කතුවැකි

ඉන්දියාව නම් මහා බ්‍රහ්මයා

භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් ලංකාවේ සහ නේපාලයේ පිහිටුවිය යුතු යැයි එහි හිටපු සභාපති අමිත් ෂා කියුවේය යන ප්‍රකාශය පසුගිය සතියේ ඉමහත් ආන්දෝලනයට ලක් විය. කෑම මේසයක කිව්වායැයි කියන ලු ගණයේ කතාවකට ප්‍රතිචාර දැක්වීමට හදිසි නොවිය යුතු බව ලංකා ආණ්ඩුවේ අදහස විය. එහෙත් මේ ප්‍රකාශය නිකුත් වුණේ භාරතීය ජනතා පක්ෂයේ නායක ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි විසින් තමන් ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදී වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමගය.

ඉන්දියානු ජාතික නිදහස් සටනට පණ පෙවුණ අවධියේ ජාතික සංගමයේ තරුණ නියෝජිතයන් වශයෙන් ඉන්දියාවට ගිය ජේ.ආර්. ජයවර්ධන බිහාරයේ රාම්ඝර් නගරයේ පැවති කොංග්‍රස් සම්මේලනය පැවති පිට්ටනියේ කූඩාරමක සිටි මහත්මා ගාන්ධි හමු වූයේය. බ්‍රිතාන්‍ය පාලනය යටතේ දුක් විඳින ලක්වැසියන් ගැන කිසිත් නොවිමසූ ගාන්ධි ලංකාවේ ජීවත් වන ඉන්දියානු ජාතිකයන් ගැන තමා කනගාටු වන බව පැවැසීය. ඒ මහා අවිහිංසාවාදියාද ලංකාව දෙස බැලුවේ සකල ලෝකවාසීන් කෙරෙහි පැතිර වූ මෛත්‍රී හැඟීමෙන් නොව ඉන්දියානුවකු ලෙස පමණය.

භාරතීය ජනතා පක්ෂය කළ මේ ප්‍රකාශය ගැන අද ඉන්දියානු කොංග්‍රසය තම බලවත් කනගාටුව පළ කරමින් ලංකාණ්ඩුවෙන්ද නේපාලයෙන්ද ඔවුන් සමාව ගත යුතු බව ප්‍රකාශ කර ඇත්තේය. එහෙත් එය බී.ජේ.පි.යට තියෙන විරෝධයට එහාට ගිය කරුණාවක් නොවේ.

ඉන්දියානු කොංග්‍රසය පිහිටු වූ ශ්‍රී නේරු 1946 ලංකාවට ආවේ ලංකා ඉන්දියානු කොංග්‍රසයක් ලංකාවේ පිහිටුවීමටය. බෝරාවරුන් මුල් කර ගනිමින්, කොළඹ ඉන්නා ඉන්දියානුවන් මුල් කර ගනිමින් ලංකා ඉන්දියානු කොංග්‍රසය පිහිටුවූ නේරු කොළඹ ඉන්නා අය, වතුකරයේ ඉන්නා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාවද ඒකරාශී කරගත යුතු බව කීවේය. එම රැස්වීමේ සිටි නිර්ධන පන්ති බලමුළු ගැන්වීම කෙරෙහි කැප වූ අරමුණ කරගත් දේශපාලනයේ යෙදුන කොල්වින්, ‘‘නේරු නිරන්තරයෙන් ලංකාවට ආ යුතුයි. නමුත් අප අතර භේද ඇති කළ යුතු නැතැයි’’ කීවේය. පසු කලෙක වතුකම්කරු කොංග්‍රසය ආරම්භ වූයේ ඉන්දියන් ජාතික සංගමය නමිනි. එය අද වතු කම්කරු කොංග්‍රසය වූයේ කාලයාගේ ඇවෑමෙනි.
භාරතීය ජනතා පක්ෂය ලංකාවේ පක්ෂ ගණනාවක් පිහිටුවීම ගැන කොංග්‍රස් පක්ෂය අද කනගාටුව පළ කළද එම පක්ෂයේ ආණ්ඩුවක් යටතේ ඉන්දියානු හමුදා ලංකාවට ආවේය. ඉන්දු ලංකා ගිවිසුමක් ඇති කර අද ද බහුතර ජනතාව සුදු අලියෙක් ලෙස සලකන පළාත්සභා පිහිටුවූයේ කොංග්‍රස් ආණ්ඩුවක් යටතේය.

ඉන්දියානු නම යොදා වෙනම පක්ෂ පිහිටුවන්නට වුවමනා නැත. උතුරේ සේම කඳුකරයේද බොහෝ පක්ෂ තම මව්බිම ලෙස සලකන්නේ ඉන්දියාවය. ඉන්දියා නිජබිම ලෙස සළකාගෙන ලංකාවේ නිජබිමක් ඉල්ලීම ඒ දේශපාලනයේ තිබෙන විකෘතියයි.

උතුරු මුහුදේ උතුරේ ධීවර ජනතාවගේ ගොදුරු බිම්වල ඉන්දියානු ධීවරයෝ බලෙන් ඇවිත් මාළු ඇල්ලීම නතර නොකරන්නෝය. එමතු නොව දැනටමත් උතුරේ ඉන්දියාවේ ශිව සේනා පක්ෂය අනුගමනය කරන පක්ෂයක කටයුතු උතුරේ ආරම්භ කර ඇත. මහා රාෂ්ඨය පදනම් කරගෙන උග්‍ර හින්දු මතවාදවලට අනුව කටයුතු කරන ඔවුහු ඉන්දියාවේ බ්‍රාහ්මණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව සෙසු කුලවලින් විවාහයක්වත් කර ගත්තොත් දරුණු දඬුවම් දෙන්නෝය. එබඳු පක්ෂයක් ලංකාවේ උතුරේ පිහිටුවුවහොත් උතුරේ කරයර් පරවර් කුලවලට කවුරු පිහිට වෙන්නද?

මේ ඉන්දියානුවා අප ගැන සිතන සැටිය. මේ මහා භාරතයේ වාසීන්ගේ මනසය. බ්‍රාහ්මණයා ක්ෂුද්‍රයා දෙස බලන බැල්මට වැඩි දෙයක්, සැලකිල්ලක් ලංකාව- නේපාලය වැනි රටවලට ලැබෙන්නේ නැත.

ඉන්දියාවේ මේ මනස වෙනස් කළ හැක්කේ ඉන්දියාව උපන්බිම ලෙස සලකන අය තම මනස වෙනස් කර ගත්ත දාටය.