කතුවැකි

උගතුන් රට හදන්නට කැඳවීම

මෙතෙක් කල් රාජ්‍ය ආයතනවල මුල් පුටුවලටද, අධ්‍යක්ෂ මණ්ඩලවලටද පත් කෙරුණේ කෙබඳු අයද?

වෙළෙඳ හා වාණිජ ආයතනවල සභාපතිකමට තවමත් විරුදුකාරයන්ද තාක්ෂණික විද්‍යා ආයතනවලට ජ්‍යොතිෂවේදීන්, කර්මාන්ත හා නිෂ්පාදන ආයතනවලට පෙරකදෝරුවන් පත් කිරීම අපේ සිරිත වී තිබුණි.

මැතිවරණය දාට දේශපාලන පක්ෂ වෙනුවෙන් පෝලිම්බූත්වල ඡන්ද ලකුණු කළවුන්, අධ්‍යක්ෂ මණ්ඩලවල පුටු හෙබවූහ. ඇතැම් ආයතනවල කාර්යක්ෂමතාව කෙතරම්ද යත් සභාපති ආයතනයට එන්නේ පඩි දවසට පමණය.  නිල රථයේම හිඳ ගණකාධිකාරීවරයා ගෙනෙන වවුචරයේ අත්සන් කර පඩිපත ගෙන සභාපති පිටව යයි. මේ නිසාම ආයතන සභාපති හා අධ්‍යක්ෂවරයා යනු කැමිලස්ගේ ගජමෑන් කාටූනයේ අඳින බඩ තඩි මජර දේශපාලකයාය යන චිත්‍රය ජන මනසේ මුද්‍රා තැබිණි.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉතිහාසයේ පළමුවෙනි වතාවට රාජ්‍ය ආයතන මුල් පුටුවලට වෘත්තිකයන් තේරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා රටේම වෘත්තිකයන්ගෙන් විවෘත අයැදුම්පත් කැඳවෙන්නේ ද ඉතිහාසයේ පළමු වතාවටය. මෙය මෙරට දියුණු මනසක් සහිත ජනතාව පැතූ දෙයක් බැවින් දැන් මහත් මහජන ප්‍රසාදයක් ගොඩනැගී තිබේ.

එහෙත් දේශපාලන අදහසක් නොදරන දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ හුරුවක් නැති හුදු වෘත්තීයවේදීන්ට මෙම ආයතන ගොඩනැගිය හැකිද? වෘත්තීයවේදී ක්ෂේත්‍රයද හොරුන්ගෙත් නොතරය. පසුගිය රජය සමයේ තරු පන්තියේ හෝටලයක රිය අංගණයේ කෝටි ගණනක මුදලක් ගනිමින් සිටියදී අල්ලස් නිලධාරීන්ගේ අතට හසු වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ආචාර්යවරයෙකි. දකුණු ආසියාවේ ලොකුම බදු වංචාව කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඥානසිරි සොයිසා ජයතිලකය. ඔහු වෘත්තිකයෙකි. පසුගිය යහපාලන රජය බලයට ගෙනා වියතුන් 2019 ගෙදර ගියේ හිස් අතින් නොවේ. ඇතැම් ආචාර්යවරු තම පොතේ දොරට වැඩුමට තේ පැන් බොන්නට පමණක් ලක්ෂ තුන හතරේ බිල් රාජ්‍ය ආයතනවලට යොමු කළෝය. ඇතැම් විශ්වවිද්‍යාලවල උගන්වන හිමිවරු රාජ්‍ය ආයතනවලින් මාසිකව ලක්ෂ ගණන් පඩි අරන් කහ සිවුරේ හොර සාක්කුවේ දමා ගත් සේක. මේ බොහෝ උගතුන්ට වෘත්තිකයන්ට මෙරට විශ්වවිද්‍යාලවල ඉහළම උපාධි තිබෙන අතර ගන්නට ඉතිරිව තිබෙන්නේ ගල් බෝඩිමේ උපාධිය පමණි. ආයතනයක ඉන්න අඩු උගත්කම් ඇති කම්කරුවා හොරකම් කරන්නේ දැයි යන්න පිටවන විට  සාක්කු, පරීක්ෂා කර සොයාගත හැකිය. එහෙත් වෘත්තිකයාගේ සොරකම් සාක්කු  අතගෑමෙන් අසු නොවේ. එබැවින් වෘත්තිකයන්, ආයතන ප්‍රධානීන් වූ පමණින් එම ආයතන යහ මඟට ගෙන කටයුතු කෙරේ යැයි නොසිතිය යුතුය.   හොරකම, වංචාව බාලයන්ගේ ක්‍රියාවක් බව තහවුරු කෙරෙන ඉගෙනීමක් අපේ බාල පරපුරට දිය යුතුය. වෘත්තිකයකු වන්නේ මුදල් හම්බ කිරීමටය යන හැඟීම වෘත්තිකයන්ගෙන් ඉවත් කෙරෙන්නේ කවදාද? එදාට වෘත්තිකයන්ගෙන් රටට වැඩක් ගත හැකි වනු ඇත.

කිරි අම්මා වෙන්න යන රූ රැජන

වසර තිස් දෙකකට පසු ලෝක විවාහක රූප රාජිනී තරගයකින් අපි ජය ලබා ඇත්තෙමු.

ලෝකයා සිතන්නේ සුන්දරත්වය පිටුපස ඇත්තේ විලවුන් සුවඳ, සිනිඳු සළුපිළි, මන බඳිනා සිනාකැන් ආදිය කියාය. ගෙළ පලඳින නිල් මහනෙල් මල් පෙත්තද බර වැඩි යැයි සිතෙන තරම් මේ රූප රාජිනියෝ සියුමැලි යැයි ලෝකයා සිතති.

එහෙත් අපගේ විවාහක රූප සුන්දරිය ඒ රුව පිටුපස තිබුණ කටුක බර කන්දක් ගැන කතා කළාය.

‘‘අපි රූප රාජිනී තරගයට යන්න ඉල්ලද්දී ඇමෙරිකාව දෙපාරක් වීසා දෙන එක ප්‍රතික්ෂේප කළා. රූප රාජිනී තරගයට යනකොට අපිට කව්රුත් උදව් කළේ නෑ. ජාතික කොඩිය ගෙනියන්න වුණෙත් තනියම.’’

මේවා  ලංකාව වෙනුවෙන් පෙනී සිටින කාටත් මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්නය.

මම පුංචි කාලේ ගොඩක් දුක් වින්දා. මට විසාල මානසික ආතතියක් දැනුණා. මට පුංචි කාලේ ජීවිතේ නැති කරගන්නත් සිතුණා. ඔබ දෑස් යොමා නැරඹිය යුත්තේ මාගේ රුව නොව මා පිටුපස ඇති වේදනා කන්ද යයි’’ කියන්නාක් මෙනි ඈ කතා කළේ.

ළමා ලෝකය සුන්දර යන්න විශ්ව ව්‍යාපී හැඟීමකි. එහෙත් අපේ ලෝක විවාහක රූ රැජින අපට කියන්නේ ළමා ලෝකයේ බොහෝ දෙනෙක් මානසික ආතතියෙන් පෙළෙන බවය. වස බී, කෝච්චියට පැන, ගෙල වැළලාගෙන දරුවන් මියයන පුවත් ඇත්තේ අල්පවය. එහෙත් එසේ කරන්නට තරම් පීඩනයක මෙරට දරුවෝ වෙසෙති. දරුවන්ගේ මේ ආතතියට හේතුව රූ රැජිනට බලපෑ හේතු සමාන  නොවිය හැකිය. එහෙත් දෙමාපිය අඬදබර, පියාගේ බේබදුකම, තනිකම, අධ්‍යාපන පීඩනය ආදී නොයෙක් දෑ දරුවන් පීඩනයට පත් කරන බව අපට පෙනේ. එසේම එය නොපෙනේ.

‘‘මම දරුවෙක් හැටියට ආතතියෙන් විඳපු වේදනාව දන්න නිසා දරුවන්ව ඒ වේදනාවෙන් මුදවා ගන්න මම කැප වෙනවා. ඇයගේ හැබෑ ලස්සන දැන් අපට පෙනේ.

අපි ඇයගේ රුව දෑසින් ලෙව කනවා වෙනුවට කිරි මවක් ලෙස ඈ භාරගත යුතුය. අපේ දරු පරපුර පෙළෙන මේ ලෙඩට බෙහෙත් සෙවීමට මේ කිරි මවට උදව් කළ යුතුය.