කතුවැකි

ඉන්දියාවට ගහන්න යන පාරේ බොරු වළවල්

​කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි කාලයේය. ඒ සඳහා ආයෝජනය කෙරුණේ චීන රජය විසිනි. ඒ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ ආදී මර්මස්ථාන රාශියක් සඳහා ආයෝජනය කර තිබුණේ චීන ජනරජයය. ඒ කාලයේ ඉන්දියාව ලංකාවේ නොයෙක් ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට උත්සාහ කළත් චීනයට ලැබුණ ප්‍රමුඛතාව ඉන්දියාවට ලැබුණේ නැත. ඉන්දියාවේ අකැමැත්ත ජාත්‍යන්තර තලයේ පිළිබිඹු වන්නට විය.

උතුරේ යුද අපරාධ සිදු වූ බවට චෝදනා ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කෙරෙන්නට විය. 2013 වසරේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනාවලියක් ඉදිරිපත් කළ අතර ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කර ලංකාව පරාජය කළ ආකාරය ලාංකික කාටත් මතකය. මේ පරාජයෙන් පසු ඉන්දියානු නායකයන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රබල ප්‍රධාන නියෝජිතයෙක් එරටට පිටත් කෙරිණ. ජනාධිපතිවරයාගේ ලංකා නියෝජිතයා ඉන්දියාවට වුවමනා කවරේදැයි ප්‍රශ්න කළේය. ඉන්දියාවට ඕනෑ තර්ටීන් ප්ලස් (13+) දැයි විමසූ විට ඉන්දියානු නියෝජිතයා දුන් උත්තරය කවරේද?

‘‘ඔබට පුළුවන් නම් 13+ උතුරට දෙන්න. නැතිනම් තර්ටීන්වලට අඩුවෙන් දෙන්න. එහෙමත් නැතිනම් 13 වැනි සංශෝධනය දෙන්න. 13 වැනි සංශෝධනයට අඩුවෙන් දුන්නත් අපට කමක් නෑ.’’

‘‘එසේ නම් ඔබට වුවමනා කවරේද?’’

‘‘අපට වුවමනා චීනයට ලංකාවේ වරාය නගරය දීම නතර කිරීමයි.’’

උතුරේ මානව හිමිකම්, දේශපාලන අයිතීන්, බලය බෙදීම් ආදී කාරණා පිටුපස තියෙන්නේ මෙබඳු ඉල්ලීම් බව අප කාටත් පැහැදිලිය.

මෙබඳු තත්ත්වයන්ට පත්වීමට සිදු වූයේ අද ඊයේ නොවේ. ජාතික සංගමයේ නියෝජිතයන් වශයෙන් ජේ.ආර්. ඇතුළු පිරිසක් ඉන්දියාවට ගොස් නිදහස් අරගලයේ යෙදී සිටි ගාන්ධි හමු වූ විට ලංකාවේ ඉන්නා ඉන්දියානු ජාතිකයන් ලාංකිකයන් අතින් විඳින දුක් ගැහැට ගැන තමා දුක්වන බව ගාන්ධි ද කීවේය. ලංකාවට නිදහස ප්‍රදානය කළ යුගයේ බ්‍රිතාන්‍ය හමුදා තවදුරටත් ත්‍රිකුණාමලයේ තබා ගැනීමට ඩී.එස්. කටයුතු කළේ ඉන්දියාව ලංකාවද ප්‍රාන්තයක් කර ගනීවිය යන බිය නිසා බව කියැවේ. ඉන්දියාවේ බලපෑම ලංකාවට එල්ල කිරීමට හොඳම මාවත පෙන්වා දුන්නේ ශ්‍රී නේරුය. ලංකාවේ තොග වෙළෙඳාමේ යෙදී සිටි ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ සංවිධානය වූ ලංකා ඉන්දියා කොංග්‍රසයේ ආරාධනයෙන් 1946 දී ශ්‍රී නේරු ලංකාවට ආවේය.

ලංකාවේ සිටින ඉන්දියානු ජාතිකයන්ගේ ගැටලු ගැන සොයා බැලූ නේරු ‘‘නුඹලා වතුකරයේ සිටින ඉන්දියානු ජාතිකයන්ද එකතු කරගෙන සංවිධානය විය යුතු බව කීවේය. වතුකරයේ ජනතාව වෙනුවෙන් වතු කම්කරු කොංග්‍රසය ගොඩනැගෙන්නේ එයින් පසුය.

ජාතික ස්වාධීනතා දිනයක් නම්කොට ලංකාව, ඉන්දියාවෙන් වෙන් කළ පෝක් සමුද්‍ර සන්ධියට මල්මිට බැගින් පිදිය යුතු යැයි වරෙක දේශපාලන විචාරකයකු කීවේ ලංකාවත්, ඉන්දියාවත් අඩියක හෝ බිම් තීරුවකින් එකට බැඳී තිබුණා නම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්කර ගනු නියත නිසාය. උතුරේ දෙමළ ජනතාවගේ බොහෝ පක්ෂ ඉන්දියාවේ නිෂ්පාදන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එල්ටීටීඊය සන්නද්ධ කර ලොව දරුණු සහ ප්‍රබලම තත්ත්වයට ඔසවා තැබුවේ ඉන්දියාව බව අමුතුවෙන් නොකිව මනාය. ඉන්දියාව මේ සියල්ල දේශපාලන අතකොළු හැටියට තබාගෙන ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ අයුරු පර්‌යේෂණය කර ග්‍රන්ථ ගත කර මහා වංශය සමග පාඩම් ඉගෙනීමට එකට තැබිය යුතුය. රජීව් ගාන්ධි කළේ උතුරු නැගෙනහිරට ඉන්දීය යාත්‍රා හමුදා එවීමය.

එහෙත් ලංකාවේ සිනමාව, තෙල්, රක්ෂණය, වරාය ආදී ක්ෂේත්‍ර ඉන්දියාව ආක්‍රමණය කළේ ක්‍රමානුකූලවය. අද ලේලන්ඩ් බස් 45,000 ක් ඉක්මවා පාරේ දුවන්නේද, බජාජ් ත්‍රීවීලර් ලක්ෂ ගණනින් දුවමින් පෙන්වන්නේද ඉන්දියානු වෙළෙඳ ආධිපත්‍යයේ තරමය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය කුණු කොල්ලයට බදු ගැනීමෙන්ද, අයි. ඕ. සී. තෙල් පිරවුම්හල්ද පෙන්වන්නේ වෙළෙඳ ආනුභාවයය. එදා චීනයට කොළඹ වරාය නගරය ලබා දීමෙන් වළකින්න යැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂ කෙතරම් අසම සම ජනතා වීරයෙක් වුව ඔහුට ගෙදර යන්නට සිදු වූයේය. ඔහු ගෙදර යැව්වේ මෝදිගේ ඇඳුමම ඇඳගෙන උතුරට, වතු කම්කරු ජනතාව අතරට ගිය සිරිසේන ජනාධිපති මගිනි. ඒ ඇඳුම ඉන්දියාව නියෝජනය කරන අපේම එකෙකි යන හැඟීම වතු සහ යාපනේ ජනකොටස් අතර තහවුරු කළ බව කවුරු නොදනීද?

එහෙත් සිරිසේන ජනාධිපතිවරයා කීවේ මෝදි ද එම ඇඳුම ඇන්දේ තමන් අනුකරණය කිරීමෙන් කියාය. එය හරියට ජෝතිපාලගේ ගී, මොහොමඩ් රාෆි අනුකරණය කළා යැයි කීමට පමණක් නොදෙවෙනිය.

දැන් අප පෙනී සිටින්නේ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදී බේරා ගැනීම වෙනුවෙනි. එය ඉතා ප්‍රගතිශීලී ස්වාධීනත්වය අගයන පියවරකි. නමුත් ලංකාවේ මුදලින් ලංකාවේ වරාය අධිකාරිය තැනූ මේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදෙන විට ඊට එරෙහිව වචනයක් නොකී පාර්ශ්ව අද වරාය පර්යන්තය වෙනුවෙන් පෙනී සිටීම සැබෑ සටන් පාච්චල් කිරීමකි. රටේ නිදහස ඉන්දියාව ළඟ දණගැස්සවූ පාර්ශ්ව කීයක් නම් මේ සටන්කරුවන් සමග සිටින්නේද යන්න ගැන සොයා බැලිය යුතු බවය. වරාය රැක ගැනීමට යන සැබෑ හා උන්නතිකාමීන් මේ උන්දෑලැ කපන බොරු වළවල් මගහැරගත යුතුය.