brand logo

උ.පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන තීරණය පාසල් පටන්ගත් පසු - ඩලස් කියයි

06 May 2020

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග කල් දැමිය යුතුද නැද්ද යන්න තීරණය කරන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම ‘අරුණ’ට ඊයේ (5 වැනිදා) පැවැසීය. පාසල් ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ කිසිඳු තීරණයක් නොගන්නා බවත් දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි කාලය පිළිබඳ පුරෝකථන කළ නොහැකි බවත් ඇමැතිවරයා කීවේය. ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විභාග කල් දැමීමේ සූදානමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙනි. ‘අගෝස්තු මාසයේ පැවැත්වෙන විභාගයක් පිළිබඳ තීරණ ගන්න දැන්ම කල් වැඩියි. දරුවන්ට දිය හැකි සාධාරණම තීන්දුව ගන්න අපි පැකිළෙන්නේ නැහැ. දරුවෝ මැදි කරගෙන තමන්ගේ වෘත්තීය සමිති කටයුතු කරගෙන යන්න එපා කියලා වෘත්තීය සමිති නායකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා යැයි ද ඇමැතිවරයා කීවේය. උසස් පෙළ විභාගය නියමිත පරිදි පවත්වන්නේ ද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබිණි.   නිලන්ත මදුරාවල
 

More News..