පිනි පලස

ඉපදුණෙත් මිය යන්නෙත් කලාව වෙනුවෙන්මයි

වේදිකාවෙන් කලාවේ මුල් අකුරු කියවන ඔහු සිනමාව, ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයාගේ හදවතට කතා කරන නළුවෙක් වන්නේ අතිශය ප්‍රබල තාත්වික රංගනය නිසාමයි. සුන්දර රුවක් නැතත් දක්ෂ රංගන පෞරුෂයක් ඔහු සතුයි.

ඒ ගමනේ තීරණාත්මක කඩඉමකට ඔහු අද පැමිණ තිබේ. වසර පහළොවක මිතුරා කුමාර තිරිමාදුර සමග ඔහු තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය මවන ප්‍රථම චිත්‍රපටය අභියෝගාත්මක මොහොතක ප්‍රේක්ෂකයාට තිළිණ කර දී තිබේ. ද නිවුස් පේපර් චිත්‍රපටය සමගින් ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන ඔහු සරත් කොතලාවලය.

මේ අපේ චිත්‍රපටය තිරගත කරන්න වෙලාව නෙවේ. නමුත් කොරෝනා ප්‍රශ්නෙන් පසුව කවුරුත් කැමැති නැහැ තමන්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න. චිත්‍රපට කර්මාන්තය මේ වෙනකොටත් ලොකු අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. කරපු චිත්‍රපටය පස්සේ පෙන්නන්න තියාගෙන කර්මාන්තය කබලෙන් ළිපට වට්ටන්න බැහැ. පාඩු වුණත් කමක් නැහැ කියලා හිතාගෙන තමයි චිත්‍රපටය සිනමාශාලාවලට දාන්න තීරණය කළේ. මොකද කවුරු හරි මේ මොහොතේ ඉදිරිපත් වෙන්න ඕන. නැත්නම් විනාශ වෙන්නේ අපේ සිනමා කර්මාන්තය.

පසුගිය කාලයේ චිත්‍රපට කර්මාන්තය ගොඩ ගන්න ගොඩක් අය ඉදිරිපත් වුණා. දැන් ඒ අයට මොකද වුණේ කියන ප්‍රශ්නය මට වගේම සරත් කොතලාවලටත් තිබෙනවා.

ලොකු ලොකු කතා කියන්න අය ඉන්නවා. නමුත් අසරණ වෙච්ච වෙලාවට කවුරුත් නැහැ. මේ මොහොතේ චිත්‍රපට කර්මාන්තය හොඳටම අසරණ වෙලා තියෙන්නේ. ලංකාවේ චිත්‍රපට ශාලා 150ක්වත් නැහැ. කොරෝනා ප්‍රශ්නය නිසා ප්‍රේක්ෂකයෝ සිනමාශාලාවලට එයිද කියන ප්‍රශ්නය තියෙනවා. එවන් මොහොතක ප්‍රේක්ෂකයාට හොඳ දෙයක් ලබා දිය යුතුයි. මගේ නිර්මාණය ඉතාමත් හොඳ එකක් කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන් ප්‍රේක්ෂකයා නිවුස් පේපර් චිත්‍රපටය මේ මොහොතේ නැරඹිය යුතුයි කියලා සිතෙන්න ඕන. මට දැනෙනවා එහෙම හිතෙයි කියලා. මේ මොහොතේ තිරගත කරන්න තිබුණ චිත්‍රපටවල අයිතිකාරයන්ට තමන්ගේ චිත්‍රපටය ගැන විශ්වාසයක් නැතිව ඇති. මමයි කුමාරයි මේ අභියෝගය භාර අරගෙන චිත්‍රපටය දැම්මේ ඕන දේකට මුහුණ දෙන්න බලාගෙන.

මේ අභියෝගය අපි පැරදෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ තරමට ද නිවුස් පේපර් චිත්‍රපටය ප්‍රබලයි.

සරත් කොතලාවල දැඩි ලෙස විශ්වාසය තබා ඇති නිර්මාණය සත්‍ය කෙනෙක් වටා ගෙතුණු නිර්මාණයක් බව ඔහු පසක් කළේ මේ ආකාරයට.

මේක සත්‍ය අත්දැකීමක් පදනම් වූ චිත්‍රපටයක්. වත්තල පැත්තේ සිද්ධ වෙච්ච පුංචි සිදුවීමක් තමා මහා කතාවක් දක්වා පෙරළෙන්නේ. ලෝකේ වෙනස් කරන අංශ දෙකක් තියෙනවා. එකක් දේශපාලනය. අනෙක් එක ජනමාධ්‍යය. මෙතනත් දේශපාලනයට වඩා ජනමාධ්‍ය කියන ඒක ප්‍රබලයි. මෑත කාලයේ රටක දේශපාලනය වෙනස් කරන්නේ ජනමාධ්‍යය. කොරෝනා ප්‍රශ්නය අරගෙන බලන්න. ජනමාධ්‍යයෙන් නෙමේද මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කළේ. මිනිස්සු කරන්න ඕන දේ තීරණය කළේ ජනමාධ්‍ය. ආහාර මල්ල අරගෙන ගිහින් බෙදුවේ මාධ්‍ය ආයතන. රටක ගංවතුරක් ආපුවම කවුද මිනිස්සු ළඟට යන්නේ. මාධ්‍ය නෙවේද? මාධ්‍යය කියන්නේ මුළු ලෝකයම වෙනස් කරන දෙයක්. රටේ සිදුවන දූෂණ ප්‍රශ්න හෙළි කරන්නේ මාධ්‍යය. හැබැයි මාධ්‍ය ඇතුළේ තියෙන ප්‍රශ්න පිටට එන්නේ නැහැ. ද නිවුස් පේපර් තුළින් කතා කරන්නේ අන්න ඒ මාතෘකාව. මාධ්‍යයක පළවන පුවතක් නිසා එක්තරා පවුලකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඔවුන්ගේ ආත්ම ගරුත්වය බින්දුවටම වැටෙනවා. නැති වෙච්ච එම ගෞරවය නැවතත් මාධ්‍ය ඔස්සේම ගොඩ නගාගන්න දරන වෑයමක් ගැන චිත්‍රපටය තුළ කතා කෙරෙන්නේ.

චිත්‍රපටයක් නිර්මාණය කළත් එය නරඹන්න එන්න කියන පණිවුඩය ප්‍රේක්ෂකයා වෙත යවන්නේ මාධ්‍ය ඔස්සේ. මේ ආකාරයට මාධ්‍ය නිරුවත් කිරීමට යාමෙන් මාධ්‍යයෙන් චිත්‍රපටයට සහයෝගයක් ලැබෙයිද යන ප්‍රශ්නයත් සරත් කොතලාවලට නොදැනුණා නොවේ.

මුලින්ම පුංචි ගැටලුවක් තිබුණා. නමුත් හැම මාධ්‍යවේදියෙක්ම එක වගේ නෙවේ. හැම ක්ෂේත්‍රයකම හොඳ වගේම නරක පිරිසකුත් ඉන්නවා.

මේ හොඳයි කියන මාධ්‍ය හිතවතුන් අපිට අනිවාර්යයෙන්ම සහයෝගය දක්වයි කියලා හිතුණා. ඒ සිතුවිල්ල වැරදුණේ නැහැ. අපි කතා කරන්නේ සත්‍යය. ඒ සත්‍ය දකින්න පුළුවන් හොඳ මාධ්‍යවේදීන් පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ අය මේ චිත්‍රපටය වෙනුවෙන් මටත් කුමාරටත් ලොකු සහයෝගයක් ලබා දෙනවා.

සරත් කොතලාවල සමග කතා කළත් ඔහු සැම විටම මමත් කුමාරත් කියන වචනය නිතරම භාවිත කරනවා. සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර කියන්නේ එක්කෙනෙක් ද?

ඇත්තටම අපි දෙන්නා එක්කෙනෙක් කියලා කිව්වත් වැරැද්දක් නැහැ. මොකද අපේ මිත්‍රකමට අවුරුදු විස්සක් විතර ඇති. අපි දෙන්නා මුලින්ම දෙරණ ටීවී එකේ පකිස් පුවත් කළා. තණ්හා රතී රඟා චිත්‍රපටයේ තිර රචනාව ලිව්වා. වේදිකා නාට්‍ය කීපයකම වැඩ කළා. දෙදෙනා දෙදෙනෙක් නොවන තරමට බැඳිලයි ඉන්නේ. දෙදෙනෙක් එක තිර රචනාවක් ලිවීමේ අභියෝගය ගැන කතා කරන්න ඔහු අමතක කළේ නැහැ.

අපි දෙන්නා ඉස්සරහටත් එකටම තමයි තිර පිටපත් ලියන්නේ. ඒක හරිම විනෝදජනකයි. ඕනම මාතෘකාවක් ගැන අපි දෙන්නට තර්ක කරන්න පුළුවන්. අපි දෙන්නා ද නිව්ස් පේපර් චිත්‍රපටයට අදාළ සිදුවීම ගැන කතා කරන්න පටන් ගත්තා. කතා කරන හැම දෙයක්ම පටිගත කර ගන්නවා. ද නිව්ස් පේපර් තිර රචනය ගැන අවුරුදු එකහමාරක් විතර කතා කරමින් ලිව්වා. මම හිතන්නේ විසි පාරකට වඩා ලියලයි අවසාන තිර පිටපත නිර්මාණය කළේ.

සමහරු නිෂ්පාදකවරයෙක් සොයා ගැනීමෙන් අනතුරුව තමයි තිර පිටපත ලියන්නේ. නමුත් ඔවුන් දෙදෙනා තරමක් වෙනස් මතයක ඉන්නා අපූරු සුසංයෝගයක්.

අපි දෙන්නා ලියූ තවත් තිර රචනා කීපයක් තියෙනවා. ඔළුවට එන වෙලාවට අපි ලියනවා. හැබැයි ඊට පස්සේ තමා නිෂ්පාදකවරයෙක් හොයන්නේ. බන්දුල ගුණවර්ධන සර් මගේ ගුරුවරයා. උසස් පෙළ ආර්ථික විද්‍යාව මම ඉගෙන ගත්තේ ඔහුගෙන්. මම හිතුවා සර් තිර පිටපත දැක්කම උදව්වක් කරයි කියලා. දේශපාලනය කළාට ඔහු හැමදාම කලාවට උදව් කළා. ඒ මනුස්සකම ඔහු අපි දෙන්නටත් ලබා දුන්නා. එච්.ඩී. ප්‍රේමසිරි මහතා සහ රවීන්ද්‍ර ගුරුගේ මහතාත් අපේ සිහිනය සැබෑ කරගන්න උදව් කළා.

ලංකාවේ සෑම මාධ්‍ය ආයතනයක් වගේම දේශපාලන අධිකාරියෙන් ලැබිය යුතු උපරිම උදව් අපිට ලැබුණා. ද නිව්ස් පේපර් චිත්‍රපටය පිටුපස තිබෙන්නේ ඒ ළබැඳියාව තමයි. ද නිව්ස් පේපර් චිත්‍රපටයේ පුංචි චරිතයටත් දායක වෙන්නේ ප්‍රබලම නළු නිළි කැලක්. මෙය සාර්ථක නිර්මාණයක් වෙන්නේ එම නිසාමද? ඒ වගේම සමහරු කියනවා චිත්‍රපටය සඳහා මුදලක් වැය වුණා කියලා.

රඟපාන නළු නිළි කැල දැක්කාම හිතෙන්න පුළුවන් විශාල වියදමක් යන්න ඇති කියලා. එහෙම නැහැ. මේ තමා අපි සිනමාවෙන් හම්බ කරපු ධනය. මුදල් නෝට්ටු වෙලා බැංකු පොතට ගිය ආර්ථිකයක් නෙවේ අපි හදා ගත්තේ, ඕන දේකට පණ වුණත් දෙන්න ලෑස්ති මිතුරු කැලක්. මේ චිත්‍රපටයේ රඟපාන බොහෝ දෙනා අපි එක්ක එකතු වුණේ අපිට සහයෝගයක් ලබා දෙන්න. එය කවදාවත් මුදල්වලින් මනින්න බැහැ. එකම අරමුණක වැඩ කරන සොයුරු කැල ද නිව්ස් පේපර් වෙනුවෙන් හුස්ම දුන්නා.

චිත්‍රපටයේ නිර්මාණාත්මක පැත්ත ඔවුන් දෙදෙනා සීයට සීයක්ම නිමා කළත් නිෂ්පාදන පැත්ත උසුලාගෙන යන උදවිය මේ මොහොතේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කැමැති වීම ගැන ඔහු තුළ ඇත්තේ පුදුමාකාර ගෞරවයක්.

මුලදි නම් නිෂ්පාදන කණ්ඩායමට පොඩි බයක් තිබුණා. නමුත් මමත් කුමාරත් ඔවුන්ට කරුණු අවබෝධ කරලා දුන්නා. මම මුලින්ම කිව්වේ මට මගේ නිර්මාණය විශ්වාසයි. අවුරුදු ගාණක් පිටු දහස් ගාණක් ලියපු නිර්මාණය අපතේ යන්නේ නැහැ කියලා මට විශ්වාසයි. ඒ වගේම කවුරුත් ඉදිරිපත් නොවන මොහොතක කලාව වෙනුවෙන් මෙවන් කැපකිරීමක් කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. මේ නිෂ්පාදකවරු තිදෙනාම සිනමාව වෙනුවෙන් තම නිර්මාණය දන් දුන්නා.

ද නිව්ස් පේපර් චිත්‍රපටය සඳහා ලැබෙන ප්‍රතිචාර ගැන සරත් කොතලාවල තුළ ඇත්තේ දැන් සතුටක්.

කොරෝනා ප්‍රශ්න තිබුණත් ප්‍රේක්ෂකයෝ අපි ගැන තබපු විශ්වාසයට ගොඩක් පින්. මොකද පළවෙනි දවසෙම චිත්‍රපටය බලන්න බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඇවිත් ඉන්නවා. මාස ගාණක් හුදෙකලා වෙච්ච හැම කෙනෙක්ම සෞඛ්‍ය නීති රීති අනුව චිත්‍රපටය නරඹයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රේක්ෂකයෝ අපිව විශ්වාස කරන තරමට අපේ මීළඟ නිෂ්පාදනය කරන්න ශක්තිය ලැබෙනවා. මම ඉපදුණේ කලාව වෙනුවෙන්. මිය යන​නෙත් කලාව මත්තෙම තමයි.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර

ඡායාරූප- සමන් අබේසිරිවර්ධන