ක්‍රීඩා

ඉරාකය, සවුදිය පරදා ‘සවුදිය පුරයි’

අවසන් මහා තරගයේදී සවුදි අරාබිය හමුවේ තරග වට 3-2 ක තියුණු ජයක් හිමිකරගත් ඉරාකය පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ හිමිකරුවන් බවට පත්වූයේය.
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී වට පහක් දක්වා දීර්ඝ වූ මෙම අවසන් මහා තරගය පැය 2 යි විනාඩි 18 ක කාලයක් පැවැත්විණි.
පළමු වටයේදී ලකුණු 25-14 කින් ජය ලද සවුදි අරාබියට සාර්ථක පිළිතුරක් ලබාදුන් ඉරාකය දෙවැනි සහ තෙවැනි වටයන් ලකුණු 25-14 කින් සහ 25-16 කින් ජය ගනිමින් වට 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.
අනතුරුව නැවතත් ක්‍රිියාත්මක වූ සවුදි අරාබිය සිව්වැනි වටය ලකුණු 28-26 කින් ජය ගනිමින් තරගයේ ජය දෙපිලටම විවෘත තත්ත්වයක් කරා රැගෙන ආවේය.
තීරණාත්මක පස්වැනි තරගයේදී ජයග්‍රහණය උදෙසා දෙපිළම කරට කර සටනක නියැලුණු නමුත් අවසානයේ ලකුණු 15-13 කින් ජය ඉරාකය සතු විය.
ශ්‍රී ලංකාවට තෙවැනි තැන…..
බංග්ලාදේශය සමග පැවැති තරගයෙන් වට 3-0 කින් ජයගත් ශ්‍රී ලංකාව ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේ තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.
තරගයේ පළමු වටයේදී ලකුණු 25-16 කින් ජය ලබාගත් ශ්‍රී ලංකාව දෙවැනි සහ තෙවැනි වට දෙකේදීම 25-17 බැගින් ලකුණු රැස්කරමින් ජය තහවුරුකර ගත්තේය.