අතන මෙතන

උගුලෙන් ගැලවෙන්න ගෝඨා එක්ක සාකච්ඡාවක්

පිට කෝට්ටේ පිහිටි වියත්මඟ ප්‍රධාන කාර්යාලයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පසුගිය සඳුදා සංවිධානය කෙරිණි. පොහොට්ටුවේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න සමඟ සුදර්ශනී, ලාන්සා, ඩුලීප්, සිසිර සහ ඉන්දික ද පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් අතර මේ සාකච්ඡාව පැවැත්වුණි. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ එළිය වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැසීය.

පසුගිය දිනයක ප්‍රසන්න රණවීරගේ නිවසේ පැවැති දානමය පිංකමක් අතරතුර ගෝඨාභය සහ ප්‍රසන්න අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම හමුව සංවිධාන කෙරිණි. ගෝඨාභය එහිදී පිරිසට වියත්මඟ සහ එළිය වැඩසටහන්වල අරමුණ පැහැදිලි කළේය. මීට ඉහතදී එළිය වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රථම හමුව මිනුවන්ගොඩ දී පැවැත්වීමට අදහස් කෙරුණ ද ප්‍රසන්න නොමැති නිසා එය දිවුලපිටියේ දී පෙබරවාරි මස 23දා පැවැත්වීමට මෙහිදී අවසාන තීරණයකට එළඹිණි.

”ඕනෑම රටක දේශපාලනයට උගතුන් බුද්ධිමතුන් සම්බන්ධ වෙන තරමට තමයි ඒ රට දියුණු වෙන්නේ. අපේ රටේ විද්වතුන් දේශපාලනයට සම්බන්ධ කරන්න තමයි අපි වියත්මඟ හැදුවේ. ඒ විද්වතුන් සමග දේශපාලනඥයන් එකට සම්බන්ධ කරන්නයි අපි එළියට වැඩසටහන පටන් ගත්තේ. මේකට ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා”ගෝඨාභය පැහැදිලි කළේය.

”මම දේශපාලන පවුලකින් පැවත එන කෙනෙක්. පුංචි කාලයේ ඉඳන් දේශපාලනය මට සමීප වුණත් මම දේශපාලනය කළේ නැහැ. මහින්ද අයියා වගේම චමල්, බැසිල් දේශපාලනය කළත් මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. හමුදාවේ ඉන්න කොට දේශපාලනය කරන්න බැහැ. ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කොටත් මම දේශපාලනය කළේ නැහැ. නමුත් මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. මගේ අවසාන ඉලක්කය රට ගොඩගන්න එකයි. අපි ඔක්කොම එකතු වෙලා ඒ අවසාන ඉලක්කය ජයග්‍රහණය කරන්න කටයුතු කරමු. අපි ගොඩක් අමාරුවෙන් තමයි රට මේ තැනට ගෙනාවේ. ඒක විනාශ කරන්න ඉඩ තියන්න බැහැ” ගෝඨාභය පැවසීය.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අනතුරුව පිරිසගේ අවධානය යොමු කෙරුණු අතර එම ව්‍යවස්ථා යෝජනා මගින් රටට සිදුකරන්නට යන විනාශය ගැන ගෝඨාභය මැනවින් කරුණු විග්‍රහ කළේය. ”සුමන්තිරන් මටත් ව්‍යවස්ථා යෝජනාවේ කෙටුම්පතක් ගෙනත් දුන්නා. මම ඒක කියවලා බැලුවම තේරුණේ මේ යෝජනා සම්පූර්ණයෙන්ම රටට අහිතකරයි කියලයි. ඒ යෝජනාවේ එකඟ වෙන්න පුළුවන් එකම අකුරක්වත් නැහැ. මම මහින්ද මහත්තයවත් හම්බ වෙලා මේ ගැන කිව්වා. මම එතුමාගෙන් ඉල්ලා හිටියා මේ යෝජනාවට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන්න කියලා” ගෝඨාභය පැවසීය.
”ඔය ව්‍යවස්ථාව නම් මර උගුලක් කියලයි මම කියන්නේ . අපි මේකට අහු වෙන්න හොඳ නැහැ.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ මේ උගුලට අපිව අහුකරන්නයි. ජනාධිපති ක්‍රමය අහෝසි කරනවට මගේ අකමැත්තක් නැහැ. හැබැයි ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් පළාත් සභාත් අහෝසි කරන්න ඕනේ. එහෙම නැතුව පළාත් සභා තියෙනවා නම් ජනාධිපති ක්‍රමයත් තියෙන්න ඕනේ කියන එකයි මගේ මතය” ප්‍රසන්න පැහැදිලි කළේය.

”ඒ කතාව නම් හරියටම හරි. අපිට මේ අය විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. මේ රට විනාශ වෙන්න ඉඩ තියන්න අපට බැහැ. ඒ නිසා අපි මේ යෝජනා පරාද කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ” ගෝඨාභය පැවසීය. ”මම පහුගිය දවසක උතුරු පළාතට ගියා. ඒ මිනිස්සුන්ට මේ ව්‍යවස්ථා ප්‍රශ්නයක් නැහැ. මේ අයගේ වැඩ ගැන ජනතාවගේ කිසිම කැමැත්තක් නැහැ. මට සමහරු කිව්වා ඒ ගම්වල ඔක්තෝබර් 26 දා රතිඤ්ඤා පවා පත්තු කළා කියලා” ප්‍රසන්න කීවේය.

”මමත් මන්නාරමට ගිය වෙලාවේ ඒ මිනිස්සු කිව්වෙත් උතුරට වැඩක් කළේ මහින්ද මහත්තයා විතරයි කියලයි. ඒ අය කැමැතියි මහින්ද මහත්තයා ආයෙත් රට භාර අරන් සංවර්ධනය කරනවා නම්. මෙතැන වෙලා තියෙන ප්‍රශ්නය තමයි අපි ඒ මිනිස්සු එක්ක කතා නොකරන එක” රණවීර පැවසීය. ”ඒක ඇත්ත. දෙමළ ජනතාවගේ වරදක් නැහැ. මේ ජාතිවාදී, අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ තමයි වරද. අපි ඔක්කොටම එකට එකතු වෙලා ඉන්න පුළුවන්. ඒක නැති කරන්නේ බඩගෝස්තරවාදී සුළු කොටසක්” ප්‍රසන්න කිවේය.