අතන මෙතන

උපකාර පංති සිසුවියන්ට උසුළු විසුළු කළ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට

වවුනියාව, කුරුමන්කාඩු ප්‍රදේශයේ උපකාරක පංති සඳහා පැමිණෙන පාසල් සිසු සිසුවියන් හට උසුළු විසුළු කරමින් මාර්ගයේ තනි රෝදයෙන් යතුරු පැදි ධාවනය කළ තරුණයින් සිව්දෙනකු අද(11) උදෑසන අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ වවුනියාව කුරුමන්කාඩුව හා වවුනියාව උද්‍යාන මාර්ගයේ උපකාරක පංති සඳහා පැමිණෙන සිසුවියන්ට උසුළු විසුළු කරමින් අශෝභන ආකාරයෙන් හැසිරෙන තරුණයින් කණ්ඩායමක් පිළිබඳ වවුනියාව පොලිසිය වෙත ලද පැමිණිලි කිහිපයක් මත පොලිස් රථවාහන නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකාර තරුණයින් හා ඔවුන් පැමිණි නවීන පන්නයේ යතුරු පැදි හතරක්ද අත්අඩංගුවට ගත් බවයි.

පොලිසිය පැවසූවේ අත්අඩංගුවට ගත් තරුණයින් පිරිස රාත්‍රි කාලයේ මුදලට යතුරු පැදි ධාවන තරඟයේ යෙදෙන පිරිසක් බවටද සිදුකළ විමර්ශන වලදී තොරතුරු අනාවරණයවූ බවයි..

අත්අඩංගුවට ගත් යතුරු පැදි සාමාන්‍ය යතුරු පැදියකට වඩා එන්ජින් ධාරිතාව වැඩි යතුරු පැදි බවද පොලිසිය අනාවරණය කළේය.

සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 20 අතර වයසේ පසුවන්නන් වෙති.

සැකකරුවන් අන්තරායකාරී, අපරික්ෂාකාරී අයුරින් රියධාවනය යන චෝදනා යටතේ වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිස්සලාල් ද සිල්වා මහතාගේ උපදෙස් මත වවුනියාව රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගාමිණි දිසානායක මහතාගේ මෙහෙයවීම මත වවුනියාව රථවාහන පොලිස් නිළධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 

මාධව කුලසූරිය