කතුවැකි

උපන්නාට වැනි වැනි ඉන්නවා වැනී

අප පුවත්පතේ ඊයේ (15 වැනිදා) ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ රටේ ජනගහනයෙන් ලක්ෂ 10 කට උප්පැන්න සහතික නොමැති බව කියන වාර්තාවකි. ඉන් අනාවරණ කර ඇත්තේ මීට දශක ගණනාවකට පෙර අප රටේ පැවැති තත්ත්වයක් නොව මීට මාස දෙකකට පමණ පෙර ගෙවී ගිය 2020 වසරේ පැවැති තත්ත්වයකි. අදින් දශක කිහිපයකට පෙර උප්පැන්න සහතික නොමැති, පුරවැසිභාවය නොමැති පිරිස් රට තුළ සිටීම පුදුමයට කරුණක් වූයේ නැත. එහෙත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නට, යහපාලන ඇති කරන්නට, මානව හිමිකම් අයිතීන් පුළුල් කරන්නට, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට, කතාකරන මේ පරිගණක යුගයේ රටේ ලක්ෂ දහයකට උප්පැන්න සහතිකය හෝ නැතැයි කීම පිළිගන්නේ කෙසේද?

මේ අදහාගත නොහැකි තොරතුර අනාවරණ වී ඇත්තේ හිටපු රෙජිස්ටාර් ජනරාල්වරයකු වූ එන්. සී. විතානගේ පසුගිය වසරේ රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කළ සමීක්ෂණයකදීය. එම සමීක්ෂණයට අනුව උප්පැන්න සහතික නොමැති වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. අසූ දහසක් වන එම සංඛ්‍යාවට දෙවැනි වන පනස්දහසක පිරිසක් වාර්තා වී ඇත්තේ රටේ වාණිජ අග නගරය වන කොළඹ දිස්ත්‍රික්කයෙනි. සමීක්ෂණ වාර්තාව සඳහන් කරන ආකාරයට මෙලෙස උප්පැන්න සහතික නොමැති වැඩිම පිරිස් වාර්තා වී ඇත්තේ වතුකරයේ හා මුඩුක්කු හා පැල්පත්වාසීන් අතරිනි.

මෙම දත්ත අපට පෙන්වා දෙන්නේ රටේ වතුකරය හා නගරබද පැල්පත් මුඩුක්කු යනු තවමත් රටේ නිලධාරින්ට, දේශපාලකයන්ට හා රටේ සංවර්ධන ක්‍රියාවලියට විෂය වී නොමැති බවය.

උප්පැන්න සහතිකයක් නැති මිනිසකුට හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකිය. ඔහුට ඡන්දදායකයකු ලෙස ලියාපදිංචි වීමටද හැකියාවක් නැත. ජාතික හැඳුනුම්පතක්, ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචියක් හෝ නොමැති රජයෙන් ලබාදෙන සමෘද්ධිය වැනි සහනාධාරයක් හෝ ලබා ගැනීමට හැකියාවක් නැත. ග්‍රාම සේවා නිලධාරින් නොදැන පුරවැසියකු ලෙස කිසිදු නීත්‍යනුකූල හිමිකමක් නොමැති අයකු සිටිය නොහැකිය. එක්කෝ ග්‍රාම සේවා නිලධාරින්ගේ සිට රාජ්‍ය පරිපාලනයේ සියලු නිලධාරින් මේ මිනිසුන් ගැන දැන දැනම ඔවුන්ව පාපිස්ස යටට දමා කටයුතු කර තිබේ. නැතිනම් උප්පැන්න සහතික නැතත් නීති විරෝධී ලෙස ජාතික හැඳුනුම්පත්, ඡන්ද හිමිකම් ආදී හිමිකම් ලබා දීමට කටයුතු කර තිබේ.

උප්පැන්න සහතික නොමැති ලක්ෂ දහයක පිරිස යටිබිම්ගතව හොර රහසේ ජීවත්වන අය නොවෙති. ඔවුන්ද අප මෙන්ම ජීවත්වීම සඳහා කුමක් හෝ රැකියාවක් කරමින් මේ සමාජයේ අප මෙන්ම විවෘතව හැසිරෙන පිරිසකි. එසේ නම් රැකියාවක් කිරීමේදී වෙනත් අවශ්‍යතා ඉටුකර ගැනීමට යෑමේදී මේ අයට ජාතික හැඳුනුම්පත වැනි නිල ලේඛන නොමැති බව අනාවරණය නොවූයේ යැයි පිළිගත නොහැකිය. එවැනි අවස්ථාවල ඔවුන්ගේ සේව්‍යයන් මෙන්ම රජයේ නිලධාරින්ද මේ කාරණය නොතකා හැර සිටියා විය හැකිය. නැතහොත් ඔවුන් හැඳුනුම්පත වැනි නිල ලේඛන ව්‍යාජව සකස් කර ගෙන තිබිය යුතුය.

නීත්‍යනුකුල උප්පැන්න සහතික නොමැති පිරිස් පසු කාලීනව තම දරුවන් පාසලකට ඇතුළත් කිරීම වැනි අවශ්‍යතාවලදී ව්‍යාජ ලේඛන සකස් කර ගන්නා බවට අනුමානයක් ඉහත සමීක්ෂණයෙන් අනාවරණ වී තිබේ. ඉන් පැහැදිලිවන ඉතා භයානක අමතර කාරණයක් තිබේ. රට තුළ අති විශාල ව්‍යාජ නිල ලේඛන සකස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවය. මේවා එලෙස පවත්වාගෙන යෑමට ඉඩ ලැබී ඇත්තේ කෙසේද? එවැනි ජාවාරම් නීතිය හමුවට ගෙන නොඑන්නේ කුමක් නිසාද? නොහැකියාවද, නැතිනම් අවශ්‍යතාවක් නොමැතිකමද? මේවා ගැනත් සොයා බැලිය යුතුය.

උප්පැන්න සහතික නොමැති පුද්ගලයන් සිටීමට හේතුවන ප්‍රධාන කාරණා දෙකකි. අඩු වයසින් විවාහ වන අය ඔවුන්ට දාව ඉපදෙන දරුවන්ගේ උපත් ලියාපදිංචි කිරීමට උනන්දු නොවීම පළමුවැන්නය. නූගත්කම තවත් කාරණයකි. මේ කාරණා දෙක මගින් පැහැදිලි වන්නේ රටේ තවමත් අඩු වයස් විවාහ හෙවත් නීති විරෝධී විවාහ සිදුවන බවය. නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් එසේ සිදුවන්නේ කෙසේද? අඩු වයස් විවාහ සිදුවීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ නූගත්කමය. ඉන් පෙනී යන්නේ අපගේ සාක්ෂරතාව සියයට 96 ක් තරම් ඉහළ අගයක් යැයි කියමින් උදම් ඇනූවත්, අපගේ නූගත්කම තුරන් වී නොමැති බවය. ප්‍රශ්න විසඳිය හැක්කේ මතුපිටින් පිළිතුරු ආදේශ කිරීමෙන් නොව ප්‍රශ්නයේ මූලය හඳුනා ගෙන ඒවාට විසඳුම් ආදේශ කිරීමෙනි.

තමන්ට දරුවකු ඉපදුණු පසු උපත ලියාපදිංචි කර උප්පැන්න සහතිකයක් ලබා ගැනීම දෙමාපියන්ගේ වගකීමකි. එහෙත් නූගත්කම නිසා හෝ වෙනත් හේතුවක් නිසා උපත් ලියාපදිංචි නොවීම වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම බලධාරින්ගේ වගකීමකි. අතීතයේ මෙන් නොව වර්තමානයේ නිවෙස්වල දරු උපත් සිදු නොවන තරම්ය. මොන තරම් දුප්පතෙකු වුවත්, නූගතකු වුවත් ප්‍රසූතිය සඳහා යන්නේ රෝහල් වෙතය. පහසුකම් අඩු වූවත් වතුකරයේ පවා රජයේ රෝහල් තිබේ. උපත් ලියාපදිංචියට රජයේ රෝහල්වල විධිමත් ක්‍රමයක් තිබේ නම් කිසිදු උපතක් ලියාපදිංචි නොවී තිබෙන්නට ක්‍රමයක් නොමැති බව අපගේ අදහසය.

වර්තමානයේ සෑම ප්‍රධාන රජයේ රෝහලක මෙන්ම පෞද්ගලික රෝහල්වලද උපත් එම රෝහලේදීම ලියාපදිංචි කෙරේ. එහෙත් උප්පැන්න සහතිකය ලබා ගත යුත්තේ රෝහලට පිටතින් පිහිටි රෙජිස්ටාර්වරයාගේ කාර්යාලයෙනි. ඒ සඳහා මාස තුනක කාලයක් ලබා දී ඇතත් එම කාලය තුළ කිසිවකු උප්පැන්න සහතිකය ලබා නොගත්තත් ඒ පිළිබඳ පසු විපරමක් කෙරෙන්නේ නැත. වතු රෝහල් වැනි කුඩා රෝහල්වල දරු උපත් සිදු වුවත් උපත් ලියාපදිංචියක් සිදු වන්නේ නැත.

උපතක් සිදු වූ ස්ථානය කුමක් වුවත් එහිදී උපත ලියාපදිංචි කිරීමත්, එහිදීම උප්පැන්න සහතිකයක් ලබා දීමටත් පියවර ගත හැකි නම් අනාගතයේ හෝ උප්පැන්න සහතික නොමැති කිසිවකු නොසිටිනු ඇත. උපත සිදුවන රෝහලේදී සහතිකය නිකුත් කළ නොහැකි නම් එය තැපෑලෙන් ලැබීමට හෝ සැලැස්විය නොහැකිද? දරුවකු උපත ලැබූ පසු උපත ලියාපදිංචි කර තිබේද, උප්පැන්න සහතිකයක් ලබාගෙන තිබේද කියා පසුවිපරම් කිරීම ගමේ ග්‍රාම සේවකට හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවට කළ හැකි සරල රාජකාරියකි. මේවාට ජනාධිපතිවරයාගේ හෝ අමාත්‍ය මණඩල අනුමැතිය හෝ විධානයන් අවශ්‍යය යැයි අප සිතන්නේ නැත.

කුමන ආකාරයකට හෝ දරු උපත් ලියාපදිංචිය හා උප්පැන්න සහතික නිකුත් කිරීම ක්‍රමවත් නොකළහොත් දැනට ලක්ෂ 10 ක් වන උප්පැන්න සහතික නැති පිරිස මේ වසර අවසන් වන විට තවත් ඉහළ යෑම වළක්වනු නොහැකි වනු ඇත. ඇත්තෙන්ම නීත්‍යනුකූල අවශ්‍යතාවක් නොමැති නම් දැනුම් තේරුම් ඇති අය පවා උප්පැන්න සහතික ලබා ගන්නවාට උනන්දුවක් නොදක්වන බව නම් සහතිකය. දැනට පවතින ක්‍රමය ඒ තරමට කරදරකාරීය.

උප්පැන්න සහතික නිකුත් කිරීමට වඩා සරල හා පහසු නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නා සේම දැනට උප්පැන්න සහතික නොමැති ලක්ෂ දහයක් වන පිරිසටද වහාම උප්පැන්න සහතික නිකුත් කිරීමට පියවර ගත යුතුය. සමීක්ෂණය මගින් මේ පිරිස හඳුනාගෙන ඇති නිසා එය එතරම් අසීරු විය නොහැකිය. මේ අයගේ ප්‍රශ්නය විසඳීමට වහාම පියවර නොගතහොත් ඔවුන්ගේ ඊළඟ පරම්පරාවද මෙරට පුරවැසිකම නොමැති පිරිසක් බවට පත් වීම වැළැක්විය නොහැකි වනු ඇත.