ගොසිප්

උඹලා කරපු වැඩේ හින්දා අපිට දැන් රෑ 7 වෙනකන් පාර්ලිමේන්තුව අනිවාර්යයි

පොදු ජන පෙරමුණේ ඩලස්, ප්‍රසන්න, කාංචන, ඉන්දික අනුරුද්ධ යන පිරිස පසුගිය සති අන්තය ගත කළේ මාතර ය. ඒ ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනේ රැස්වීම්වලට ගමින් ගමට යමිනි. මේ පිරිසට සෙනසුරාදා දිවා ආහාරය සකස් කර තිබුණේ පොදුජන පෙරමුණේ අකුරැස්ස සම්බන්ධීකාරක කරුණාදාස කොඩිතුවක්කු මහතාගේ නිවසේ ය.

කෑම කන ගමන්, ඔවුන් කතා කරමින් සිටියේ ද පාඨලීගේ සහ වජිරගේ අමාත්‍යංශවල වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් ගෙන ගිය රහසිගත සැලැස්ම ගැනය.

‘‘මට එදා මාර වැඩක් වුණානෙ…‘‘ ප්‍රසන්න කියන විට සියල්ලෝම ඊට ඇහුම්කන් දුන්හ.
‘‘ඡන්දෙ වෙලාවට පාර්ලිමේන්තුව ඇතුළට යනකල් කියලා මුලින්ම ගිහින් කාර් පාක් එකේ තිබුණු වාහනේ ඇතුළට වෙලා හිටියා. පොලිසියෙ අයගෙන් මළ කරදරේ. ‘ඇයි සර්… මොකද වුණේ…?‘ කියල අහනවා. ඊට පස්සෙ මම ජයන්තිපුර පාක් එකට ගියා. එතැනටත් පොලිසියෙන් ආවා. ‘ඇයි සර්… මොකද වුණේ…?‘ කියල ම අහනවා. බැරිම තැන මං ගියා බත්තරමුල්ල පැත්තට. එහේ පාරක් අයිනෙ වාහනේ නැවැත්තුවා. පොලිසිය එතනටත් ඇවිත්, ‘ඇයි සර්… මොකද වුණේ…?‘ කියලා ඇහුවා.

බැරිම තැන මං ආපහු පාර්ලිමේන්තුව පැත්තට ආවා. ඒ ‘මාව මුණගැහෙන්න අමුත්තෙක් එනවා යි…‘ කියාගෙන…’’ ප්‍රසන්න කීවේය.

‘‘ඊයේ නං මටත් පාර්ලිමේන්තුවෙදි මරු වැඩක් වුණා. මං එළියට එනකොට මට කාවින්දයි මුජිබරුයි හම්බ වුණා. ‘උඹලා අපිව අමාරුවෙ දාලා යනවා නේද…?’ කියලා මගෙන් ඇහුවා… ඊට පස්සෙ මං ඇහුවා ‘ඇයි…?’ කියලා… එතකොට කිව්වා උඹලා කරපු වැඩේ හින්දා අපිට දැන් රෑ 7 වෙනකන් පාර්ලිමේන්තුව අනිවාර්යය කරලා…’’ කියමින් එජාප පසු පෙළ කණ්ඩායමේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා තමන් සමඟ කියූ දෙයක් කාංචන විජේසේකර මන්ත්‍රීවරයා තමා සමඟ කෑම කමින් සිටි ඩලස් ඇතුළු පිරිස සමඟ බෙදා ගත්තේ සියලු දෙනාම හිනස්සවමිනි.

‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහන් මාලාවේ වැඩසටහන් 6 ක් සාර්ථකව නිම කළ මේ පිරිස ඉරිදා කොළඹ ආවේ, අයවැය වාද විවාදවලට සහභාගීවීම සඳහා ය.