කතුවැකි

ඉෂාලිනීගේ මරණයට අප සියල්ලන්ම වගකිව යුතුය

දිවයින පුරා සිටින දෙමාපියන් අහිමි දරුවන් පිළිබඳ සමීක්ෂණයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර ඇතැයි කියන පුවතක් පසුගිය සිකුරාදා (23 වැනිදා) අප පුවත්පත වාර්තා කර තිබිණ. මෙම සමීක්ෂණයේදී අනාවරණ වන පාසල් නොයන දරුවන් මාස තුනක් ඇතුළත පාසල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම තීරණය ප්‍රකාශයට පත් වන්නේ රිෂාර්ඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේදී බාල වයස්කාරියක මරණයට පත්වීමේ සිදුවීමත් සමගය. මේ අනුව අපට සිතන්නට සිදුවන්නේ ඒ මරණය නොවන්නට මෙවැනි සමීක්ෂණයක් කරනවා තබා එවැන්නක් ගැන හිතෙන එකක් හෝ නොවනු ඇති බවද?

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පමණක් නොව අපේ බොහෝ දෙනාට ළමා මෙහෙකාර සේවය ගැන සිහිපත් වී ඇත්තේ බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිදු වූ ළමා මරණයෙන් පසුවය. වයස අවුරුදු 16 ට අඩු සියලු දරුවන් අනිවාර්යයෙන් පාසල් යැවිය යුතු බවත්, ඒ වයසේ දරුවන් රැකියාවල නිරතකරවීම නීති විරෝධී බවත් බොහෝ දෙනකුට සිහිපත් වී ඇත්තේද එම මරණයෙන් පසුවය. ඒ අනුව බදුර්දීන් නිවසේ බාල වයස්කාරියක මියයෑම කොයිතරම් ශෝකජනක සිදුවීමක් වුවත්, ඇයගේ මරණය අප සමාජයේ එවැනි සියලු දරුවන්ට සුබසිද්ධිය සලසන්නට නිමිත්තක් වී ඇති බව පෙනෙන්නට තිබේ.

කෙසේ වුවත් ඩයගම ඉෂාලිනී දැරියගේ මරණය ඇය වන් දහස් සංඛ්‍යාත ඇතැම් විටෙක ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට සෙත සලසන සිදුවීමක් වනු ඇත්තේ තර්ක විතර්ක, අවලාද චෝදනාවලින් නොව පැහැදිලි වැඩපිළිවෙළක් මගින් පමණකි. අපේ බොහෝ වැඩවලදී අනුගමනය කෙරෙන්නේ වඳුරාගේ ගෙවල් හැදීමේ ප්‍රතිපත්තියයි. වඳුරා ගෙයක් හදන්නට කල්පනා කරන්නේ වැස්ස තිබෙන විටය. වැස්ස පෑයූ සැණින් ඌට ගෙයක් හැදීමේ අදහස අමතක වී යන්නේ ය.

පාසල් යන්නට අවස්ථාවක් නොමැති හෝ මෙහෙකාර සේවයේ යොදවා සිටින සියලුම දරුවන්ට සාධාරණය ඉෂ්ට කිරීමේ පළමු පියවර නම් මියගිය ඉෂාලිනී දැරිය වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කිරීමය. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණයක් තිබේ. ඉෂාලිනීට යුක්තිය ඉටු කිරීමේදී සැලකිල්ලට ගත යුත්තේ හාම්පුතාගේ ජාතිය, ජන්මය නොව ඔහුගේ වරද පමණක් බවය. අනවශ්‍ය ලෙස ජාතිය, ජන්මය ඉස්මතු කිරීම නිසාම ඇයට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වන්නට හෝ කිසියම් විටෙක යුක්තිය ඉටු නොවන්නටද හේතුවක් වන්නට ඉඩ ඇති නිසාය. අනෙක් අතට බාල වයස්කරුවන් සේවයේ යෙදවීම ජාති, ආගම්, කුලමල සීමා ඉක්මවන අශිෂ්ට, නීති විරෝධී, අමානුෂික ක්‍රියාවකි.

වතුකරයේ දරුවන් ප්‍රභූවරුන්ගේ දරුවන් බලා කියා ගැනීමට කොළඹට ගෙන ඒමේ සංවිධානාත්මක ජාවාරමක් ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුවද, අධිකරණයට දැනුම් දී තිබේ. වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයේ ප්‍රධාන ගොදුරක් වන බව සැබෑවක් නමුත්, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දරුවන් ඒ ඉරණමට ගොදුරු නොවන්නේ යැයි ඉන් අදහස් වන්නේ නැත. මෙහෙකාර සේවයට යොදවා නැතත් පාසල් නොයන දරුවෝද රටපුරා සිටිති. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියන්නේ මේ සියලු දෙනා ගැන තොරතුරු එකතු කරන බවය.

වැදගත් වන්නේ මේ දරුවන් ගැන තොරතුරු එකතු කිරීම නොව, ඔවුන්ට සාධාරණය ඉටු කරන්නේ කෙසේද යන්නය. නිසි වයසේ පාසල් නොයෑමට හෝ නිවසක බැල මෙහෙවරේ යෙදෙන්නට ප්‍රධාන හේතුව නම් දුප්පත්කමය. බදුර්දීන් නිවසේ මියගිය ඉෂාලිනීද එහි පැමිණ ඇත්තේ සිය දෙමාපියන් ණය බරකින් නිදහස් කරගන්නටය. දුප්පත්කම නිසා මව විදේශගතවන පවුල්වල දරුවන්, විශේෂයෙන්ම දැරියන්ට තම නිවසේම මෙහෙකරුවකු වන්නට සිදු වේ. දුප්පත්කම හැරුණු විට දරුවන්ට සිය ළමා කාලය හා අයිතීන් අහිමිවන තවත් කාරණා තිබේ. දෙමාපියන් මියයෑම, දෙමාපියන් වෙන්වීම වැනි කාරණාය. මීට වසර දහයකට, පහළොවකට පෙර උතුරු නැගෙනහිර දරුවන්ට පාසල් යෑමත්, ළමා කාලයත් දෙකම අහිමි වූයේ යුද්ධය නිසාය.

14 හැවිරිදි දැරියක තම නිවසේම දම්වැලකින් බැඳ දමා තිබූ පුවතක් අද අප පුවත්පත වාර්තා කර තිබේ. පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම සිදුවීම මගින් පැහැදිලි වන්නේ දරුවන් තම දෙමාපියන් අතින් පවා කෲර වධ හිංසාවන්ට, අතවරයන්ට ලක්විය හැකි බවය. මේ නිසා හුදු සමීක්ෂණයක් කිරීමෙන් පමණක් මෙවැනි දරුවන්ට සෙතක් අත් නොවන බව අප තේරුම්ගත යුතුය.

මේ කුමන සමීක්ෂණයකටත් පෙර කළ යුතුව ඇත්තේ දරුවන් සම්බන්ධයෙන් පවතින නීතිය ක්‍රියාත්මක කිරීමය. රටේ මන්ත්‍රීවරයකුගේ නිවසේ බාල වයස්කාරියක මරණයට පත්වීමත්, ඉන්පසු ළමා ආරක්ෂක අධිකාරිය දරුවන් ගැන සමීක්ෂණ පවත්වන්නට සූදානම් වීමෙනුත් පෙනී යන්නේ අප එම නීතිය නොතකා කටයුතු කරනවා පමණක් නොව නීතිය ක්‍රියාත්මක නොවන බවද නොවේද?

කිසියම් නීතියක් කවරකු හෝ උල්ලංඝනය කිරීමටත් වඩා බරපතළ වන්නේ වගකිව යුත්තන් ඒ බව නොතකා සිටීමය. අප කල්පනා කරන ආකාරයට නම් දරුවන් සම්බන්ධයෙන් වන නීති උල්ලංඝනය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ අදාළ වගකිවයුත්තන් ඒ බව නොතකා සිටීමය.

කිසියම් ප්‍රදේශයක පාසල් යායුතු වයසේ දරුවකු කුමන හේතුවක් නිසා හෝ පාසල් නොයා සිටින්නේ නම් හෝ බාල වයස්කරුවන් සේවයේ යොදවා ඇත්නම් පළමුව ඒ බව දැනගත යුතු රාජ්‍ය නිලධාරියා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාය. අධ්‍යාපන පනත යටතේ පිහිටුවා ඇති පාසල් කමිටුවේ ප්‍රධානියා වන්නේද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාය. එහෙත් ළමා ආරක්ෂක අධිකාරිය පවසන අන්දමට වසරකට සිව්වරක් රැස්විය යුතු පාසල් කමිටු එක්වරක් හෝ රැස්වී නොමැත.

මෙම තත්ත්වය මත ළමා ආරක්ෂක අධිකාරිය සූදානම් වන්නේ මෙම පාසල් කමිටු නියාමන බලයද තමන් යටතට ලබා ගන්නටය. මෙය හොඳ අදහසකි. එහෙත් රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩ කිරීමේ වේගය, තීරණ ගැනීමේ වේගය ගැන දන්නා අපට නම් මේ ගැන ඇත්තේ සැකයකි. අනෙක් අතට මේ දක්වා තමන්ගේ වගකීම ඉටු නොකළ ග්‍රාම නිලධාරින්, ළමා ආරක්ෂක අධිකාරියේ මැදිහත්වීමෙන් ඒ වගකීම ඉටු කරනු ඇතැයි කල්පනා කරන්නේ කෙසේද?

අප කල්පනා කරන ආකාරයට නම් බාල වයස්කරුවන් සේවයේ යෙදවූ රිෂාඩ් බදුර්දීන්ලාට පමණක් නොව රිෂාඩ්ලා වැනි අයට දරුවන් වහල් සේවයට ගන්නට ඉඩ සලසන සියලු දෙනාටද දඬුවම් කළ යුතුය. දරුවන් යනු අපේ අනාගතය නිසාය. දරුවන් අපේ අනාගතය යැයි කල්පනා කරන්නේ නම්, දරුවන් ගැන වගකීමක් අප සැමටම තිබේ. එසේ නම් කොතැනක හෝ දරුවකුට පාසල් ගමන අහිමිවී ඇත්නම් මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම් ඒ දරුවා වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමේ වගකීම අප කාටත් නැතැයි කිව හැකිද? මේ දක්වා අප ඒ වගකීම ඉටුකර තිබේ දැයි අප කවුරුත් අපගේ හදවතට තට්ටු කර විමසා බැලිය යුතුය.