විශේෂාංග

ඉන්දියන් හමුදාව යාපනය රෝහල ලේ විලක් කළ හැටි

අප නිවස පිහිටා තිබුණේ වව්නියාව රෝහලට යාබදව බැවින් අවට සිදුවන ගැටුම්, කෝලාහල පිළිබඳව තොරතුරු මා හට ඉක්මනින්ම ලැබුණේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කිරීමේදී එය මට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් විය. නමුත් ගෙදර අයට රෝහලට යාබදව අපගේ පදිංචිය තිබීම ප්‍ර‍යෝජනවත් වූයේ වෙන කිසිවක් නිසා නොව රෝහල නිසා අපට ලැබුණ ආරක්ෂාව හේතුවෙනි.

‘‘මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඉස්පිරිතාලෙ වත්තට පැන ගන්න තියෙන්නෙ’’
මගේ පියා මව සහ ඥාතීහු නිතර කීහ.

අනෙක් අතට කාලතුවක්කු, මෝටාර් ප්‍රහාර හා ගුවන් ප්‍රහාර කොතෙක් සිදු වුවද රෝහල් භූමියක් හා ගොඩනැගිලි ඒ සඳහා ඉලක්ක නොකිරීම සාමාන්‍ය යුද සම්ප්‍රදායයි. මේ නිසා මරබිය අතින් වව්නියාවේ අනෙකුත් පිරිස්වලට සාපේක්ෂව යම් තරමක වාසියක් අපට තිබිණි.

මේ අතර  1987 එක් දිනයක සැහැල්ලුව නැති වන ප්‍රවෘත්තියක් අප හට වව්නියාව රෝහල තුළින්ම ලැබිණ.
‘‘යාපනය හොස්පිටල් එකට බෝම්බ ගහලා වෙඩි තියල බර ගාණක් මැරිලා. දැන් ඉතින් මේ ඉස්පිරිතාල ගැනත් විශ්වාසයක් තියන්න බැහැ’’

වව්නියාව රෝහලේ රැකියාව කරන අප පවුලේ හිතවත් කීප දෙනකුම ගෙදර වැඩිහිටියන් සමග කීවෝය.
පසුව සොයා බැලීමේදී හෙළි වූයේ ලැබුණු තොරතුරු සම්පූර්ණ සත්‍යයක් බවයි. එම සිදුවීම පිළිබඳව නැවත සඳහන් කිරීම වැදගත් පසුගිය කාලයේ හා වර්තමානයේදී විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි  කියන යුද අපරාධ පිළිබඳව කතා කරන බැවිනි. කෙසේ නමුත් යාපනය රෝහලට ප්‍රහාර එල්ල වන විට එහි  සිටි දිවි ගලවාගත් කීප දෙනකුම පසු කාලයක  දී මා හට හමුවිය. ඔවුන්ගේ අත්දැකීම්ද මා සමග කීවේය.

යාපනය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා ඉන්දීය හමුදාව විසින් මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 1987 ඔක්තෝබර් 10 දා. මෙහෙයුම ආරම්භ කර සතියක් ඉක්ම යන විට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද බලය ක්‍රම ක්‍රමයෙන් හීන වෙමින් පැවතිණි. ඒ අනුව එල්.ටී.ටී.ඊ.ය ක්‍රම ක්‍රමයෙන් ඉන්දීය භටයන් සමග මුහුණට මුහුණලා කෙරෙන සටනින් බැහැර වෙමින් ගරිල්ලා සටන් ක්‍රමයට සිය සංග්‍රාම උපක්‍රම වෙනස් කරමින් හුන්නේය. ඉන්දීය හමුදාව යාපනය ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය යාපනය කොටුවේ පිහිටා තිබූ අතර සියලු සැපයුම් හෙලිකොප්ටර් යානා මගින් කෙරිණි. මේ අතර යාපනයට දුරින් මාර්ග පහක් ඔස්සේ ඉන්දීය පාබල සේනාංක එල්.ටී.ටී.ඊ. යට ප්‍රහාර එල්ල කරමින් එම ප්‍රදේශ යටත් කර ගනිමින් යාපනය දෙසට එන්නට වූහ. යාපනය මහ රෝහල පිහිටා තිබුණේ යාපනය නගරයේ යාපනය කොටුවට මීටර 500ක පමණ දුරිනි.

යාපනය කොටුවේ ඉන්දීය හමුදාව රැඳී සිටියද ඔක්තෝබර් 20දා වන විටත් යාපනය රෝහල හා අවට ප්‍රදේශයේ බලය රැඳී තිබුණේ කොටි ගරිල්ලන් සතුවය. ඔවුහු යාපනය රෝහලේ හා ඒ අවට රැඳී සිටිමින් ඉන්දීය හමුදාවට එරෙහි ප්‍රහාර එල්ල කරන්නට වූහ. සටන්වලදී තුවාල ලබන එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ප්‍රතිකාර ලබාදීම යාපනය රෝහල තුළදීම සිදු කෙරිණි. ඉන්දීය පාබල සේනාංක යාපනය රෝහල හා ඒ අවට ප්‍ර‍දේශයේ බලය තහවුරු කිරීම සඳහා මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ 1987 ඔක්තෝබර් 21 දා පෙරවරුවේදීය. එදින දෙමළ ජනතාවගේ අවුරුද්ද වූ දීපවාලි දිනයයි. හරියටම පෙරවරු 11.30ට පමණ රෝහල ඉලක්ක කරමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම කාලතුවක්කු ප්‍රහාරය යාපනය රෝහලේ වාට්ටු අංක 7ට පතිත වූ අතර එහිදී 08 දෙනකු මරණයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ.

රෝහල ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වනවිට රෝහල් කාර්ය මණ්ඩලය කොටි වෙත ගොස් රෝහල් භූමියෙන් ඉවත්ව යන ලෙසට ආයාචනය කරන්නට වූහ. පසුව කොටි සාමාජිකයන් තුවාල ලබා සිටි තම සාමාජිකයන්ද සමග රෝහල් භූමියෙන් ඉවත් වුවද යාපනය රෝහල පත්ව තිබූ අනතුරුදායක තත්ත්වය පහව ගියේ නැත. ඉන්දියානු හමුදාව රෝහල වෙත ප්‍රහාර එල්ල කරමින් සෙමෙන් සෙමෙන් රෝහල දෙසට ඇදෙන්නට වූහ. පසුදින එනම් 22 දාට පහන් වන විට ඉන්දීය භටයන් යාපනය රෝහල හා ඒ අවට බලය තහවුරු කරගෙන සිටියහ. එල්.ටී.ටී.ඊ. ය ප්‍රදේශය අතහැර පලා ගොස් තිබිණ.

නමුත් ඉන්දීය හමුදාව දැඩි ලෙස කෝපයට පත්ව සිටියහ. ඔවුන් සිය කෝපය මුදා හළේ ගිනියම් වූ වෙඩි උණ්ඩවලිනි. ඒ වනවිට රෝහලේ රැඳී සිටි රෝගීන් හා කාර්ය මණ්ඩලය ඉලක්ක කරමින් ඉන්දීය හමුදාවේ අවි ක්‍රියාත්මක වෙමින් පැවතිණි. ඉන්දීය භටයන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පිරිස්වල මෘත ශරීර රෝහල් කොරිඩෝ හා රෝහල් කාමර තුළ විය. පිරිසක් මියගොස් තිබුණේ රෝහලේ විකිරණ අංශයේ (X ray) කාමරයේ මුල්ලක බියෙන් ගුලිවී සැඟවීමට උත්සාහ දරමින් සිටියදීය.

මෙම ප්‍රහාරයේදී මියගිය වෛද්‍ය ශිවපාදසුන්දරම් මහතාගේ මරණය පිළිබඳ අදටත් බොහෝ දෙනා කතා කරති. ශිවපාදසුන්දරම් මහතා ඒ  වනවිට රාජකාරි කරන ලද්දේ ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා ලෙසයි. ඒ වනවිට පෙර දින එනම් 21 දා සිට තුවාල ලබා සිටි පිරිස් කිසිවකුගේ හව්හරණක් නොමැතිව වැටී වේදනාවෙන් දඟලමින් හුන්නේය. එම රෝගීන්ගේ තුවාලවලින් ලේ ගලමින් තිබිණ. 22 දා පෙරවරු 8.30ට පමණ වෛද්‍ය ශිවපාදසුන්දරම් මහතා තවත් හෙදියන් දෙදෙනකු සමග රෝහලට ඇතුළු වන්නේ තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබාදීමේ අරමුණ ඇතිවය.

ඒත් සමග රෝහල් කොරිඩෝරය තුළදී ඔවුන් තිදෙනා ඉදිරියට හමු වන්නේ ඉන්දීය හමුදා සෙබළෙකි. තත්ත්වය බැරෑරුම් බව තේරුම් ගත් වෛද්‍ය ශිවපාදසුන්දරම් මහතා සිය දෑත් ඉහළට ඔසවා ‘‘We Surrender We are Innocent doctors and nurses’’ (අපි යටත් අප අහිංසක වෛද්‍යවරු හා හෙදියෝ) යැයි ඉන්දීය සෙබළාට පවසා තිබුණේ සිය ජීවිතය බේරා ගැනීම සඳහාය. නමුත් මේ කිසිත් ගණනකට නොගත් ඉන්දීය භටයා සිය රයිෆලය ඉලක්ක කර වෛද්‍යවරයාට හා හෙදියන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කරන ලදී. යාපනය රෝහල් ප්‍රහාරය අවසන් වන විට මියගොස් තිබූ මුළු සංඛ්‍යාව 68කි. ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ 21කු හා රෝගීන් 47කු වශයෙනි. රෝහල් කාර්ය මණ්ඩලයට ශිවපාදසුන්දරම්, කේ. පර්මිලන් හා ගනේෂරත්නම් යන වෛද්‍යවරු තිදෙනා සහ හෙදියන් තිදෙනකු ඇතුළත් විය.

මෙම සිදුවීම වී මේ වන විට වසර 32ට ආසන්න වේ. වසර 25ක පමණ කාලයක සිට සිදුවීම වූ දිනයේදී යාපනය රෝහල තුළ සැමරුම් උත්සව පවත්වති. ඒ සඳහා විශේෂ අමුත්තන්ද සහභාගි වෙති. නමුත් යුද අපරාධ පිළිබඳ කතා කරන කිසිදු පාර්ශ්වයක් පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත.

මෙම ප්‍රහාරය පිළිබඳ එල්.ටී.ටී.ඊ.යට යම් වගකීමක් පැවරෙන නමුත් ඉන්දීය හමුදාව කෙරෙහි දෙමළ ජනතාව තුළ පැවැති අප්‍රසාදය සිය දහස් ගුණයකින් වැඩිවී ගියේය.

‘‘ලංකා හමුදාවත් වැරදි කළා තමයි හැබැයි. මේ වගේ වැරදි කළේ නැහැ.’’
ඇතැම් දෙමළ වැසියන් සිංහල අපගේ මූණටම කියන්නට වූහ.

ඉන්දියානු කාලතුවක්කු ප්‍රහාරවලට ලක්වූ සාමාන්‍ය දෙමළ වැසියන් සැලකිය යුතු පිරිසක් ඒ වන විටත් මරණයට පත්ව තිබිණ. එමෙන්ම එල්.ටී.ටී.ඊ.ය විසින්  සාමාන්‍ය වැසියන් අතර සිට ඉන්දීය භටයන් වෙත එල්ල කරන ප්‍රහාරයන්ට මැදි වූ  අහිංසක ජනතාව මියගිය අවස්ථා බොහෝ වාර්තා විය. මෙවැනි සිදුවීමක් 1988  අගෝස්තු 02 දා යාපනය වැල්වැටිතුරේ පොළ භූමියෙන් වාර්තා විය. වැල්වැටිතුරේ  යනු කොටි නායක ප්‍රභාකරන්ගෙ උපන් ගමයි. වැල්වැටිතුරේ සතිපොළ යනු  ප්‍රදේශවාසීහු සැලකිය යුතු පිරිසක් ගැවසෙන ස්ථානයකි. එල්.ටී.ටී.ඊ. ය විසින්  ඉන්දීය හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා තෝරා ගනු ලැබුවේ පොළ  දිනයයි.

පොළ දිනයේදී පොළ අවට වෙළෙඳසල් හා ආරක්ෂිත ස්ථානවල ස්ථානගත වීමට  කොටි සාමාජිකයන් පෙරදින රාත්‍රි සිට පියවර ගෙන තිබුණි. සාමාන්‍ය වැසියන්  මෙන් ඇඳුම්වලින් සැරසී සිටි කොටි සාමාජිකයන් දුටු පමණින් වෙන් කර  හඳුනාගැනීමට නොහැකි ආකාරයට සිටියෝය.

අගෝස්තු 02 දා පෙරවරු 10.00ට  පමණ කොටි ත්‍රස්තවාදීන් විසින් එක්වරම ඉන්දීය භට පිරිස් වෙත ප්‍රහාර එල්ල  කෙරණි. අනපේක්ෂිතව එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය භටයන් 08 දෙනකු මරණයට පත්ව  තිබිණ. ඉන්දීය භටයන් සුපුරුදු ලෙස කිසිදු ඉලක්කයක් නොමැතිව හතර අතට වෙඩි  තබා තිබුණි. ප්‍රදේශවාසීහු පවසන පරිදි ඉන්දීය භටයන් විසින් ළමුන් හා  කාන්තාවන්ද ඉලක්ක කර වෙඩි තබා තිබුණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය  වැසියන් 24 දෙනකු මරණයට පත්ව තවත් 50කට වැඩි පිරිසක් මිය යාමයි.

මෙම  සිදුවීම්වලදී පැහැදිලි වූයේ එල්.ටී.ටී.ඊ.යට හෝ ඉන්දීය හමුදාවට සාමාන්‍ය  වැසියන් පිළිබඳ වගකීමක් නොවූ බවයි. විශේෂයෙන්ම සම්මත යුද වැදීම්වලට හුරුව  සිටි ඉන්දීය භටයන් ගරිල්ලා ප්‍රහාරවලදී විශාල වශයෙන් පසුබෑවේය. එමෙන්ම  සාමාන්‍ය වැසියන් අතර රැඳී සිටි කොටි සාමාජිකයන් හඳුනා ගැනීමේදී ඉන්දීය  භටයන් සිටියේ ශ්‍රී ලංකා හමුදාවට වඩා ගව් ගාණක් පසුපසිනි. ඒ නිසා ඉන්දීය  හමුදාව අතින් සාමාන්‍ය ජනතාවට බොහෝ අඩන්තේට්ටම් සිදුවිය. එහි අවසන්  ප්‍රතිඵලය වූයේ උතුරේ දෙමළ ජනතාවට ඉන්දීය භටයන් කෙරෙහි වෛරයක් ඇති වීමයි.  එම වෛරය නිසා ඉන්දීය භටයන්ට එරෙහිව ප්‍රහාර එල්ල කෙරෙන කොටි ත්‍රස්තවාදීන්ට  උතුරේ දෙමළ ජනතාව බොහෝ ආධාර උපකාර කර ඇත.

සනත් ප්‍රියන්ත