කතුවැකි

ඉස්තාලය වසන්නට තවමත් ප්‍රමාද නැත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ නිශාන්ත සිල්වා රටින් පලා යෑම නව ආණ්ඩුවට ඉදිරියේදී මුහුණ දෙන්නට සිදුවන අර්බුදයක පෙර නිමිත්තකි. මෙම නිලධාරියා හොර රහසේ රටින් පලාගොස් ඇත්තේ ආණ්ඩුවේ මර්දනය නිසා බවට ආණ්ඩුවට එරෙහිව චෝදනාවක් නැගී තිබේ. එහෙත් ඔහු රටින් පලා යන තෙක්ම රාජකාරිය කරමින් සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ අපරාධ පිළිබඳ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානියා වශයෙනි. ඒ වනතෙක් ඔහුට රාජකාරිමය වශයෙන් හෝ පෞද්ගලික වශයෙන් කිසිදු බාධා කිරීමක්, බලපෑම් කිරීමක් සිදුවූ බවක්ද වාර්තා වී තිබුණේ නැත.

එසේ නම්, ඔහු පලාගියේ තමන්ට කිසියම් කරදරයක්, හිරිහැරයක් හෝ පළිගැනීමකට ලක්විය හැකි යැයි යන බිය නිසා විය යුතුය. එවැනි බියක් ඇති වන්නේ ඔහු නීතියට පිටින් ගොස් රාජකාරිය කළ නිසා යැයි නැගෙන චෝදනාවේ යම් සත්‍යයක් තිබෙන්නටද පුළුවන. කුමන හේතුවක් නිසා හෝ මේ නිලධාරියා රටින් පලා යෑම සැක කටයුතු කාරණයකි. බරපතළ ලෙස අවධානය යොමු කළයුතු දෙයකි.

වාර්තාවන අන්දමට මෙම නිලධාරියා මේ වන විට ස්විස්ටර්ලන්තය බලා ගොස් සිටින අතර ඔහු එහි ගොස් ඇත්තේ දේශපාලන රැකවරණ යටතේය. කිසියම් පුද්ගලයකුට විදේශයකින් දේශපාලන රැකවරණ ලැබෙන්නේ ඉතා බරපතළ කාරණයක් ඇත්නම් පමණකි. ස්විස්ටර්ලන්තය යනු දෙමළ ඩයස්පෝරාවක් සිටින රටක් වන අතර එම රට නිශ්චිතවම දෙමළ බෙදුම්වාදීන්ට අනුග්‍රහය දැක්වූ රටකි. ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබී ඇතැයි කියන නිශාන්ත සිල්වා සිය සැබෑ අනන්‍යතාව සඟවා ජීවත් වූ අයකු බවටද මේ වන විට තොරතුරු හෙළිව තිබේ. මේ නිලධාරියා ඉදිරි ජිනීවා මානව හිමිකම් සැසියකට ඉදිරිපත් වීමේ සූදානමකින් සිටින බවක්ද වාර්තා වී තිබේ.

මේ කරුණු කාරණා අනුව නම් නිශාන්ත සිල්වාගේ පලා යෑම ආණ්ඩුවට කිහිප පැත්තකින් ගැටලු මතු කරවන කාරණයකි. නිශාන්ත සිල්වා රටින් පිටව ඇත්තේ ඒ සඳහා වූ නිසි අවසරයකින් තොරවය. කිසිදු රාජ්‍ය සේවකයකුට තම පෞද්ගලික කාරණයක් සඳහා හෝ අනුමැතියකින් තොරව විදේශ ගත වීමේ අවසර නැත. එහෙත් නිශාන්ත සිල්වා සිය පවුලම සමග පිටත්ව ගොස් ඇත්තේ එවැනි අවසරයකින් තොරවය. එහෙත් ඔහු විදේශගතවීමට පෙර නිවාඩු දින තුනක් ලබාගෙන තිබේ. එසේම තම නිල අවිය ආපසු භාරදී තිබේ. ඒ අනුව ඔහු රටින් බැහැරව යෑම ඔහුගේ ඉහළ නිලධාරීන් නොදැන සිටින්නට නොහැකිය.

එසේ නම් ඒ නිලධාරීන් සම්බන්ධයෙන් ආණ්ඩුව කිසියම් පියවරක් ගත්තේද? එවැනි පියවර ගැනීම නිසා ආණ්ඩුවට පොලිසියේ හා ජනතාවගේ උදහසට ලක්වන්නට සිදුවේද? නිශාන්ත සිල්වා රටින් පලා යෑමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනවසරයෙන් රටින් පිටවීම වැළැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් දැනටමත් පොලිසිය ඇතුළෙන් මෙන්ම බාහිර සමාජයෙන්ද විරෝධයක් මතුව තිබේ. එවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුව නිශාන්ත සිල්වාගේ පලා යෑම ගැන කරනු ලැබූ පරීක්ෂණය සාර්ථක වනු ඇත්ද?

පසුගිය ආණ්ඩුව සමයේ බොහෝ දේශපාලන පළිගැනීම් සිදුවූ බව පාසල් යන කුඩා දරුවන් පවා දන්නා කාරණයකි. එලෙස පළිගැනීමට ලක් වූ අසාධාරණයට ලක් වූ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම තමන්ගේ පාක්ෂිකයාටද සාධාරණය ඉටු කර දීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමකි. එහෙත් නිශාන්ත සිල්වා රටින් පලා යෑම නිසා ඒ කටයුත්ත නිසි ලෙස ඉටු කරන්නට ආණ්ඩුවට හැකි වනු ඇත්ද යන්න සැක සහිතය.

දේශපාලන පළිගැනීම් ලෙස චෝදනාවට ලක් වූ බොහෝමයක් පරීක්ෂණ සිදු කෙරුණේ නිශාන්ත සිල්වාගේ මූලිකත්වයෙනි. ඔහු රටින් පලා ගොස් ඇත්තේ ඒවාට අදාළ ඇතැම් දත්ත හා වාර්තාද රැගෙන බව කියැවේ. ඇතැම් විටෙක මෙම දත්ත හා වාර්තා සම්පූර්ණයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්ව තිබෙන්නටද පුළුවන. එසේ නම් ආණ්ඩුව එකී විමර්ශන සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන්නේ කෙසේද? අනෙක් අතට නිශාන්ත සිල්වා තම සීමාව ඉක්මවා කටයුතු කර ඇතැයි හෝ දේශපාලන අවශ්‍යතා ඉටු කර ඇතැයි තහවුරු කර ගත්තත් ඔහු රටින් පලාගොස් සිටින තත්ත්වයක් තුළ ආණ්ඩුවට කළ හැක්කේ කුමක්ද? එය මහ බැංකු සොරකමට වගකිවයුතු අර්ජුන මහේන්ද්‍රන් රටින් පලා ගොස් සිටීමට දෙවනි නොවනු ඇත.

මේ සියල්ලටම වඩා බරපතළ කාරණය වන්නේ නිශාන්ත සිල්වාගේ පලා යෑමත් සමග ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට මුහුණ පෑමට සිදුවනු ඇතැයි සිතිය හැකි තත්ත්වයයි. නිශාන්ත සිල්වා මෙහෙය වූ ඇතැම් පරීක්ෂණවලට අදාළව හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ඔවුන්ගේ මෙහෙයුම් හා බුද්ධි අංශ ඔත්තුකරුවන් සම්බන්ධ තොරතුරු විශාල ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණ කරගෙන තිබුණි. මේ තොරතුරු රටට එරෙහි යුද අපරාධ චෝදනා හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා තව තවත් තීව්‍ර කිරීමට සාක්ෂි ලෙස භාවිත වුවහොත් ආණ්ඩුව ඊට මුහුණ දෙන්නේ කෙසේද? එසේම මේ තත්ත්වය මත නිශාන්ත සිල්වා හා දෙමළ ඩයස්පෝරාව අතර ඇතැයි කියන සබඳතාව අනුව හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ හා ඔත්තුකරුවන්ගේ ජීවිතවලට අවදානමක් ඇති නොවනු ඇතැයි සහතික වන්නේ කෙසේද?

මේ සියල්ල ගැන පැහැදිලි චිත්‍රයක් නිර්මාණය වනු ඇත්තේ රටින් පලා ගිය නිශාන්ත සිල්වා යන අය ගන්නා ඉදිරි තීරණ අනුවය. එසේ වුවත් එතෙක් නොසිට ජාත්‍යන්තර මට්ටමෙන් ඔහු සම්බන්ධයෙන් සොයා බැලීමක් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. අනෙක් අතට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම කුප්‍රකට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කටයුතු සම්බන්ධයෙන් පූර්ණ සොයා බැලීමක් කිරීම තවදුරටත් ප්‍රමාද කිරීම කිසිසේත්ම ගුණදායක වන්නේ නැත. නිශාන්ත සිල්වා රටින් පලායන තෙක් වගකිව යුතු කිසිවකු නොදැන සිටියේද, ආණ්ඩුවේම ප්‍රමාදය නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා බුද්ධි අංශයන්වලද තවත් නිශාන්ත සිල්වලා සිටින්නට පුළුවන. එවැන්නන් ඉතා ඉක්මනින් හඳුනාගැනීම, රාජ්‍ය රහස් පිටතට යෑම වැළැක්වීම හා පසුගිය ආණ්ඩුවේ පළිගැනීමට ලක්වූවන්ට සාධාරණය ඉටු කිරීම කඩිනම් කිරීමට හේතුවනු ඇත. එසේ නොවුණහොත් සිදුවනු ඇත්තේ හොරු අල්ලනවා යැයි කියමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ සිදුවූ දේමය. හොරු අල්ලනවා යැයි කීවත් ඒ ආණ්ඩුව හොරු අල්ලන්නට අසමත් වූයේ හොරු නොසිටි නිසා හෝ පෙර ආණ්ඩුවේ කිසිවකු වැරදි නොකළ නිසා නොව යහපාලනයේ තිබූ කළමනාකරණයේ දුර්වලතා නිසාය.