විශේෂාංග

ඉර ඇඳීම

අද ශ්‍රී ලාංකික ජාතිය මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ කිසිදු විටෙක අත් නොවිඳි තාලේ අභියෝගයකටය. මර බියකටය.

1971 සිට නොයෙක් මාදිලියේ කැරලි හා ත්‍රස්තවාදී ව්‍යාපාරවලට ලාංකිකයෝ මුහුණ පෑහ. 1971 මතු වූ ජනතා විමුක්ති පෙරමුණේ චේ ගුවේරා ව්‍යාපාරයට මහපොළොවේ ජයගත යුතු අරමුණක් තිබුණි. එසේම ඊට ඇදී ආ තරුණ තරුණියෝ ලංකා විශ්ව විද්‍යාලවල නොමිලේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියෝ වූහ. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූවකුට සබන්ධ වූයේ සුසිල් සිරිවර්ධන පමණකි.

1989 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලද එසේය. කැරලිකරුවන්ගේ සමාජ පසුබිම ගැන ලියැවුණු පොත් තොගයේම ඇත්තේ දුප්පත් අව වරප්‍රසාදිත තරුණයන්ගේ චරිත කතාවය. හැටදාහක් ගම්බද තරුණ තරුණියන් මැරුම් කද්දී කොළඹ හතෙන් ඊට සම්බන්ධ වී සිටියේ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා පමණකි.

ගරිල්ලා සටන් පිළිබඳ න්‍යාය පැහැදිලි කළ චේ ගුවේරාද කියා ඇත්තේ, විදුලිය නැති පාරක් තොටක් නැති ගම්බඳ ප්‍රදේශවලින් ගරිල්ලා ව්‍යාපාරයකට භටයන් බඳවාගත හැකි බවය. ජාතිවාදී අරමුණු ජය ගැනීමට තැනූ ත්‍රස්තවාදී ව්‍යාපාරවලද පාදම මෙයම විය. තිස් වසරක් වෙනම රටක් සඳහා යුද වැදුන ප්‍රභාකරන්ට යාපන නගරයේ ප්‍රභූ සමාජයේ දූ දරුවෝ එක් නොවූ තරම්ය. ඔහුගේ සටනේ ඉදිරියෙන් සිටියේ ඊට වසර 50 කට 60 කට පෙර වතුකරයෙන් ගොස් ඒ කිලිනොච්චි, මුලතිව් හා වන්නියේ පදිංචි වී වතුකම්කරුවන්ගෙන් පැවතෙන පවුලවල තරුණ කාඩර්වරුය.

අතීතයේ ලාංකිකයන් මුහුණ දුන් කැරළි ත්‍රස්තවාදී ක්‍රියා එබඳු වුවත් අද ලාංකිකයාට මුහුණ දීමට සිදුව තිබෙන්නේ මොලොව කිසිම න්‍යායකට, මූලධර්මයකට තේරුම්ගත නොහැකි ව්‍යාපාරයකටය.

මරාගෙන මැරෙන අන්තවාදීන් බොහෝ දෙනෙක් ඉගෙනගෙන තිබෙන්නේ විදේශ විශ්ව විද්‍යාලවලය. මේ මරාගෙන මැරුණ පවුල්වල අයගේ කෝටි 750 ක වත්කම්ද කෝටි 14 ක මුදල්ද වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙබඳු පිරිසක් පිටේ බෝම්බ බැඳ මරාගෙන මැරෙන්නට යොමු කළ හැකි යැයි චේගුවේරාවත්, විජේවීරවත්, ප්‍රභාකරන්වත්, විශ්වාස කළේ නැත. එසේම මේ අන්තවාදී තරුණයනට වර්ග කිලෝ මීටර් 65,610 ක් වූ මේ ලංකා පොළොව මත සාක්ෂාත් කර ගැනීමට අරමුණක්, ඉල්ලීමක් ද නැත.

ඔවුන්ගේ සටනේ එක පැත්තක ඇත්තේ සාමාන්‍ය මනසකට දරාගත නොහැකි ගොං තකතීරු අනුවණ බවකි. ව්‍යාපාරය ගොඩ නැගූ නායකයාම මරාගෙන මැරුණේ යැයි කී විට තවමත් කිසිවෙක් ඒ බව විශ්වාස නොකරන්නේ එය එතරම්ම අනුවන වැඩක් නිසාය. මෝඩ අනුවන කම එක පැත්තක තිබෙන විට අනෙක් පැත්තේ ඇත්තේ මෙතෙක් ලොව නුදුටු බිහිසුණු ම්ලේච්ඡ බවය. තමන්ගේම ලෙයින් ජාතක වූ දරුවා උකුලේ හොවාගෙන බෝම්බ පුපුරවා ගැනීමට තරම් ඔවුන් ම්ලේච්ඡය. කුස තුළ ඔත් දරුවාද සෙසු දරු පැටවුන්ද සමග බෝම්බයක් පුපුරා ගැනීමට තරම් ඒ කාන්තාවත් බිහිසුණුය. ලාංකිකයන්ට මුහුණ දීමට සිදුව තිබෙන එබඳු මෝඩ තකතීරු සේම ම්ලේච්ඡ වූ පිරිසකට එරෙහිව සටන් වැදීමට පුළුවන් ආණ්ඩුවක් අපට ඇද්ද?

මේ ප්‍රශ්නයට උත්තරය සොයා යන කල ජනතාවට ලැබෙන්නේ මර බියය. අම්මා, තාත්තා මරණ මංචකයේ සිටියත් පිංකමට බුදුන් වැඩියත් දරුවන් ගෙදර නවත්වා ගන්නේ නැතිව අධ්‍යාපන ආයතන කරා යවන මව්වරු දරුවකුට අනතුරක් වුවහොත් අධ්‍යාපන ඇමැති රුපියල් ලක්ෂයක් දෙනවා කිව්වත්, ත්‍රිවිධ හමුදාපතිවරු බිය නොවන්න යැයි කීවත් දරුවන් පාසල් නොයැවූයේ ආණ්ඩුවේ හැටි ගැන දන්නා නිසාය.

සහරාන්ගේ තඹ වැඩපොළේ වැඩ කළ අය ඇප පිට ගෙදරය. නාහිමිවරු කීවත්, ශ්‍රීලනිපයේ නියෝජ්‍ය නායකයා කීවත්, කාදිනල්තුමා නොකියා කීවත්, තාමත් රිෂාඩ් බද්යුදීන් ඇමැති කමේය. මුස්ලිම්වරුන්ගේ වෙනම රාජ්‍යයක් බඳු කාත්තන්කුඩියවත්, බේරුවල ආදී අන්තවාදීන් බහුල ප්‍රදේශ තවම මුළුමනින්ම පරීක්ෂා කර නැත. පල්ලියේ ළිංවලින් මතු වන්නේ දිය කැපීමට ගෙනා කඩු නොවන බව ජනතාව දනී.

මේ තත්ත්වය යටතේ සෑම ඉස්ලාම් භක්තිකයාම අන්තවාදියකු නොවන බවත්, එසේ නොසලකන ලෙසත් ආණ්ඩුව ජනතාවට කියයි.

අන්තවාදියා සහ ඉස්ලාම් බැතිමතා වෙන් කරන රේඛාව ඇඳගන්නට ජනතාවට බැරිය. ඉර ඇඳ දිය යුත්තේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය තුළිනි. ඒ ඉර ඇඳීමට ආණ්ඩුවට මේ හොඳම වේලාවය.

ඉතිහාසයේ වේගයෙන්ම පාවා දීමට ලක්ව තිබෙන්නේ මේ අන්තවාදී සංවිධානයය. ඒ පාවා දුන්නේ ඔත්තු දුන්නේ වෙනකෙකු නොව මුස්ලිම් ජාතිකයින්මය. පළමු ප්‍රහාරයෙන් ලද අත්දැකීමම මුස්ලිම්වරුන්ට ඉමහත් පීඩනයක් ගෙනැවිත් තබේ. ‘‘මේ පාර නෝම්බිවලදී පල්ලිවලට කැඳ දී ගන්නවත් විදිහක් නෑ’‘ ඉස්ලාම් භක්තිකයෝ කියන්නේ තමන් සමග සිටි අන්තවාදීන් කෙරෙහි උපන් කෝපයෙනි. ඒ නිසා අන්තවාදියාද මුස්ලිම් බැතිමතා ද වෙන්කර ගැනීමට ඉර ඇඳ දීමට මේ හොඳම වෙලාවය. එසේ නොකළහොත් හෙට ඉර පායනු ඇත්තේ තව තවත් අවිස්වාසය පිරුණු රටකය.