විශේෂාංග

ඉස්සර පොත් හොරකම් කළේ කඩෙන් දැන් අන්තර්ජාලයෙන්

ඕනෑම පොතක් පෙරළුෑ කල එහි දෙවැනි පිටුවේ සියලුම හිමිකම් ඇවිරිණි යටතේ වගන්තියක් සඳහන් වෙයි. ඒ, ප්‍රකාශකගේ නිසි අවසරයකින් තොරව මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක් හෝ උපුටා ගැනීම, මුද්‍රිත, ලිඛිත, ඉලෙක්ට්‍රොනික් ආදී කවර මාධ්‍යයකින් හෝ පිටපත් කිරීම, පළ කිරීම, විකාශනය කිරීම, අනුවර්තනය කිරීම හා ව්‍යාජ ලෙස සැකසූ පිටපත් අලෙවි කිරීම, බෙදාහැරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ යන්නය. මෙය පොතක නීතිමය අයිතිය වෙනුවෙන් තබන්නක් වුවත් එය සටහනකට පමණක් සීමා වූ වැකියක් බවට පත්වූයේ අද ඊයේ නොවේ. අතීතයේ සිටම පොත්වල තිබෙන ඇතැම් කොටස් ඇතැමුන් සොරා ගැනීම් සිදු කර ඇතත් අද වන විට එය පොත් පිටින් සොරා ගන්නා තැනට පත්ව ඇත. ඒ ලොකුම හොරකම පොත් පිටින් ඡායාරූප ගත කර හෝ ස්කෑන් කොට අන්තර්ජාලයට පත්කිරීමය. විශේෂයෙන් නවකතා පොත්ය. මෙය (E Book) හොරකමක් ලෙස නම් වන්නේ මෙසේ පොත් අන්තර්ජාලයට පත් කරන්නේ කර්තෘ හෝ ප්‍රකාශකගේ අනුදැනුමෙන් තොරව තෙවැනි පාර්ශ්වයක් විසින් වීම නිසාය. ඒවා ඕනෑම අයකුට බාගත කරගෙන බැලීමේ හැකියාවද පවතී.

නවකතා පොතක් කියවීමට උනන්දු වන්නන්ට මෙය මහඟු අවස්ථාවක් වුවද මෙය නීති විරෝධී ක්‍රියාවකි. කෙනකුගේ නිර්මාණයක් තවකෙක් ගන්නේ නම් ඒ ගැන මුල් අයිතිකරුගේ අවසරයක් තිබිය යුතුය. එනමුත් මේ අයුරින් පොතපත අන්තර්ජාලයට එක්කර ඇත්තේ කිසිදු ලේඛකයකුගේ හෝ ප්‍රකාශකයකුගේ අනුදැනුම හෝ අවසරයක් නැතිවය. මෙසේ පොත් අන්තර්ජාලයට එක්කළේ කවුරුන් විසින්දැයි කියා හෝ පොතේ අයිතිකරුවන්ට සොයා ගැනීමට නොහැකි කූට අයුරින්.

මේ පිළිබඳව අප ලේඛකයන් කිහිප දෙනෙක් හා ප්‍රකාශකයන් කිහිප දෙනෙක් සමග කතා කිරීමේදී විවිධ අදහස්, චෝදනා, යෝජනා ඉදිරිපත් විය. ජනප්‍රිය ලේඛක එඩ්වඩ් මල්ලවආරච්චි කියන්නේ තමන්ගේ අනුදැනුමෙන් තොරව මෙසේ තම පොත පතද එසේ ඊ බුක් කර ඇති බවත් එසේ සොරා ගැනීම ඉතාම නිර්ලජ්ජිත ක්‍රියාවක් ලෙසය.

‘‘මගේ පොතුත් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. හැබැයි අපි කවුරුත් දන්නේ නැහැ මේ ක්‍රියාව සිදුකළේ කවුරුද කියා. අපි මේ පොතක් ලියන්න කොතරම් මහන්සි වෙනවාද? ඒත් මේ විදිහට ‘සොරුන්’ පොත පත අන්තර්ජාලයට එක්කිරීමෙන් පොත පතින් ජීවත් වන පිරිස කොතරම් අසරණ වෙනවාද? පොත පත සම්බන්ධයෙන් තිබෙන ආචාර ධර්ම සොයන්න කෙනෙක් නැහැ. බුද්ධිමය දේපළ පනත මේ සම්බන්ධයෙන් ශක්තිමත් නැහැ. මේ ආකාරයට ගියොත් ඉදිරියේදී අපේ ලේඛකයෝ පොත පත ලියන එකකුත් නැහැ.’’

මේ අයුරින්ම ජනප්‍රිය නවකතා රචිකාවියක වන චන්දි කොඩිකාරගේ පොත්වලටත් ඒ ඉරණම අත්ව ඇත. ඇය කියන්නේ ඇගේ ඇතැම් කෘතිවල පිටකවරය පවා වෙනස් කරමින් අන්තර්ජාලයට එක්කර ඇති බවයි.

‘‘අපි පොතක් එළියට දාලා ටික දවසකින් ඒවා අපි දන්නෙත් නැතුව අන්තර්ජාලයේ පළවෙනවා. අපේ මුද්‍රිත පොත පත විකිණිලා ඉවර වෙන්න කලින් සිය ගාණක් අන්තර්ජාලයෙන් පොත කියවනවා. ඒ නිසා මේ වනවිට විකිණීම අඩුවෙලා. අපි පොත් ප්‍රින්ට් කරලා ගෙවල්වල තියාගෙන ඉන්නවා. මේ පිළිබඳව මම බුද්ධිමය දේපළ කාර්යාලයට පැමිණිලි කළා. ඔවුන් මේවා නැවැත්වීමට නීති නැහැ කියනවා. ඊට පස්සේ සී.අයි.ඩී.යට පැමිණිලි කළා. අවුරුදු දෙකක් තිස්සේ තවම පරීක්ෂණ පැවැත්වෙනවා. මේ වන විට බුද්ධිමය දේපළ අමු අමුවේම කොල්ලකනවා. නමුත් කවුරුවත් ඒ ගැන සොයා බලන්නේ නැහැ. අපි දුක් මහන්සි වෙලා, දරුවෙක් හදනවා වගේ මහන්සි වෙලා පොත් ලියලා අද වනවිට ඒවා අපේම දේවල් ආරක්ෂා කරගැනීමට බොහෝ තැන්වලට යාමට සිදුවෙලා තිබෙනවා.’’

චන්දි කොඩිකාර විසින් 2018 වසරේ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. නමුත් ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත අනුව මෙම ආරාවුල නිරාකරණය සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් තම ආරාවුල නිරාකරණය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවකි.

පොතක් ප්‍රකාශයට පත්කිරීමේදී කර්තෘ සහ ලේඛකයා අතර ගිවිසුමක් තිබෙන්නේය. මේ ගිවිසුමට පිටින් කිසිවකුට කිසිවක් කිරීමට නොහැකිය. ප්‍රවීණ ලේඛක නීතිඥ ඩබ්ලියු. ඒ. අබේසිංහ කියන්නේ කර්තෘ සහ ලේඛකයාට පරිබාහිරව පොතක් සම්බන්ධව කටයුතු කරන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවක් බවය.

‘‘නීති විරෝධී මෙන්ම එය ගුණධර්ම විරෝධී ක්‍රියාවක් වෙනවා. එයට ඉඩ දිය නොහැකියි. පොතක් ලියලා කර්තෘවරයා මියගොස් වසර හැත්තෑ පහකට පසුව එකී කර්තෘවරයාගේ පොත් පිළිබඳ බාහිර අයට ක්‍රියා කරන්න පුළුවන්. මේ පිළිබඳව කර්තෘවරුන්ට පොලිසියට මෙන්ම බුද්ධිමය දේපළ කාර්යාංශයට පැමිණිලි කළ හැකියි. ඒ අනුව නීතිමය ක්‍රියාවලියක යෙදීමට පුළුවන්. ඒ වාගේම මීට වසර දෙකකට පෙර මම පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති වෙලා සිටිය කාලේ කර්තෘවරුන්ගේ පොත් නීත්‍යනුකූලව කර්තෘවරුන්ගේ අවසරය ඇතිව අන්තර්ජාලයට එක් කිරීමට කටයුතු කළා. අපි මෙහිදී අදාළ කර්තෘවරුන්ට ගෙවීමක් කරමින් කර්තෘවරුන්ට සාධාරණත්වයකුත් ඉෂ්ට කළා.’’

සුජීව ප්‍රසන්න ආරච්චි යනු තරුණ තරුණියන් අතර සිටින ජනප්‍රිය ලේඛකයෙකි. ඔහුගේද සියලුම පොත් අන්තර්ජාලයට පත්කර ඇති බව සුජිව කියයි.

‘‘මගේ හැම පොතක්ම පී.ඩී.එෆ්. කරලා මම නොදැන ඉන්ටර්නෙට් එකට දාලා තියෙනවා. බුද්ධිමය දේපළ පනත අමු අමුවේම උල්ලංඝනය කරනවා. මේවා කරන්නේ වාණිජ්‍ය පදනමකින්. දැන් බලන්න යූටියුබ් ආපු හින්දා කැසට් කර්මාන්තයම බිඳ වැටුණා. දැන් ලේඛකයන් පොත් ලියන එකත් නවත්තලා. මම අවුරුදු දෙකකින් පොතක් මුද්‍රණය කළේ නැහැ. නමුත් මම විකල්පයක් සොයා ගත්තා. මම ඇප් එකක් හැදුවා. එයින් ඊ බුක් ක්‍රමයට යම්කිසි මුදලක් ගෙවලා මගේ පොත් සියල්ලම කියවන්න පුළුවන්. මම දැන් ලොකු මුදලක් වැය කරලා පොත් මුද්‍රණය කරන්නේ නැහැ. ඒ වෙනුවට මම කරන්නේ මගේ පොත් ඊ බුක් එකට දාන එක. මේ විදිහට ගියොත් සාහිත්‍යයත් ඉතිරි වෙන්නේ නැහැ. මම කියන්නේ සාහිත්‍ය කමිටු ලේඛකයන්ට සම්මාන දෙන්න කලින් මේවා විසඳලා සිටින්න කියලා.’’

ප්‍රවීණ ලේඛක සේන තෝරදෙණියද අපේ මේ කතාබහට එක් විය. ඔහු කියන්නේ තමන්ගේ පොත් අන්තර්ජාලයට පත්කර ඇත්තේද ඔහුට නොදන්වා බවය.

‘‘මට කෙනෙක් කිව්වා මගේ පොත් ආබාධ සහිත වූවන් සඳහා සකස් කරලා අන්තර්ජාලයේ තිබෙනවා කියලා. ඒක ඕඩියෝ ක්‍රමයටද, බ්‍රේල් ක්‍රමයටද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙයත් සිදුවූයේ මම නොදැනුවත්වයි. ඒ වාගේම මගේ පොතුත් පී.ඩී.එෆ්. කරලා හරි ස්කෑන් කරලා හරි අන්තර්ජාලයට දාලා තිබෙනවාද කියලා මම දන්නේ නැහැ. එහෙම කරන එක වැරදි වැඩක්. මට කළත්, කාට කළත් ඒක වැරැද්දක්. නිර්මාණයක අයිතිය තියෙන්නේ නිර්මාණය කළ කෙනාටනේ.’’

‘ඉටිපහන්, බුමුතුරුණු’ වැනි රූපවාහිනී මාධ්‍යයේ පවා ජනප්‍රිය වූ නවකතාද කන්දක් සේ මා වැනි සිනමාවට නැගුණු නවකතාද මේ වන විට අන්තර්ජාලයේ සැරිසරන්නේය. මෙකී නවකතාවල හිමිකාරිය වන ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධද අනවසරයෙන් කරන ඊ බුක් මාෆියාවට විරෝධතාව පළ කළාය.

‘‘අපි පොතක් ලියන්නේ මොනතරම් අමාරුවෙන්ද? පොතක් ලියන විට උදේද, රාත්‍රියද කියලා නැහැ. මහ පාන්දරට හරි අදහස් එනවා නම් අපි ලිවීම කරනවා. එහෙම ලියලා පොතක් පළ කළාම මේ විදියට එක්තරා පිරිසක් මහා දවාලේම අපේ දේවල් මංකොල්ල කනවා. පොතකින්ම පමණක් ජීවත් වන පිරිස මොනතරම් අමරුවකටද වැටෙන්නේ? මගේ මුල්ම නවකතාව බුමුතුරුණු මම ලියපු කාලේ හොඳ වෙලාවට මේ වගේ ක්‍රම තිබුණේ නැහැ. එදත් මේ විදියට අන්තර්ජාලයට පොත් දමන ක්‍රමවේදයක් තිබුණා නම් අද සුමිත්‍රා රාහුබද්ධ කෙනෙක් නැහැ. අපි අමාරුවෙන් ලියන දේවල්වලින් ආර්ථික වාසි ලබන්නේ වෙනත් පිරිසක්. මම කියන්නේ මේ අනුන්ගේ පොත් මේ විදිහට අන්තර්ජාලයට පත්කරන පිරිස තමන්ගේ පොතක් ලියලා පළ කරගන්න කියලා. ලියන හැමෝම මීට විරුද්ධව එකතු වෙන්න ඕන.’’

කවුරුත් මේ ගැන එකතුව ක්‍රියා කරන්නැයි ඇය කීවද මේ වනවිට පොත් කර්තෘවරුන් තනි තනි වශයෙන් ඔවුන්ගේ පොත් අන්තර්ජාලයට එක්කිරීමට විරුද්ධව නීතිමය කටයුතු කරමින් සිටිති. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයද සංගමයක් ලෙස මෙයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින්නේය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිංහ කියන්නේ මේ තත්ත්වය දිගටම පැවැතියහොත් පොත් ප්‍රකාශන කර්මාන්තය ඉදිරියේදී කඩා වැටෙන බවය.

‘‘නීත්‍යනුකූල නොවන ලෙස පොත් අන්තර්ජාලයට එක් කළ පුද්ගලයන් අපිට හඳුනා ගැනීමට බැහැ. ඔවුන් ඔවුන්ගේ අනන්‍යතාව සඟවලා තමයි ක්‍රියා කරන්නේ. මේ තත්ත්වය යටතේ නීතිමය රාමුව තුළ ක්‍රියා කිරීම අපහසු වෙලා තිබෙනවා. මෙහි බරපතළම තත්ත්වය තමයි මෙසේ නීති විරෝධී ලෙස අන්තර් ජාලයට පොත් එකතු කිරීම ඉහළ ගියොත් අනාගතයේදී ප්‍රකාශන කර්මාන්තය කඩා වැටෙනවා.​ ලේඛකයෙක් පොතක් ලියන්න ලොකු වෙහෙසක් ගන්නවා. නමුත් පරිබාහිරව සිටින අයෙක් අවසරයකින්, වෙහෙසකින් තොරව මුදල් හම්බ කරනවා. මෙය ව්‍යාපාරික අරමුණින් කරන දෙයක්. අපි මේ පිළිබඳව බුද්ධිමය දේපළ කාර්යාලයට පැමිණිලි කළා. නමුත් ඔවුනට සෘජු ලෙසම ක්‍රියා කරන්න බැහැ. ඔවුන්ගේ පනතේ විධිවිධාන නැහැ. ප්‍රතිපාදන නැහැ

පොත් අන්තර්ජාලයට පත් කිරීමට එරෙහිව ක්‍රියා කිරීමේදී බුද්ධිමය දේපළ පනතට නිසි ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි බව අප කතා කළ බොහෝ දෙනකු පැවැසුහ. අපි මේ පිළිබඳව බුද්ධිමය දේපළ කාර්යාලයෙන් විමසීමේදී එහි නීති අංශයේ අධ්‍යක්ෂ හිමාලි හෙට්ටිපොළගේ කියුවේ 2003 අංක 36 යන පනත යටතේ ක්‍රියා කිරීම සිදු කරන බවකි.

‘‘අපිට කර්තෘ කෙනෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී දිව්රුම් පෙත්සමක් සමග පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු වෙනවා. අපිට තිබෙන්නේ ආරාවුල් නිරාකරණය කිරීමේ බලයයි. ඒ අනුව පැමිණිල්ලක් ඉදිරිපත් කරන විට අනික් පාර්ශ්වය පිළිබඳව සටහනක් තිබිය යුතුයි. අපි සිදු කරන්නේ පැමිණිල්ලක් ඉදිරිපත් කළාම අනිත් පාර්ශ්වයත් ගෙනල්ලා ගැටලුව නිරාකරණය කිරීමයි. පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී පොලිසියට තිබෙන බලතල අපිට නැහැ.’’

බුද්ධිමය දේපළ පනත යටතේ මේ සම්බන්ධව ඕනෑම පොලිසියක් වෙතටද ප්‍රකාශකයාට පැමිණිලි කළ හැකිය. එම පැමිණිලි කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ මෙවැන්නකි.

‘‘පොතක් පිළිබඳ පැමිණිලි කිරීමේදී අයිතිවාසිකම් දෙකොටසක් පිළිබඳව කියවෙනවා. එකක් නිර්මාණ අයිතිය. එහිදී පැමිණිලි කළ හැකි වන්නේ නිර්මාණයේ කොටස් වෙනස් කර පළකිරීම සම්බන්ධවයි. අනෙක් අයිතිවාසිකම තමයි ප්‍රකාශන අයිතිය. පී.ඩී.එෆ්. වශයෙන් යම්කිසි පොතක් අන්තර්ජාලයට ඇතුළත් කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට හැකිවන්නේ ප්‍රකාශන අයිතිය ඇති හිමිකරුට. ප්‍රකාශක මේ යටතේ පැමිණිලි කළාම එය සී.අයි.ඩී. එකට යොමු කරනවා. එහි තිබෙන පරිගණක විමර්ශන අංශය මගින් අනවසරයෙන් අන්තර්ජාලයට යොමු කළේ කවුද කියලා හොයාගන්න හැකිවෙනවා. ඒ අනුව ඔවුන් අනාවරණය කරගෙන අත්අඩංගුවට ගෙන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා.’’

මෙසේ පොත් අන්තර්ජාලයට එක්කර තිබෙන පුද්ගලයන් හෝ ආයතන පිළිබඳව එහි වෙබ් අඩවිවල සටහනක් හෝ නොමැත. සාමාන්‍ය ජනතාවට ඒවා සොයා ගැනීමටද අපහසුය. නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංගමය මගින් වෙබ් අඩවිවල සියලු තොරතුරු සොයා ගැනීමේ හැකියාවක් පවතී. එහි තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල කියන්නේ ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් නොවන බවත් අධිකරණ නියෝගයක් හරහා ඔවුන්ට ලැබෙන වෙබ් අඩවියක විස්තර සොයා දීම සිදුකරන බවත්ය.

‘‘එකී වෙබ් අඩවි පවත්වාගෙන යන ආයතන පුද්ගලයන් පිළිබඳව සොයා දීමත් අප ආයතනය විසින් සිදු කරනවා. මෙහිදී උසාවි නියෝගයකින් පොත්වල නම් ටිකත් සමග අප වෙත භාරදිය යුතු වෙනවා. එහිදී ඔවුන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙබ් අඩවිවල මේ කර්තෘට සම්බන්ධ පොත් පළකරලා තිබෙනවාද, ඊට අමතරව එම වෙබ් අඩවි පවත්වාගෙන යන ආයතන කවුරුන්ද යන්න පිළිබඳව විස්තර ලබාදෙන්න කියලා තමයි අපට දන්වන්නේ. ඒ සම්බන්ධව වාර්තාව හදලා අපි උසාවියට භාර දෙනවා.’’

කවුරුන් කෙසේ කීවත් මේ වනතුරුම පොත් සම්බන්ධයෙන් කර්තෘන්ට සිදුවූ අසාධාරණයට නීතියෙන් පිළිසරණක් ලැබී නොමැත. වසර ගණනක් තිස්සේ මේ ගැන කතා කළත්, නීතියේ සරණ ඉල්ලුවත් මේ වනතුරුම එවැනි අසාධාරණයට ලක්වූවනට සාධාරණයක් ඉටුවී නොමැත. 2003 බුද්ධිමය දේපළ පිළිබඳ පනතේ බුද්ධිමය දේපළට අයත් වූ වෙනත් විෂයක් සඳහා සංශෝධන ඇති වුවද පොත් සම්බන්ධව මෙතෙක් කිසිදු සංශෝධනයක් සිදුවී නොමැති බවද සඳහන් කරන්නේ කණගාටුවෙනි.

ශිරෝමි රත්නායක