ක්‍රීඩා

ඉනිමකදී ලකුණු 300යේ සීමාව පසුකරන්න පුළුවන් නම් ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳ තරඟයක් දෙන්න පුළුවන්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකට සාර්ථකව මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සදහන් කර ඇත්තේ, පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 300ට වඩා ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගත යුතු බවත්, එවිට පන්දු යවන්නන්ට සාර්ථකවීමට හැකියාව ලැබෙන බවයි.

විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ක්‍රිකට් ලොව උඩුයටුකුරු කරමින් ඕස්ට්‍රේලියාවේදි ආසියානු කණ්ඩායමක් විසින් ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය පිළිබදව චන්දිමාල් මෙහිදී සිහිපත් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චන්දිමාල් කියා සිටියේ,

“නවසීලන්ත කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරග දෙකේදී අපි හොඳ තත්ත්වයක හිටියා. විශේෂයෙන් දෙවැනි ඉනිමේදී. පන්දු යැවීමෙන් හෝ පන්දුවට පහරදීමෙන් අපි හොද ආරම්භයක් ලබාගත යුතුයි. අපි ඒ ගැන අවසානයේදී පැවැත්වුනු ක්‍රිකට් තරගාවලියේදි හොදට ඉගෙන ගත්තා. අපේ ක්‍රීඩකයන් සතුව හොද ක්‍රීඩා සැලසුමක් තියෙනවා. ඔවුන්ට පුළුවන් නම් මධ්‍යස්ථාව සිටන්න එය හොද ආරම්භයක් වේවි.

අපේ වේගපන්දු යවන්නන් හොද තත්ත්වයක සිටිනවා. පිතිකරණ අංශයෙන් ලකුණු 300යේ සීමාව පසුකරන්න හැකි නම් අපිට හොද තරගයක් දෙන්න පුළුවන්.

ඉන්දියානු කණ්ඩායම වේග පන්දු බලඇණිය ඇත්තෙන්ම හොද තත්ත්වයක ඉන්නවා. විශේෂයෙන්ම පන්දුවාර 40ත් 80ත් අතරදී. ඒ නිසා තමයි ඉන්දියානු කණ්ඩායම එම තරගාවලිය ජයග්‍රහණය කළේ. කණ්ඩායමක් වශයෙන් අපිත් කළ යුත්තේ ඒ දේමයි.

අපි හැමෝම දන්නවා ඇන්ජලෝ කොතරම් හොදද කියලා, ඒත් කණ්ඩායමට ඔහු නැති අඩුපාඩුව තියෙනවා. අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියේදී ඇන්ජලෝ හොදින් ක්‍රීඩා කළා. ඔහු අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. කෙසේ වෙතත් මේක තමයි කණ්ඩායමේ ඉන්න නවකයන්ට තියෙන හොද අවස්ථාව තමන්ගේ දක්ෂතාවයන් පෙන්වීමට. ඕස්ට්‍රේලියාව වැනි කණ්ඩායමකට ඔවුන්ගේ රට තුළදීම අපේ තරුණයන්ට දක්ශතාවය පෙන්වීමට හැකිවුනොත් එක ක්‍රීඩකයින්ට ලොකු ශක්තියක් වේවි ඉදිරියට.

අපි දන්නවා ඕස්ට්‍රේලියානු කණ්ඩායම හොද කණ්ඩායමක්. කණ්ඩායමක් විදිහට අපේ දක්ෂතාවය ඉහළට පහළට යනවා. ඒත් ඕස්ට්‍රේලියාව හොද දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත කණ්ඩායමක්. ඒ නිසා මේක ඇත්තටම ලේසි පහසු නැහැ, ඔවුන්ට එරෙහිව තරගාවලියක් දිනනවා කියන ඒක.”