගල්ට කෙතරම් වෛර කළේ ද යත් යාල භාරකරු ලෙස පත්ව යෑමට පෙර දිනයේ ගම්මුලාදෑනියා වූ මහ අල්ලි ගම්බාරයා ඔහුට තෑගි කළ කරත්තයේ බැඳි ලොකු පට්ටි ගොන් දෙන්නා ගේ බෙලි කපා ලේ පෙරෙන ඔළු දෙක එංගල් ජීවත් වූ නිවසෙහි දොර දෙපස තබා තිබුණි. තමා සතුව තිබූ එකම වස්තුව අහිමිව ඔහු හම්බන්තොටින් පිටව යාලට ගියේ දැඩි කම්පනයකින් හා කලකිරීමකිනි.

මිනිසුන්ට වඩා එංගල් බ්‍රෙක් යාලේ වන සතුන්ටත් කැලෑවටත් ආදරය කළේය. යාල කැලෑවට හොරෙන් ඇතුළු වී දඩයම් කරන මැලේ ජාතික දඩයම්කරුවන් සොයා ලුහුබැඳ ගොස් ඔවුන් අල්ලා ගස් බැඳ කටු අතුවලින් තලා අමු මස්වලට වැලි මිශ්‍ර කර එම දඩයම්කරුවන්ට කැවීමේ දරදඬු දඬුවම් දුන්නේය.

උඩරට වතුකාර සුදු නිලධාරීන්ට යාල කැලේ නොමනා ලෙස හැසිරෙන්නට එංගල් කිසිදිනක ඉඩ නොදුනි. එවැනි අශීලාචාර ලෙස හැසුරුණු සුදු කාන්තාවන් නිරුවතින් ගස් බැඳ උන්ගේ ඉණ වටා දිමි ගොටු බැඳීම වැනි දඬුවම් ද දුන්නේය.

සුදු පාලකයන්ගේ දඩයම් බිමක්ව පැවැති යාල කැලය, වන සතුන්ට නිදහසේ ජිවත් වීමේ පරිසරයක් නිර්මාණය කරන්නට වෙහෙසුණු එංගල් බ්‍රෙක් සුදු පාලකයන්ට කිසි විටකත් බියක් නොදැක්විය. යාලට දඩයම් කරන්නට එන පිරිසට හා අශීලාචාරව හැසිරෙන්නන්ට පාඩම් ඉගැන්වීය. මේ නිසා ඔහු කෙරෙහි සුදු පාලකයන් තුළ තිබුණේ තරහකි. ඒ නිසාම එංගල් බ්‍රෙක්ට විරුද්ධව ඔවුහු අභූත චෝදනාවන් ගොනු කර නඩුවක් පටලවා සිර කර තැබීය. ඔහුට නොයෙක් වද හිංසා කළහ. අවසානයේදී ඔහුගේ යාලේ සේවය අහිමි කළේය.

යාල කැලේටත් වන සතුන්ටත් ආදරය කළ එංගල් 1925 මාර්තු මස 25 දින තිස්සමහාරාම පුංචි අකුරුගොඩදී මිය ගියේය.
කවදත් එංගල්ගේ දුකට සැපට සිටි ගම්මුලාදෑනි මහ අල්ලි ගම්බාරියා සිය විදෙස් මිතුරා මෙලොව හැර ගිය පසු හම්බන්තොට විදේශිකයන්ගේ සොහොන් පිටියෙහි එංගල්ගේ සිරුර මිහිදන් කොට ඔහුට නිසි ගෞරවය දැක්වීය.
සුදු පාලකයන් නැගූ සියලු බොරු චෝදනාවලින් එංගල් පසුකලෙක නිදහස් වන විට ඔහු සිටියේ අඩි හයක් පොළෝ කුහරයක සදාකාලික නින්දට වැටීය.

එංගල් බ්‍රෙක්ට වූ සමාජ අසාධාරණකම් නිසාදෝ ඔහුගේ පුත් හැරී එංගල් බ්‍රෙක්ට වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරියකු ලෙස රැකියාව ලැබිණි. ඔහු විවාහ වූයේද ඇසලින්නෝනා නැමැති ගමේ කාන්තාවක් සමගය.
හැරී එංගල් බ්‍රෙක්ට දාව ඇසලින් නෝනාට 1949 ජූලි මස 10 වන දින දියණියක් ලැබුණි. ඇයට ලෝරා මේරි එංගල් බ්‍රෙක් යැයි නම තැබිණි. හම්බන්තොට පල්ලියේදී ඈ බෞතිස්ම කළාය.

​ලෝරා මේරි පැටිවයසේදීම ඇයගේ මව වන ඇසලින්නෝනා මිය ගියාය. එවිට ලෝරාට වයස අවුරුදු පහ හයක් වන්නට ඇත. එදා පටන් ලෝරා මේරි රැකබලාගෙන පෝෂණය කළේ ඇයගේ පියා වන හැරි එංගල් බ්‍රෙක්ය. මේ අතරේ හැරි එංගල් බ්‍රෙක්ට රටේ වෙනත් ප්‍රදේශවලට ස්ථාන මාරුවීම් ලැබීණ. ඔහු ගිය හැම තැනම දුවත් රැගෙන ගියේය. මේ නිසා ඇයට පාසල් අධ්‍යාපනයක් නොලැබුණි. සීයාටත් තාත්තාටත් ඉංග්‍රීසි පුළුවන් වුවත් ලෝරාට ඉංග්‍රීසි ​ඉගෙන ගැනීමට නොහැකි විය. ඇය දන්නේ සිංහල පමණි.

ලෝරා තරුණ වියට පත්වෙද්දී ඇගේ ආරක්ෂාවත්, රැකවරණයත් පතා හැරී එංගල් බ්‍රෙක් සිය රැකියාවට ආයුබෝවන් කීවේය.

ඉන් පසු තිස්සමහාරාම ප්‍රදේශයෙහි ගොවි දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වා ලබාගන්නා සොච්චම් මුදලින් ඔහු තම දියණිය ජීවත් කළේය.

1987 ජනවාරි මස 26 වැනි දින හැරී එංගල් බ්‍රෙක් තම නිවස තුළදීම මියගියේ උණ සහ බඩයෑමේ රෝගයට ගොදුරු වීමෙනි.

කිසි දිනකත් විවාහ නොවූ ලෝරා මේරි තම පියාගේ මරණයෙන් පසු තනියම ජීවත් වූයේ තාත්තා ජීවතුන් අතර සිටියදී ප්‍රදේශයේ ඉඩම් හිමියකු දුන් ඉඩම් කැබැල්ලක අටවාගත් පැලකය. පසුකලෙක ලෝරාට සමෘද්ධි සහනාධාරය ලැබුණි. ඇඳුමක් පැලඳුමක් ගැනීමට ඇය තිස්සමහාරාම වැව්කණ්ඩියේ රටකජු විකුණුවාය. යාල බැලීමට ට්‍රිප් යන උදවිය අනන්තවත් ඇගෙන් තිස්සමහාරාම වැව් කණ්ඩියේදී රටකජු මිලදී ගත්තෝය.

එහෙත් ඔවුන් කිසිවෙක් මේ යාල කැලේ රැකගත් එංගල් බ්‍රෙක්ගේ මිනිබිරිය බව නොදැන සිටියහ. තිස්සමහාරාමයේ ජීවත් වූ ඇය හම්බන්තොටට ගියේ පල්ලි යන්නට පමණකි. එහෙත් වයසට ගොස් දුර්වල වූදා පටන් ඇය ඒ ගමනත් නතර කළාය. පසු කලෙක ඉඩම් හිමියකු ලෝරාට ජීවත්ව සිටිනතුරු ඇයට සිටින්නට කුඩා නිවසක් තනා දුන්නේය. දැන් ඇය වැටී සිටින්නේ එම නිවසේය.

එහෙත් ජීවිතයෙහි අවසන් කාලයෙහි මේ වන විට ඇයට අවශ්‍ය වන්නේ නිවාස නොවේ. ඇයගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය සොයා බලා වෛද්‍ය ප්‍රතිකාර දීමට හා ඇයව රැක බලා ගැනීමට හැකි ස්ථානයකට ඇයව යොමු කිරීම හා නිසි පෝෂ්‍යදායි ආහාර දීමය.

විශේෂයෙන් වනජීවී ඇමැතිවරයා ප්‍රධාන වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර යාල වනෝද්‍යානය තම හදවත ලෙස රැක බලාගත් එංගල් බ්‍රෙක්ට කෘතගුණ සැලකීමක් වශයෙන් ලෝරා මේරිට සුදුසු උපකාරයක් කරන්නේ නම් මැනවි.

ඒ.ඒ. සෝමසිරි – තිස්සමහාරාමය