කතුවැකි

‘උගත්, බුද්ධිමත්’ දේශපාලකයකුගේ තප්පුලෑම

උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවිය යුතු යැයි කියන මතය මෑත කාලීනව මෙරට දේශපාලනයේ ඇති වූ නව ප්‍රවණතාවකි. මේ මතය වෙනුවෙන් පෙනී සිටින අය, පාර්ලිමේන්තුවේ සිටින අට පාස් මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව පවා ප්‍රසිද්ධ කොට තිබේ. ඔවුන්ගේ තර්කය වන්නේ වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලනයේ පිරිහීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ උගතුන්, වැදගතුන්, පාර්ලිමේන්තුවට නොයැවීම බවය. ඒ සඳහා අතීත උදාහරණ කොතෙකුත් තිබේ. මීට සතියකට, දෙකකට පෙර මීගමුවේදී කඩොලාන රැක ගැනීම හා විනාශ කිරීම අරබයා ගම්පහ දිසා වන නිලධාරිනිය හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අතර ඇති වූ වචන හුවමාරුව උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු යැයි කියන අයගේ මතය තවත් ශක්තිමත් කරන්නට කදිම නිදර්ශනයක් විය.

එහෙත් ඒ සිද්ධියේ උණුසුම මැකී යන්නටත් පෙර උගත්, බුද්ධිමත් වැදගත් යැයි කියන දේශපාලකයන්ද, අට පාස්, නූගත් ලුම්පන් දේශපාලකයන්ට දෙවැනි නොවන බව සනාථ කෙරෙන සිදුවීමක් වාර්තා වූයේ නුවරඑළියෙනි. මේ දේශපාලකයා එසේ මෙසේ කෙනකු නොව, මෙරට හිටපු කීර්තිමත් දේශපාලකයකු වූ ගාමිණී දිසානායකගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය මෙන්ම වර්තමානයේ මෙරට සිටින පිරිසුදුම දේශපාලකයකු ලෙස සැලකෙන කථානායක කරු ජයසූරියගේ බැණනුවන් වන හිටපු අමාත්‍ය නවීන් එරන්ජන් දිසානායකය. මේ උගත්, බුද්ධිමත්, වැදගත්, උභය කුල පාරිශුද්ධ නවීන් දිසානායක, පසුගිය සෙනසුරාදා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් තප්පුලෑවේ වැදගත් පවුල් පසුබිමක් තිබූ පමණින් හෝ අධ්‍යාපනය තිබූ පමණින් වැදගතුන් බිහි නොවන බව සනාථ කරමිනි.

මීගමුවේදී සනත් නිශාන්ත හැසිරුණු ආකාරය සහ නුවරඑළියේදී නවීන් දිසානායක හිටපු අමාත්‍යවරයා හැසිරුණු ආකාරය දුටුවිට නවීන් වැනි ඊනියා උගතුන්ට වඩා සනත් නිශාන්ත වැනි උගතුන් නොවන අය හොඳ යැයි කෙනකුට සිතුණොත් පුදුම විය යුතු නැත. මීගමුවේදී සනත් නිශාන්ත, නිලධාරිනියට බලපෑමක් කරන්නේ නැත. ඔහු ඉදිරිපත් කරන්නේ යෝජනාවකි. නිලධාරිනිය ඊට එකඟ නොවූ නමුත් ඇමැතිවරයා කෝප ගන්නේ නැත. ඔහු යළි යළිත් නිලධාරිනියට ඒත්තු ගන්වන්නට උත්සාහ කරන්නේ තමන්ගේ යෝජනාවේ සාධාරණකමය. නමුත් නිලධාරිනිය ඊටද එකඟ නොවූ විට සනත් නිශාන්ත ඇමැතිවරයා ඇයට තර්ජනය කරන්නේ හෝ අභියෝග කරන්නේ නැත.

නමුත් නුවරඑළිය ග්‍රෙගරි වැව ඉවුරේ අනවසර ඉදිකිරීමක් ඉවත් කරන්නට ගිය නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියාට නවීන් දිසානායක මන්ත්‍රීවරයා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? තමන්ගේ රාජකාරිය කිරීමට ඉඩ දෙන්නැයි නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරියා යළි යළිත් ඉල්ලා සිටියදීත් නවීන් දිසානායක මන්ත්‍රීවරයා කියන්නේ තමන් කිසිසේත්ම එම අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට ඉඩ නොදෙන බවය. තමන්ගේ විරෝධය නොතකා කටයුතු කළහොත් එම ස්ථානයේ නිදා ගන්නටද සූදානම් බව ඔහු කියන්නේ එම ඉදිකිරීම, නීති විරෝධී එකක් බව දැන දැනමය. තමන් පොලිසිය සමග වුවත් ගහගන්නට සූදානම් බවට වහසි බස් දොඩන්නේ වැදගත් මන්ත්‍රීවරයකු ලෙස නොව බාහු බලයෙන් ප්‍රශ්න විසඳන රස්තියාදුකාරයකු සේය.

නවීන් දිසානායක මන්ත්‍රීවරයාගේ බජාර් පාට් නිමාවන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ වෙනත් නිලධාරියකු පැමිණ තත්ත්වය පාලනය කර ගැනීමත් සමගය. එසේ නොවන්නට මෙම සිද්ධිය රජයේ නිලධාරියකුගේ ජීවිතය අවසන් වීමෙන් අවසන් වන්නට වුවත් ඉඩ තිබිණ. නවීන්ගේ හයිය ගත් ඔහුගේ මෝඩ සහචරයන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට මරණ තර්ජන පවා කර තිබූ නිසාය. මේ සියල්ල සිදුවෙද්දී එතැන සිටි පොලිසිය බකං නිලාගෙන සිටීමෙන් කියන්නේ පොලිසිය තවමත් දේශපාලකයන්ට අවශ්‍ය අන්දමට නීතිය නවන්නට ඉඩ දෙන බවද? මෙවැනි අනවසර ඉදිකිරීමකට ජලය හා විදුලිය සපයා ඇත්තේ කෙසේද? ඒ ගැන පළාත් පාලන ආයතන සේම විදුලිබල මණ්ඩලයද වගකිව යුතුය. මේ ඉදිකිරීම ඉවත් කිරීමට යෑම ගැන නවීන් දිසානායකට මේ තරම් ඩෝං යන්නේ ඒවාද ඔහුගේ අනුග්‍රහයෙන් වී ඇති නිසා විය හැකිය.

පොලිසිය පවා නිශ්ශබ්ද කරවමින් නවීන් දිසානායක මන්ත්‍රීවරයා එලෙස රජයේ නිලධාරියකුගේ නීත්‍යනුකූල රාජකාරියට බාධා කරන්නේ ඔහු විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටිමිනි. ඔහු ඇමැතිවරයකුව සිටියේ නම් තත්ත්වය කුමක් විය හැකිව තිබුණේද?

නුවරඑළිය ග්‍රෙගරි වැව ඉවුරේ කිසිදු ඉදිකිරීමක් කිරීම තහනම්ය. නවීන් දිසානායකගේ සහචරයා එම ස්ථානයේ ස්ථිර ඉදිකිරීමක් කර තිබෙන්නේ ජංගම අලෙවි රථයක් තබා ගැනීමට ලබා දුන් තාවකාලික අවසරය ප්‍රයෝජනයට ගනිමිනි. මේ ඉදිකිරීම් පැය 48 ක් ඇතුළත ඉවත් කර ගන්නට පොරොන්දු වී ඇතත් පෙරේදා (23 වැනිදා) සවස්වන විටත් එය ඉවත්කොට නැත. ඉන් කියැවෙන්නේ දැන උගත් නවීන් දිසානායකගේ නූගත් විරෝධය ඵල දරා ඇති බවද?

ආණ්ඩුවේ නිලධාරියකුට නීත්‍යනුකූල ලෙස රාජකාරිය ඉටු කරන්නට ඉඩ නොදී නීති විරෝධී කටයුත්තක් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම් වූ නවීන් දිසානායක, පොදු පිළිගැනීමට අනුව උගතෙකි. වියතෙකි. වැදගත් මහත්මයෙකි. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ ගමේ ගොඩේ පාසලක නොව රාජ්‍ය නායකයන් පවා බිහිකර ඇති ලංකාවේ කීර්තිමත් පාසලක් ලෙස සැලකෙන කොළඹ රාජකීය විද්‍යාලයේය. නීති විරෝධී කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටින ඔහු, සාමාන්‍ය මන්ත්‍රීවරයකු පමණක් නොව නීතිවේදියෙකි. නීතිය ඉගෙන ගෙන ඇත්තේද, අපට නීතිය හඳුන්වා දුන් එංගලන්තයේය. එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකක අධ්‍යාපනය ලබා ඇති ඔහු එරට බැරිස්ටර්වරයකු ලෙස ද ලියාපදිංචි වූවෙකි. මේ මොන උපාධි තිබුණත් මොන තනතුර දැරුවත් අපට නම් කියන්නට ඇත්තේ නුවරඑළියේදී ඔහුගේ හැසිරීම බලු නොවටින බවය. නවීන් දිසානායක එදා පෙන්නුම් කළේ, දේශපාලකයන්ට ආවේණික ජඩ ගතිය, මොන උපාධි ලෝගුවෙන්වත් වසා තබන්නට බැරි බවද?

නවීන් දිසානායක යනු නිකංම නිකං මන්ත්‍රීවරයකු නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයට උරුමකම් කියන අයෙකි. ඔහු එජාප උරුමයට ඉව අල්ලන්නේ නිකං නොව රටේ නායකත්වය ලබා ගන්නටය. විපක්ෂයේ මන්ත්‍රී කට්ටක් දරද්දී මෙහෙම නම් ඔහුට රටේම නායකත්වය ලැබුණොත් කෙසේ වනු ඇත්ද?