කතුවැකි

උල තියනවා වෙනුවට මෙගාවොට් 33,000ක විදුලි සරයක් යැව්වොත් නරකද


විදුලිය ඉතිරි කරගැනීමට දෙදහස් දෙක වසර සඳහා පැය දෙක තුනක් විදුලිය කැපීම ගැන කළුවරේ ජරමරේ යයි නාට්‍යයක් නිෂ්පාදනය කෙරිණ. එය ප්‍රහසනයකි. නාට්‍යයේ ඇත්තේ කළුවරේ වන ජරමරය. එළඹෙමින් ඇත්තේද කළුවරේ ජරමරයක් වන යුගයකි. ඒ විදුලිබලය නිපදවීමට වුවමනා තෙල් හිඟය නිසා විදුලිය විසන්ධි කරන්නට සිදුවන කාලයකි. එයද එක්තරා අන්දමක ජාතියේ ප්‍රහසනාත්මක සිදුවීම් වැලක කොටසකි.

‘‘විදුලි පහන් දල්වන උන්ට දඬුවම මරණයයි’’ කියා විදුලි බුබුළු නිවා දැමීමට අණ කළේ 1988-89 කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයය. ඊළඟට විදුලිය ඉතිරි කරගැනීමට පැය ගණනක් විදුලිය විසන්ධි කරන්නට සිදුවූයේ 1997දීය.

එදා විදුලිබල හා බල ශක්ති ඇමැති කරු ජයසූරින්ය. කරු ආවොත් පායයි හිරු කියා මැතිවරණයට ජනප්‍රියම පාඨය රැගත් පෝස්ටරය ගැසූ අපේක්ෂකයා බලයට ආ විට විදුලිය කැපීම, ප්‍රහසනාත්මක කාරණයක් විය.

කෙසේ වෙතත් විදුලි අර්බුදයට කරු ජයසූරිය ඒ කාලයේම විසඳුම දුන්නේය. ටොන් දහසකටත් වඩා බර ලොව දැවැන්ත ඩීසල් බලාගාරයක් නැවෙන් ගෙන්වා කොළඹ පාරවල් දිගේ ඉබි ගම​නේ ඇදගෙන කැලණි පාලමෙන් එගොඩ ​කළොත් පාලම කඩාගෙන ගඟට වැටේ යයි බයේ වෙනම බත්තලක නංවා එ​ගොඩ කර සපුගස්කන්දේ සවි කිරීම එදා මහා විස්කම් කාර්යයක් විය. කෙසේ වෙතත් කරු රට කළුවරේ තිබ්බාය කියන අපවාදයෙන් කරු තාවකාලික සහනයක් ලැබීය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කළ ඒ සමයේ රටේ විශාල ජනතාවකට අලුතින් විදුලිය සැපයීම නිසා විදුලිබලය වැඩි වැඩියෙන් අවශ්‍ය විය. එකල විදුලිබල හා බලශක්තිය භාරව සිටියේ අනුරුද්ධ රත්වත්තේ අමාත්‍යවරයාය. ඒ ඒ ප්‍රදේශවලට පැයක් දෙකක් විදුලිය කපනවාට වඩා වෙනස් විදිහේ විසඳුමක් එදා සොයා ගැනිණ. ඒ අනුව වෙලාව පැයක් ඉදිරියට ගැනිණ. ඔරලෝසුව පැයක් ආපස්සට කරකැවූ විට උදේ පහ කියන්නේ උදේ හය ය. වර්ග පරම්පරාවම හතරට හැඬූ කුකුල් පරම්පරාව වෙලාව ආපස්සට කරකැවූ විට කූජනය කරන විට උදේ තුන විය. උදේ පැයකට කළින් වැඩට එන්නෝ පැයකට කලින් ගෙදර ගියොත් රෑ වෙනතුරු විදුලි පහන් දල්වාගෙන නොසිට නින්දට යාමෙන් විදුලිය ඉතිරි වේයයි එදා විදුලිබල විශේෂඥ ටිකිරි මොලවලින් විදුලි බල ඇමැතිට උපදෙස් දී තිබිණ.

ඊළඟට විදුලිබල අර්බුදය ආවේ 20014-2004 කාලයේය.

කෙසේ වෙතත් මේ විදුලි බල අවශ්‍යතාව මහින්ද රාජපක්ෂ යුගයේ දෙතුන් ගුණයකින් ඉහළ ගියේය.

උතුර හා නැගෙනහිර ත්‍රස්තවාදී ග්‍රහනයෙන් නිදහස් කර ගැනීමත් සමග භූමිතෙලෙන් එළිය ලබමින් සිටි පවුල් ලක්ෂ ගණනකට විදුලිය සැපයීම අලුත් අභියෝගයක් විය. ඒ සඳහා මහින්ද කළේ ලංකාවේ පළමු වරට ගල් අඟුරු බලාගාර පිහිටවීමය. මෙගා වොට් 900 විදුලිය නිපදවූ එය ජාතික විදුලි අවශ්‍යතාවෙන් 30%ක් පමණ නිපදවූයේය. මහින්ද රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තියේදී විදුලිය නොකපන රටක් නගමී යන උදානය කළේය. මහින්දට එසේ උදන් අනන්නට හැකි වූයේ නොරොච්චෝලේ විදුලි බිල 25%න් අඩු කරන්නට පුළුවන් වූ නිසාය.

අද විදුලිය උපදවන්නට ගල් අඟුරු ඩීසල් බලාගාර අපට ඇත්තේය. එහෙත් අලුතින් විදුලි බලගාර පිහිටුවේ නැති නිසා සියලු බලාගාර එක සීරුවට දිවිය යුතු වෙයි. එක බලාගාරයක් හෝ ඇන සිටියොත් විදුලි උත්පාදනයේ අඩුවක් මතුවෙයි. පසුගිය දිනවල විදුලි කප්පාදුවට හේතු වූයේ මෙම කඩාවැටීමය. එසේම ඒවා දුවවන්නට තෙල්ද ගල් අඟුරුද ගෙන්වන්නට වුවමනා ඩොලර් හිඟය. විදුලි බල මණ්ඩලයට ණයට තෙල් සැපයීමේ වගකීම හරියට දුප්පතෙකුට හිඟන්නෙක් බලා ගැනීමට දීමක් යයි තෙල් ඇමැති කියයි. තෙල් සහ ගල් අඟුරු ගෙන්වා ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයකට රට පත්වීම කළුවරේ හිඳීමක් මතු නොව ජාතික නිෂ්පාදනය කඩා වැටීමටද හේතු වෙයි. එන එන තාලෙට ගනු උළුවස්සා කියන ප්‍රතිපත්තියේ නොසිට රටකට ගල් අඟුරු හෝ තෙල්වලට ණය නොවී විදුලිය උපදවා නැති විට ස්ථිරසාර විසඳුමක් සොයා ගත නොහැකිද?

දැන් උදාවී ඇත්තේ ගල් අඟුරු බලාගාර ලෝකෙන් තුරන් කරන්නට දින දුන් වකවානුවකි. චීනය ඊළඟ දශකයේ ගල් අඟුරු බලාගාර අහෝසි කරන්නේය. ඩීසල් බාලගාර ගැන ලෝක ආකල්පයද එබඳුය. එබඳු තත්ත්වයක් යටතේ ලෝකය යොමුව සිටින්නේ සුළං, ජල, සූර්යය ආදී වූ පුනර්ජනනීය විදුලි උත්පාදන ක්‍රියාවලීන් වෙතය.

ලංකාවේද සූර්යවිදුලි, ජළ, සුළං ආදී විදුලි උත්පාදන ක්‍රියාවලීන් කෙරෙහි දැන් දශකයකට වඩා වැඩි කාලයක් පුරා අවධානය යොමු වී ඇත. ගෙවල්වල සූර්ය කෝෂ සවි කරගෙන වුවමනා විදුලි ඒකක ප්‍රමාණය නිපදවා ගත් කල්හි ඉතිරිය රජයට මුදලට භාර දීම දැන් පිළිගත් පිළිවෙතය. එහෙත් විදුලි බල මණ්ඩලය ගෙවල්වල නිපදවන අමතර විදුලි ඒකක කොපමණ ප්‍රමාණයක් මිලට ගෙන ඇත්දැයි වහලවල සූර්යකෝෂ සවිකර ගත් උන්ගෙන් ඇහුවොත් උත්තර සොයා ගත හැකිය. ඒවා මිලට ගැනීමට පරීක්ෂණ වලට එන්නේ නොකෙරෙන දීගයකට එන්නාක් මෙනි. ‘‘ගෙවල්වලින් විදුලිය අරගෙන ගබඩා කර ගන්න ට්‍රාන්ස්පෝමර් මදි’’

මේ සූර්ය කෝෂ සවි කළ උන්ට ලැබෙන උත්තරයන්ය. විශාල කර්මාන්තශාලාවල වහලවල්මත සූර්ය කෝෂ සවි කළොත් එයින් ලැබෙන විදුලිය ජාතික පද්ධතියට ගැනීම කඩාකප්පල් කරන්නේ ප්‍රදේශයේ විදුලි බලධාරියාය. සූර්ය කෝෂ සවි කිරීම සඳහා ඉස්කෝල, රෝහල්, හමුදා කඳවුරු රාජ්‍ය ආයතන වහලවල් යොදා ගැනීමට දැරූ උත්සාහය දශමයක් ඉදිරියට නොගියේ කවුරු නිසාදැයි සෙවීම ජාතික යුතුකමකි. වසර එකහමාරක් තිස්සේ අටසියයක් දෙනා බලා සිටියද ඔවුන් විදුලිබල පද්ධතියට සම්බන්ධ කරගෙන නැත. සූර්ය කෝෂ විදුලි සපයන ආයෝජකයන් 22ක් අනුමැතිය දෙන තෙක් බලාපොරොත්තු ලේඛනයේය.

මේ රජය ගමට විදුලි බලාගාරයක් නම් සංකල්පය යටතේ ගමේ කිලෝ වොට් 1000 නිපදවන සූර්ය කෝෂ ව්‍යාපෘති 7000 ගොඩ නැගීමට තීන්දු කළේය. ඒ මීට දෙවසරකට පෙරය. එහෙත් තවමත් ගම් සියයකටත් මේ බලාගාර ඉදිකර නැති බව බැසිල් රාජපක්ෂ කැබිනට්ටුවේ කීවේය. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළොත් ඩීසල්, ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමේ වුවමනාව අවම වනු නියතය. එහෙත් මේවාට අවසරය නොලැබෙන්නේ විදුලි ඉංජිනේරුවන් මේ කෙරෙහි දක්වන අකමැත්තය. මේ ඒකාධිකාරය නිසා රටට වන විපත සුළුපටු නොවේ.

මෙය රජ කාලේ නම් උල තැබිය හැකි ද්‍රෝහීකමකි. රජ කාලේ දඬුවම් සියුමැලි වැඩි නම් කළ යුත්තේ කුමක්ද? උල තියන විට උල සිටින තැනට වොට් 33000 ක විදුලි සරයක් යැවීමට කළුවරේ ඉන්නා සෑම මොහොතකම ජනතාවට සිතෙනු ඇත.