විශේෂාංග

ඉතිං ඊට පස්සෙ…..

‘‘ඉතින් ඊට පස්සේ’’ යි තව දුරටත් ඔහුගෙන් අසන්නට අපට නොහැකිය. ‘ඉතින් ඊට පස්සේ’ සමගින් රසික හදවත් දිනා දශක පහක් මුළුල්ලේ චිත‍්‍රකතා ලොව කිරුළ දරා සිටි බලන්ගොඩ සරත්මධු යළිත් අප හමුවට එන්නේ නැත. 69 වැනි වියේ පසු වූ ඔහු කලක සිට පැවති අසනීපයක් හේතුවෙන් ඊයේ සවස ජීවිතයෙන් සමුගෙන තිබුණි.

දොරවෙල බද්දලාය සරත් බැද්දගේ නමින් 1949 මැයි 18 වැනිදා බලන්ගොඩදී උපන් ඔහු, බලන්ගොඩ සරත්මධු වූයේ චිත‍්‍රකතා ලොවට පිවිසීමෙන් පසුවය. සහෝදර සහෝදරියන් හතර දෙනෙකු අතර තුන්වැනියාව ඉපැදුණු සරත්මධු, බලන්ගොඩ බුද්ධ ජයන්ති මහා විද්‍යාලයෙන්, බලන්ගොඩ මහා විද්‍යාලයෙන්, පැල්මඩුල්ල ගන්කන්ද මහා විද්‍යාලයෙන් සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේය.

කුඩා වියේ පටන් චිත‍්‍ර සහ සංගීත විෂයයනට සහජ හැකියාවක් තිබූ ඔහු ඒ කාලයේ චිත‍්‍ර කලාව වැඩිදියුණු කරගත්තේ සන්දේශය චිත‍්‍රපටයේ පෝස්ටර් දැන්වීම්වල සිටි කාන්ති ගුණතුංග හා ආනන්ද ජයරත්නගේ රුව ඉවරයක් නැතුව ඇඳීමෙනි.

අහුවෙන තැන, වෙලාවක් කලාවක් නැතිව චිත‍්‍ර ඇඳීම නිසා පාසලේ ගුරුවරුන්ගෙන් දඩුවම් පවා ලැබූ බලන්ගොඩ සරත්මධු උසස් පෙළ හදාරණ අවදියේ පත්තරවල පළවූ ලන්දේසි හටන, බිලි පූජාව, රිදී කුමාරි වැනි චිත‍්‍ර කතා කියවුවා පමණක් නොව ඒ කතා ඇඳි ධර්ම ශ‍්‍රී කල්දේරා මහතා ද හමු වී දැන හඳුනාගත්තේය. ඒ හඳුනාගැන්ම ඔහුගේ චිත‍්‍රකතා ගමන් මගේ හොඳ ආරම්භයක් සේම හැරවුම් ලක්ෂ්‍යය ද වූයේ්ය.

ධර්ම ශ‍්‍රී කල්දේරා මහතා චිත‍්‍රපටයකට කළ තිර රචනයක් වූ ‘රාජ උදහස’ සරත් බැද්දගේගේ චිත‍්‍ර කතාවක් ලෙස පළ වූයේ ඒ හඳුනාගැනීම නිසාය. මුල් කාලයේ සරත් බැද්දගේ නමින් කලා ලෝකයේ පෙනී සිටි ඔහු බලන්ගොඩ සරත්මධු නමින් චිත‍්‍රකතා ලොවට අවතීර්ණ වන්නේ 70 දශකයේ පැමිණි සතුට චිත‍්‍රකතා පත්තරයේ ‘නිව්රෝ’ චිත‍්‍රකතාවෙනි.

මේ අතරතුර කාලයේ 1973 සැප්තැම්බරයේ ගුරුපත්වීමක් ලබන සරත්මධු, බලන්ගොඩ ඉඹුල්පේ ශාරිපුත‍්‍ර මහා විද්‍යාලයෙන් සේවය ඇරඹුවේය. අනතුරුව බෙලිහුල් ඔය මහා විද්‍යාලයේ සහ ඉහළගලගම විද්‍යාලයේ සේවය කර වසර පහක සේවා කාලයකින් පසු ගුරු වෘත්තියට සමුදුන්නේ පූර්ණ කාලීනවම චිත‍්‍රකතා කලාවේ නියැළෙන්නටයි.

චිත‍්‍ර ශිල්පියකු ලෙස ගොඩනැගී සිටියද ඔහු, චිත‍්‍රකලා ලොවේ ඉහළම හිණිපෙත්තට පිවිසියේ 1974 වසරේ පැමිණි සිත්තර පත්තරය හරහාය. ඒ, ඉතින් ඊට පස්සේ හා යුනිකෝ චිත‍්‍ර කතා තුළිනි. ‘ඉතින් ඊට පස්සේ’ කතාවට ඔහු සිතුවම් කළ දේදුනු කැළුම් චරිත ජීවමාන චරිත තරමටම රසික හදවත්වල ජීවත් විය.

ඔහු දේදුනු සහ කැළුම් චරිතවල රූපවලට නගා ඇත්තේ අත හුරුවන්නට සිතුවම් කළ සංදේශය චිත‍්‍රපටයේ ර`ගපෑ කාන්ති ගුණතුංගගේ සහ ආනන්ද ජයරත්නගේ හැඩ රුවයි. යුනිකෝ ලෙස ඔහු ඇඳ ඇත්තේ ‘සිම්බෝ’ හින්දි චිත‍්‍රපටයේ වීරයාය.
ඉතින් ඊට පස්සෙ සම`ග ඇරඹූ ගමන වසර දෙකකින් අවසන් කර සිතුවම චිත‍්‍රකතා පත්තරයේ ප‍්‍රධාන කර්තෘ ලෙස සම්බන්ධ වන ඔහු එහි ‘සෙන්රෝ’ හා ‘ඉස්සරට වඩා’ කතාවලින් රසික හදවත් ග‍්‍රහණය කරගත්තේය.

අනතුරුව දසුන හා හිතවත චිත‍්‍රකතා පත්තරවලට සම්බන්ධ වූ ඔහු වසර කීපයකටම පසු සරත්මධු පබ්ලිකේෂන් නමින් තමාගේම පුවත්පත් ආයතනයක් ඇරඹීය. ඒ මගින් ‘සදා වාසනා’ හා ‘චූටි’ පත්තර ද්විත්ව ඇරඹූ නමුත් රූපවාහිනිය පැමිණීමත් සමග චිත‍්‍රකතාවට ඇතිවූ බලපෑම නිසා ඒ ව්‍යාපාරය අසාර්ථක විය. චිත‍්‍රකතා ක්ෂේත‍්‍රයට එල්ල වූ බලපෑම නිසා පසුගාමී වී සිටි සරත්මධු 1997 වසරේදී යළි කැමිලස් පෙරේරා මහතාගේ සත්සිරි පුවත්පතට සම්බන්ධ විය. එයද ජනප‍්‍රිය චිත‍්‍රකතා පත්තරයක් බවට පත්වූ අතර 2007 වසරේදී ඒ පත්තරයද වැසී ගියේය.

එයින් පසු චිත‍්‍රකතා පත්තර ලෝකයෙන් ඈත්වූ සරත්මධු කැසට් කවර නිර්මාණයේ පමණක් නියැළුණේය. ඒ අතර චිත‍්‍ර කතා පොත් කීපයක් පළ කළ ඔහු ඒකපුද්ගල චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් ද පැවැත්වීය. ඔහුගේ ඉතින් ඊට පස්සේ ඇසුරින් ටෙලි නාට්‍යයක්ද නිපදවිණි.

ප‍්‍රබල මාධ්‍යයක්ව තිබූ චිත‍්‍රකතාව පාඨකයින්ගෙන් ප‍්‍රතික්ෂේප වීම ගැන සරත්මධු සිටියේ දුකෙනි. එනමුදු චිත‍්‍ර කතාවෙන් රසික හදවත්හි රජවී සිටි කාලය ගැන සතුටෙන් සිටි ඔහු එදා මෙදාතුර ජීවිතයේ දුක සතුට එක සේ විඳ දරා ගනිමින් නොසැලී ජීවිතය දිනූවෙකි. භෞත චිකිත්සකවරියක වූ කාන්තිලතා සෝමපාල සමග විවාහ වී සිටි සරත්මධුට දරුවන් දෙදෙනෙක් වූහ. ඒ හිමේෂාන් සමාදර්ශි සහ තිසාරා අමාදර්ශනී ය. ජනප‍්‍රිය චිත‍්‍ර ශිල්පී සිනෙත් බැද්දගේ ඔහුගේ බාල සොයුරාය.
බලන්ගොඩ සරත්මධු ආදරණීය කලාකරුවාට නිවන් සුව පතමු.

බියන්කා නානායක්කාර