විශේෂාංග

ඉස්කෝලෙ පොතෙන් ගිනස් පොතට ගිය සිබිල් නැන්දා

‘පළිඟු ලෝකෙ කුමාරිය අපේ ලෝකෙට එනවා. එයාගෙ පළිඟුව වතුරට වැටිල නැති වෙනවා. පුංචි කුමාරි අඬනවා. ඒ සද්දෙට පුංචි පැටව් දෙන්නෙක් එතැනට එනවා. පළිඟු කුමාරි එයාට වෙච්ච ඇබැද්දිය මේ දෙන්නට කියනවා. වතුරට බැහැලා එයින් එක්කෙනෙක් පළිඟු කුමාරිගෙ පළිඟු මැණික හොයල දෙනවා. පළිඟු කුමාරිට හරිම සතුටුයි. පළිඟු කුමාරි මේ දෙන්නට වර තුනක් දෙනවා.’

සිබිල් නැන්දා කියන්නෙ එපමණකි. සිබිල් නැන්දා ලිව්ව මේ කතාවට අවසානය එකතු කරන්නෙ අපේ රටේ පුංචි පැටවුන්ය. මේ රටේ දසත විසිරිලා ඉන්න ඉස්කෝලෙ යන පුංචි ඈයො තමයි තමන්ට හිතෙන හිතෙන විදිහට මේ පොතේ අවසානය සටහන් කළහ. ඒ පුංචි පුංචි අත්, පුංචි පුංචි හිත් එකතු කිරීම එසේ මෙසේ වික්‍රමයක් නොවීය. එය ලෝකයේ පළවැනි වතාවට කළ දෙයක් නිසා හරිම සුන්දර, අපූරු ලෝක වාර්තාවක්ද වුණේය. ඒ පළිඟු කුමාරිගෙ කතාවට අවසාන විසිදහසක් ලියැවී තිබුණේය. ඒ පොතේ නම ‘පුදුම පළිඟුව’ නැත්නම් ‘Wonder Cristal’ ලෙස සටහන් විය.

සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු පුංචි පැංචියන්ට පසුගිය පස්වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී ඈ තැබූ ලෝක වාර්තාවට මේ ගිනස් සහතිකය ලැබුණේය. සිබිල් නැන්දාත් අපේ රටේ පුංචි පැටවුනුත් එකතු වී මේ ක්‍රියාවට අත තැබුවේ පසුගිය අවුරුද්දේ ලෝක ළමා දිනයදාය.

‘‘ඇත්තටම මට මේ ගැන හරිම සතුටුයි. මම මේ වගේ දෙයක් කවදාකවත් බලාපොරොත්තු වුණේ නෑ. මේක ගිනස් ලෝක වාර්තාවක්​වෙලා. එකම පොතට අවසාන මේ වගේ ගාණක් ඇතුව පොතක් මීට කලින් ලියලා නෑ. මේ ළමයි හරිම නිර්මාණශීලියි. මේ ලෝකෙ දියුණු කරන්න වගේ හරිම ලස්සන, සුන්දර දේවල් මේ පොතට එකතුවෙලා තියෙනවා. පුංචි ළමයා ජීවත් වෙන්නෙ වෙනම ලෝකෙක. ඒ ලෝකෙ හරිම නිර්මාණශීලියි. ඒගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් හදලා දෙන්න ඕනේ.’’

සිබිල් නැන්දගෙ පොතට මේ තරම්ම අපූරු අවසානයක් එකතු වෙන්නෙ අපේ රටේ පොඩිත්තො අතරින්ය. මේ පොඩිත්තෝ සිබිල් නැන්දට ඇත්තේ පුදුමාකාර ආදරයක්ය.

‘‘මම එක පාරක් කතාවක් ලියුවා වලාකුළු හැදුණ හැටි ගැන. ‘ආච්චි අම්ම කෙනෙක් පුළුන් ගෙනැත් ගෙයි ඇතුළෙ තියෙනව. හුළඟ ඇවිත් වහලෙ ගලවගෙන ඒ පුළුන් අහසට ගෙනියනව. අහසෙ හැමතැනම මේ වලාකුළු විසුරුවනව’ මේ කතාව කියවලා පුංචි දරුවෙක් මට කිව්වා ‘වලාකුළු හැදෙන්නෙ ජල වාෂ්ප අහසෙදි ඝනීභවනය වෙලා’ කියලා. ඒ දරුවා මට කිව්වා කතාව පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. ඒ කිව්ව විදිහට මම ඒ කතාවෙ ඊළඟට ගහපු පොත් ටික වෙනස් කළා. ඒකෙ විදිහට හුළඟ ආච්චි අම්මගෙ පුළුන් අරගෙන ගිහින් අහසෙ තියෙන ඇත්ත වලාකුළු එක්ක මිශ්‍ර කරනව. බලන්න, මේ දරුවො කොයි තරම් නිර්මාණශීලීද කියලා.’’

සිබිල් නැන්දා දරුවන්ගේ හැකියාවන් ගැන සතුටින් සිනාසෙන්නීය.

සිබිල් නැන්දාගේ කතාන්දර මල්ලට රහවැටුණු පුංචි ඈයෝ පරම්පරා හතරක් තිස්සේ දැන් ඈ ළඟය. ඇගේ කතාන්දර මල්ලට මුලින්ම ආපු කතාන්දර පොත ‘කුඩ හොරා’ ය. ඒ කාලේ ඉංග්‍රීසි පොත්ම තම දරුවන්ට කියවන්නට දීපු දෙමව්පියන් සිංහලෙන් ලියැවෙච්ච ‘කුඩ හොරා’ කියවන්නට දුන්නෝය. ‘කුඩ හොරා’ ඊළඟට යන්නේ ජපානයටය. ඒ 1986 වසරේය. ඒ කුඩ හොරා ජපානෙන් නැවතෙන්නේ නැත. ජපානෙට අමතරව ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, චීනය, වියට්නාමය හා ඇමෙරිකාව වගේ රටවල් දහයක පුංචි පැටවුන්ගේ හිත් ​හොරකම් කරන්නටත් කුඩ හොරා සමත් වූවේය. ඒ අයුරින් කුඩ හොරා රටවල් ගණනාවක භාෂාවන්ට පරිවර්තනය වුණේය. සිබිල් නැන්දා තවමත් ජපන් පොඩිත්තන්ට රස කතාන්දර ලියන්නීය. ඇය ලියන ‘හොයිට් නට් හිවලාට’ ජපන් පොඩිත්තෝ අදටත් රස වැටී ඇත.

ලෝකෙ වටේ ගිය සිබිල් නැන්දාගේ කතාන්දර මල්ල ලිහල බලන්නට අපේ රටේ පැටවුන්ට පුළුවන් වෙන්න පාසල් විෂය නිර්දේශයට එකතු වෙන්නේ පසුගිය වසරේය. ඒ පහේ පන්තියේ සිංහල අච්චු පොතට සිබිල් නැන්දාගේ ස්වයං චරිතාපදානය රැගත් ‘වැනියං කළු වැනියං’ කෘතියේ අටපත එකට හිඳලා ගේන්නට අපේ රටේ අධ්‍යාපන බලධාරීන් තීරණය කළ නිසාය.

‘‘මගේ පොත් කියවලා ළමයි මට හරියට කතා කරනවා. අනුරාධපුරෙන්, බිබිලෙන් පවා මට මේ ගැන කතා කරන්න පුංචි පැටව් ඇවිල්ලා හිටියා. මට ඒ ගැන හරිම සතුටුයි.’’

සිබිල් නැන්දා දැන් අවුරුදු අනූ දෙකක අත්තම්මා කෙනෙකි. පරම්පරා කිහිපයකටම කතාන්දර කියපු ආච්චි අම්මා කෙනෙකි. ඇගේ කතාන්දර පුංචි කාලේ අහපු, කියවපු සමහර අය දැන් සිටින්නේ ජීවිතේ මැදිවියේය. අද අවුරුදු පහේ පොඩිත්තොත් ඇගේ කතාන්දර කියවති.

ඇත්තටම සිබිල් නැන්දා මේ හපන්කම කරන්නේ කොහොමද?

‘මා තුළ ඉන්නේ
චරිත දෙකක්
සුර ලොව දන්නා
පොඩි ළමයෙක්
ආදර හඳුනන
වැඩිහිටියෙක්
දෙන්නා එක්වී
රස විඳිමින්
මතුකර දෙන්නේ
සිහින ලොවක්’
සිබිල් නැන්දා එයාගෙ ‘වැනියං කළු වැනීයං’ පොතේ එලෙස ලියන්නීය. ඒ හීන ලෝකෙට රස එකතු වෙච්ච විදිය ගැන සිබිල් නැන්දා කියන්නේ මෙහෙමයි.

‘‘මට කතාවක් ලියන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. පුංචි කාලෙ මගේ හිතේ තැන්පත් වෙලා තිබ්බ අපූරු සිද්ධි තමයි මේවට එකතුවෙලා රසවෙලා තියෙන්නේ. මගේ ගම ගිංතොට. ගාලු පුරයට ඉතා කිට්ටුයි. හරිම ලස්සනයි. අපේ ගමෙන් මම කොළඹට ආවේ මට අවුරුදු හයේදි. ඒ හොඳ අධ්‍යාපනයක් ලබාගන්න. මේ පුංචි කාලේ ලබපු අත්දැකීම් තමයි මගේ පොත්වල තියෙන්නේ. ‘කුඩ හොරා’ ලියැවුණෙත් එහෙම. මම පුංචි කාලෙ ගමේ මිනිස්සුන්ට වැස්සට ඉහළගෙන යන්න කුඩ තිබුණෙ නැහැ. අපේ ගෙදර ඉස්සරහින් කෙසෙල් කොළයක්, හබරල කොළයක් ඉහළගෙන, තුවායක්, වට්ටියක් ඉහළගෙන යන මිනිස්සු මගේ හිතේ හැමදාම මතකයේ තිබ්බා.

ඕකත් එක්ක තව දෙයක් වුණා. දවසක් වඳුරෙක් අපේ කුස්සියට ඇවිත් අත්තම්මාගේ කණ්ණාඩියත් අරගෙන මූණ බල බලා දෙල් ගහ උඩට නැග්ගා. ඔය වගේ සිද්ධි මගේ කලා ජීවිතේට බලපෑවා.

වැස්සට කෙහෙල් කොළ, හබරල කොළ ඉහළගෙන යන පින්තූරය යනකල් ලෝකයේ වෙන කොහේවත් ඔය වගේ දෙයක් දැකලා තිබ්බෙ නෑ. ‘කුඩ හොරා’ ජනප්‍රිය වෙන්න ඒකත් බලපාලා තිබ්බා. ගල් ලෑල්ලයි, ගල්කූරයි, හෝඩි පොතයි අරගෙන ගුරු පාර දිගේ ගිහින් සොහොන් පිටිය පහු කරලා පින්න ගස්, බෝවිටියා, ගඳපාන, බලු නකුට පිරිච්ච කැලෑ මැද්දෙන් ඉස්කෝලෙ ගිය ගමන. සුදුපාට වැලි තලාවක සිලි සිලි හඬින් සින්දු කියන උණ බට පඳුරක් තියෙන මගේ ඉස්කෝලෙ, අපේ කැලෑවෙ ගම, ගමේ මිනිස්සු, ඒ දවස්වල වෙච්ච සිදුවීම් තමයි මගේ පොත්වලට අදටත් ලියැවෙන්නේ. ‘වැනියං කළු වැනීයං’ පොතේ ලියැවෙච්ච කිසි දෙයක් බොරු නෙවෙයි.’’

සිබිල් නැන්දා අත්තම්මා කෙනෙක් වුණාට ඇය හරිම නිරෝගියි. ඇය, ඇගේ නිරෝගීකමේ රහසද ඈ රහසක් නොකළාය.

‘‘අපේ අත්තම්මලාගේ ගෙදර තිබුණේ අපේ ගෙදරට අල්ලපු ගෙදර. අත්තම්ගේ ගෙදර එවුජින් අක්කාගේ කාමරයේ දොරෙන් එළියට බහින්න තිබුණා පඩිපෙළක්. එතැන තිබ්බෙ අත්තම්මගෙ මුළුතැන්ගේ. ඒ මිදුලෙ දෙහි ගහක් තිබුණා. එතැනින් පහළට යන්න අඩි පාරක් තිබුණා. එතැනින් පහළට බැස්ස තැන තමයි සීනි ගොරක ගහ තිබුණේ. මම සමහර දවසට අත්තම්මා එක්ක මේ සීනි ගොරකා ගහ ගාවට ගිහින් සීනි ගොරකා කනවා. ගමේ බැද්දේ ඇළට ගිහින් නෑවා. දං ගෙඩි, බෝවිටියා කෑවා. ගමේදී අපි හොඳට කොස්, පොළොස් වගේ ගුණ කෑම කෑවා. දොස්තර මහත්තයා දවසක් මට කිව්වා මේ ගොරකා කෑම ගොඩක් ගුණදායකයි කියලා. මොකද ගොරකාවල ‘අයන්’ තියෙනවා.’’
එදවස ළමාවිය උපරිමයෙන් සුව වින්ද සිබිල් නැන්දාට අද පුංචි පැටවුන් ගැන ඇත්තේ දුකකි.

‘‘අද පොඩි දරුවන්ට කිසිම දේකට වෙලාවක් නෑ. ඒගොල්ලන්ට හීන දකින්න, ගස්වැල්වල සෙල්ලම් කරන්න, අඩුම තරමේ අහස දිහා බලාගෙන වලාකුළු මවන චිත්‍ර බලන්න වෙලාවක් නෑ. ඒගොල්ලන්ගෙ ජීවිතේ ටියුෂන් දුවන එකමයි වැඩේ. අපි පුංචි කාලෙ එහෙම නෑ. ඕන තරම් සෙල්ලම් කරන්න ඇති වෙනකම් හීන බලන්න අපිට වෙලාව තිබ්බා.

අපි පුංචි කාලේ අපිට අම්මලා කිසි දෙයක් තහනම් කළේ නෑ. එපා කිව්වෙ නෑ. ගංවතුරෙ ඔරු පැදගෙන ගියා. පොල් ගස්වල ගෙඩි අතින් අල්ලන්න පුළුවන් ගාණට වතුර තිබ්බා. අද මේ කිසිම දෙයකට දරුවන්ට ඉඩ නෑ.

ලෝකෙ වෙනස් වෙනවා. එහෙම වෙන්න ඕනෙ. ඒ පුංචි ළමයින්ට ඒගොල්ලන්ගෙ ලෝකෙ දෙන්න ඕන. ඇති වෙනකල් හීන බලන්න, සෙල්ලම් කරන්න දෙන්න ඕන. තහංචි නැතිව හැමදේටම එපා කියන්න හොඳ නෑ. ඒගොල්ලො දකින ලෝකෙ අපි දකින ලෝකෙට වඩා වෙනස්. ඒගොල්ලන්ගෙ ලෝකෙ ගස්කොළන්වලට, හුළඟට, ඉර, හඳ, ගස්වලට පණ තියෙනවා. ඒකට ඉඩ දෙන්න ඕන. ඒ වගේම හොඳ නරක කියලා දෙන්න ඕනෙ.

අම්මලා, තාත්තලාට, ගුරුවරුන්ට මම කියන්නේ පුංචි දරුවන්ට ඒගොල්ලන්ගේ හීන දකින්න ඉඩදෙන්න. නිදහසේ ගහකොළට, පරිසරයට මුහු වෙන්න ඉඩ දෙන්න, සෙල්ලම් කරන්න ඉඩ දෙන්න කියලා තමයි.’’
සිබිල් නැන්දාගේ කතාන්දර උල්පතට කතාන්දර ගලා එන්නේ අද ළමා කාලයේ බැලූ කියූ කෙරූ දේ තුළිනි, ඇගේ සුන්දර ළමා කාලය තුළින්ය.

අද ඉන්න පුංචි පැටවුන්ට නැත්තේද එයය. පුංචි උන් මත බලෙන් පටවා ඇති මේ අවිවේකී ජීවිත රටාව, විභාග බර අනාගත සිබිල් නැන්දලා කීදෙනෙක් නම් මරා දමන්නට ඇත්ද? සිබිල් නැන්දා දුටු ළමා ලෝකයේ සුන්දරත්වය හෙට හෝ අපේ​පොඩිත්තන්ටත් අත්දකින්නට ලැබෙන්නේ නම් සිබිල් නැන්දා වන් අපූරු කතාකාරියන්, කලාකාරියන් කලාකරුවන් බොහෝ දෙ‌​ෙනකු හෙට දවසේ බිහිවනු ඇත.

මධුෂානි කොඩිතුවක්කු
ඡායාරූප-ඒෂාන් දසනායක