brand logo

ඉම්රාන් ඛාන්ගේ නිල නිවස උත්සව සඳහා කුලියට දෙයි

05 August 2021

රටට යම් ආදායමක් උපයා ගැනීම සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ අගමැති නිල නිවස කුලියට දීමට එරට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

සුවිසල් මන්දිරයක් වන මෙය පිහිටා ඇත්තේ ඉස්ලමාබාද් නුවර රතු කලාපය නමින් හැඳින්වෙන ප්‍රදේශයේයි. මේ වනවිට පාකිස්තානය සිටින්නේ දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙමිනි. කැබිනට් තීරණයට අනුව අගමැති නිල නිවස ඉදිරියේදී විවිධ සංස්කෘතික, අධ්‍යාපනික ආදී කටයුතු සඳහා කුලියට ලබා ගත හැකි වනු ඇත. ඇඳුම් විලාසිතා ප්‍රදර්ශන වැනිදේට පවා එය කුලියට දෙනු ඇතැයි පැවසේ. එය කුලියට ගන්නා පාර්ශ්ව අතින් ඊට හානි සිදුවීම වැළැක්වීම වැනි කටයුතු සඳහා විශේෂ කමිටු දෙකක් පිහිටුවා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. 2019 වසරේ පටන් ඉම්රාන් ඛාන් වාසය කරන්නේ මෙම නිල නිවසේ නොවේ. ඔහු නිල නිවස අතහැර බානි ගාලා නමැති ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසක පදිංචියට ගියේය. එම අවස්ථාවේ රජය නිවේදනය කළේ නිල නිවස වඩාත් නවීකරණය කර අධ්‍යාපනික ආයතනයක් බවට පරිවර්තනය කරනු ඇති බවයි. පාකිස්තානයේ පළාත් ආණ්ඩුකාරවරුද ඔවුන්ගේ නිල නිවාසවලින් ඉවත් වීම සඳහා තීරණය කළහ. එයින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමටත්, එම මුදල් සමාජ සුබසාධන කටයුතු සඳහා යෙදවීමටත් තීරණය කෙරිණි. සහන් වික්‍රමගේ
 

More News..