අතන මෙතන

උගත් පිස්සො සමහර කොමිෂන්වල ඩෙඟා නටනවා

එක පැත්තකින් මැතිවරණ කල් දමන මැතිවරණ කොමිසම අනෙත් පැත්තෙන් රුපියල් පන්දාහේ දීමනාවත් නතර කළා.

මැතිවරණ කොමිසම හරහට හිටීම නිසා කොරෝනා නිසා අසරණ ජනතාවට සහන ලබා දිය නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි. සභාපතිවරයා එසේ පැවැසුවේ අඹන්පොළ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

උගත් පිස්සො සමහර කොමිෂන් සභාවල ඩෙඟා නටනවා. ස්වාධීන කොමිෂන්වලට සාමාජිකයින් පත් කිරීමේ දී ව්‍යවස්ථාදායක සභාව, ස්වාධීන පුද්ගලයින් පත් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.

අද සජිත්, රනිල් පිල්වලට වැලේ වැල් නැතිවෙලා. එහෙම තිබියදී එ.ජා.පයෙන් දිනන මන්ත්‍රීවරු ඉදිරියේ දී අපිත් එක්ක එකතු වෙන බවට ලක්ෂ්මන් කිරිඇල්ල කියනවා. කිරි ඇල්ලලා දවල් හීන දකිනවා. ඉදිරි මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබන අපිට මොකටද එ.ජා.ප.යේ මන්ත්‍රීවරු. එක්සත් ජාතික පක්ෂය වපුරපු විදිහට තමයි අස්වනු ලැබෙන්නේ.

බලාගෙන ඉන්න කියලා අපි කියනවා. අපි ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට කිසි සේත් බලපෑම් කරන්නෙ නෑ. මැතිවරණය පිළිබඳව තීරණ ගැනීමේ සම්පූර්ණ බලය කොමිසමට තිබෙනවා. සෞඛ්‍යාරක්ෂිතව නීතිරීතිවලට අනුව මැතිවරණය පැවැත්වීම පිළිබඳ වගකීම තිබෙන්නෙ මැතිවරණ කොමිසමටයි.

එස්. විජේරත්න