කතුවැකි

උතුරු නැගෙනහිරට අවශ්‍ය මොනවාද?

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ මෙරට සිංහල, බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙනි. ඔහුට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සමග සැසදීමේදී සුළු ජන ඡන්ද නොලැබුණු තරම්ය. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු පළමු වරට ජනතාව ඇමතූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. එසේම බහුතර සිංහල, බෞද්ධ ඡන්දයෙන් ජයගත හැකි බවට තමන් තුළ විශ්වාසයක් තිබූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඔහු සාම්ප්‍රදායික දේශපාලකයකු වූයේ නම් කිසි විටෙක මෙවැනි ප්‍රකාශයක් නොකරනු ඇත. ඔහු රටේ නායකත්වයට පත් වූ පළමු වෘත්තිකයාය. යථාර්ථය පිළිගනිමින් ඊට අදාළව කටයුතු කරන්නට ඔහු යොමු වන්නේ ඒ නිසාය. සාම්ප්‍රදායික දේශපාලකයා හැම විටම යථාර්ථයට අනුව කටයුතු කරන්නේ නැත. ඔහුගේ තීරණ හැම විටම රඳා පවතින්නේ බලය ලබා ගැනීම හා බලය පවත්වා ගැනීම යන කරුණු මතය. බොහෝ ප්‍රශ්න විසඳුමකින් තොරව අර්බුද බවට පත් වන්නේ මේ නිසාය.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය, උතුරු නැගෙනහිර ප්‍රශ්නය, ආදී විවිධ නම්වලින් හඳුන්වන කාරණයද දේශපාලකයන්ගේ මේ ප්‍රතිපත්තිය නිසා අර්බුදයක් බවට පත් වූ ප්‍රශ්නයකි. උතුරු නැගෙනහිර සන්නද්ධ කණ්ඩායම් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි නමුත් මේ රටේ බහුතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවට කිසි විටෙකත් මේ රට දෙකඩ කරන්නට අවශ්‍ය වූයේ නැත. යථාර්ථය එය වුවත් සිංහල මෙන්ම දෙමළ දේශපාලන නායකයන්ද කිසිවකු ඒ බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ මේ ප්‍රශ්නය ඔවුන්ට බලයට පැමිණීමට ආයුධයක් කර ගැනීමය.

ඒ සඳහා ඔවුන් භාවිත කළේ බලය බෙදීම, ෆෙඩරල් යෝජනා ආදී සංකල්පය. එහෙත් උතුරේ ප්‍රශ්නයට විසඳුම මේ සංකල්ප තුළින් සොයාගත නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ අදහස වන්නේ උතුරු නැගෙනහිරට අවශ්‍ය වන්නේ බලය බෙදීමක් නොව ආර්ථික සමෘද්ධිය බවය. එසේම දේශපාලන විසඳුමකින් ජාතික සමගිය ඇති කළ නොහැකි අතර එය කළ හැක්කේ රටේ සියලු දෙනාට ජාති ආගම් භේදයකින් තොරව ගෞරවාන්විතව, නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමෙන් බවය.

ජනාධිපතිවරයාගේ මේ මතය සම්බන්ධයෙන් විවේචන එල්ල කරන පිරිස් සිටින්නට පුළුවන. එහෙත් ව්‍යාජ කරුණුවලින් තොරව තම අදහස, මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අගය කළ යුතු කාරණයකි. ඊට අකැමැති, එකඟ නොවන අයටද ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග නිවැරදිව තේරුම් ගත හැකි වන බැවිනි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර සම්බන්ධයෙන් යෝජනා කෙරෙන ව්‍යවස්ථාමය හෝ දේශපාලන විසඳුම් ක්‍රියාත්මක කළ නොහැක්කේ මේ රටේ බහුතර ජනතාවක් ඊට අකැමැති නිසා බවය. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත නම් ඊට පිටින් කටයුතු කිරීමට දේශපාලකයන්ට අයිතියක් නැත. මෙතෙක් කල් අපේ බොහෝ නායකයන් මේ බව දැන දැනත් ප්‍රසිද්ධියේ එය පිළිගත්තේ නැත. දෙමළ නායකයන් තමන්ට වරදාන, වරප්‍රසාද ලබා ගැනීම සඳහා එය භාවිත කළේය.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය බිහි වන්නේ දේශපාලන කාරණා මුල් කරගෙන නොව ආර්ථික කරුණු මුල් කරගෙනය. සම්පත් මෙන්ම අවස්ථා බෙදී යාමේ විෂමතාව මුල් කර ගෙනය. උතුරු නැගෙනහිර ජනතාව මේ අසාධාරණයට ලක් වන්නේ දකුණේ ආණ්ඩුවලින් නොව ඔවුන්ගේම දේශපාලන නායකයන්ගෙනි. මේ හේතුව මුල් කර ගෙන තමන්ට එරෙහිව ජනතා විරෝධයක් නැග එන විට එය ජාතිකත්වය මුල් කර ගත් දේශපාලන විරෝධයක් බවට පත් කරනු ලැබුවේ ඒ දෙමළ, නායකයන්මය.

යුද්ධය අවසන් වීමෙන් පසු එවකට පැවැති ආණ්ඩුව උතුරු නැගෙනහිර පළාත්වල විශාල සංවර්ධනයක් සඳහා පියවර ගත්තේය. එහෙත් එම පළාත් සභාවල බලය හිමි වූ දෙමළ ජනතාවගේ නායකයන් යැයි කියන අය තමන්ගේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට කර ඇත්තේ කුමක්ද? බලය සඳහා ඔවුනොවුන් ආරවුල් සදා ගත්තා මිස ජනතාවට සිදුවූ සෙතක් නැතැයි කියන්නේ අප නොව එම පළාත්වල ජනතාවය.

ජනාධිපතිවරයා කියන්නේ ප්‍රථමයෙන් විසඳිය යුත්තේ උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථික ප්‍රශ්න බවය. උතුරු නැගෙනහිර දෙමළ නායකයන් බලය බෙදීම වැනි කාරණා ගැන කතා කරනු නමුත් එම ප්‍රදේශවල ජනතාවගේ පොදු ප්‍රශ්න, තරුණයන්ගේ රැකියා ප්‍රශ්න, ගැන කතා කරනවා අප අසා නැත. ජනාධිපතිවරයා කියන්නේ උතුරු නැගෙනහිර ජනතාවට පළමුව අවශ්‍ය වන්නේ තමන්ගේ මේ පොදු ප්‍රශ්න විසඳා ගැනීම බවය. උතුරු නැගෙනහිර ජනතාව තමන්ට ඡන්දය නොදුන්නත් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳිය යුතු බව ජනාධිපතිවරයා අදහස් කර තිබීම පැසසුම් කටයුතුය. ජනාධිපතිවරයා මේ ප්‍රශ්න විසඳීමට අවංකව පියවර ගනු ඇතැයි විශ්වාස කළ හැක්කේ ඔහු අනෙකුත් නායකයන් මෙන් කළ නොහැකි බව දැන දැනම බොරු ​දේශපාලන විසඳුම් යෝජනා නොකොට ඊට කළ හැකි ප්‍රායෝගික විසඳුම් යෝජනා කරන බැවිනි.