විශේෂාංග

ඉඟුරු කොත්තමල්ලි කොවිඩ් මඩින්න පෙරමුණ ගනීද

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වනවිට රට පුරාම පැතිර යමින් තිබේ. එමෙන්ම ලෝකයම කොරෝනා දෙවැනි රැල්ල බිළිගනිමින් සිටී. බටහිර වෛද්‍ය විද්‍යාවට නිශ්චිත ඖෂධයක් තවමත් සොයා ගැනීමට නොහැකි පසුබිමක ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම කොරෝනා ව්‍යාප්තිය යම් ප්‍රමාණයකින් අවමකර ගැනීමට ඉවහල්වන බව පැවැසේ. ප්‍රතිශක්තිකරණය පිළිබඳ කථිකාවේදී අපේ දේශීය වෛද්‍ය ක්‍රමය අමතක කළ නොහැක. මෙරට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඇති ඖෂධ මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයට ඉවහල් වන බව බටහිර වෛද්‍යවරු පවා අද පිළිගනිති. නමුත් ඒ පිළිබඳ අපේ අවධානය නිසි ලෙස යොමුවීද? කොරෝනා සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙන විසඳුම් මොනවාද? යන්න පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක වෛද්‍ය සුජීව විතානගේ සමග කළ සංවාදයයි මේ.

කොරෝනා වයිරසයට එරෙහිව දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ඇසුරේ මොන වගේ ප්‍රතිකර්මද මේ වෙද්දි හඳුනාගෙන තියෙන්නේ…

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට පාරම්පරික සිංහල වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, සිද්ධ සහ යුනානි කියන සියලු වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන ඒ වෛද්‍ය ක්‍රමවල තියෙන විශේෂඥ දැනුම උපයෝගී කරගෙන මෙවැනි රෝගී තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ගතහැකි ප්‍රතිකාර ක්‍රම, පියවර පිළිබඳ පුළුල්ව සාකච්ඡා කළා. එතනදි අපි කොරෝනා තත්ත්වයට මේ වෙලාවේ දිය හැකි හොඳම විසඳුම ලෙස දැක්කෙ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව ශරීරය තුළ වර්ධනය කිරීම. ඒ සඳහා දේශීය වෛද්‍ය ක්‍රමයේ විශේෂඥ දැනුම භාවිත කරල ඖෂධ හඳුන්වාදී තියෙනවා.

මොනවද ඒ…?

◊‘සුවධරණී’ තමයි එහි ආරම්භය. අපේ දේශීය ඖෂධවලට පුළුවන් ස්වභාවිකවම අපේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන්න. ඒ ඖෂධ වර්ග කොයි තරම් විද්‍යාත්මකද කියල අද වෙද්දී හොයාගෙන තියෙනවා. වෙනිවැල් ගත්තොත් ප්‍රතිජීවක ගුණය වගේම අක්මාවට ඉතාම හිතකර ඖෂධයක්. හුඟක් වයිරස් රෝගවලදි ශරීරයේ අවයවවලින් වැඩිම බලපෑමක් වෙන්නෙ අක්මාවට. අක්මාව ආරක්ෂා කර ගැනීම මගින් අපේ ශරීරයේ සියලු ක්‍රියාවලීන් මනාව පවත්වාගන්න පුළුවන්. කොත්තමල්ලි ගත්තොත් ඒක බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත එකක්. ඒ ඖෂධත් අරත්ත, ඉඟුරු යම් අනුපාතයකට මිශ්‍ර කරපු ප්‍රතිශක්තිජනක ඖෂධයක් තමයි ‘සුවධරණී’ කියන්නෙ. ඒක සියලුදෙනාටම පාවිච්චි කරන්න පුළුවන් ඖෂධයක්. මේ ඖෂධයෙන් කරන්නෙ ශ්වසන රෝග අපේ ශරීරය තුළ ඇතිවීමට තියෙන පදනම බිඳ දැමීම.

මේ කොරෝනා වයිරස තත්ත්වය තුළදී වැඩිපුරම ඉස්මතුවෙන්නෙ බටහිර වෛද්‍ය මතය. දේශීය වෛද්‍ය මතයක් ඉස්මතු වුණත් ඒක ප්‍රබල ලෙස සමාජගත කරන්න එම වෛද්‍යවරු සමත්කම් දක්වන්නෙ නෑ. ඇයි එහෙම වෙලා තියෙන්නෙ…?

යටත්විජිත යුගයෙන් පස්සෙ බටහිර ගැති මානසිකත්වයකින් තමයි අපි කටයුතු කරන්නෙ. බටහිර චින්තනයට ගැතිවුණු ජනසමාජයක් බිහිවෙලා තියෙද්දි හෙළ වෙදකම, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වළපල්ලට යෑම වළක්වන්න බෑ. මොකද මේව අවිද්‍යාත්මකයි කියන කාරණා මේ බටහිර චින්තනය මගින් අපේ ඔළුවලට දාල තියෙනව. ඒ චින්තනය පරම්පරාවෙන් පරම්පරාවට යද්දි අපේ දේවල් පිළිබඳ තියෙන ඇගයීම ඛණ්ඩනයට ලක්වෙලා තියෙනව. ඒක ප්‍රබල ලෙස බටහිර වෛද්‍ය මතය මේ සමාජය වැලඳ ගැනීමට හේතුවක් වෙලා තියෙනව.

ඒත් එහෙම ගැති නොවුණු පිරිසක් නිසා තමයි අපට මේ තරමින්වත් දේශීය වෛද්‍ය ක්‍රමය ඉතුරු වෙලා තියෙන්නෙ. ඒ ජාන පරම්පරාව තමයි මේ හෙළ වෙදකම මේවෙනකම් රැකගෙන ආවෙ.

අපි දකිනව අද බටහිර වෛද්‍ය ක්‍රමයට ඒ තුළින්ම යම් යම් විරෝධතා මතුවී තියෙනව. බටහිර වෛද්‍යවරුම අපේ සිංහල වෙදකමේ අගය ගැන ප්‍රසිද්ධියෙ කියනව. ඉංග්‍රීසි බෙහෙත් නිසා කොච්චර අතුරු ආබාධ ඇතිවෙලා තියෙනවද? එක ලෙඩකට බෙහෙත් කරද්දි තව ලෙඩ කොයි තරම් මතුවෙලා තියෙනවද? රෝග නැතිවෙලා තියෙනවද? වගේ කාරණා මුල්කරගෙන අද සමාජය තුළ කථිකාවක් ඇතිවෙලා තියෙනව. බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන මේ දුර්වලතා ගැන අද බොහෝදෙනා කතාකරනව. එවැනි තැනකදි මේ හෙළ වෙදකමේ අගය වඩ වඩා ඉස්මතුවන තත්ත්වයක් තමයි තියෙන්නෙ. අපිට නොපෙනුනාට දේශීය වෛද්‍ය ක්‍රම ගැන බටහිර සමාජය අද ඉහළින් කතා කරනව. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නව අද වෙනත් දේශයකින් පැමිණි වෛද්‍ය ක්‍රමයකට වඩා ඒ දේශයේ උපන් වෛද්‍ය ක්‍රමවල තියෙන වටිනාකම් සහ හැකියාව ගැන.

දේශීය වෛද්‍ය ක්‍රමයත් සමග ඇත්වැල් බැඳගෙන කොරෝනා උවදුරට මුහුණදිය යුතු බවට පසුගිය සමයේ බටහිර වෛද්‍යවරුන් අතරින් කථිකාවක් මතුවුණා. නමුත් එය කතාවකට පමණක් සීමාවෙලා තියෙන්නෙ ඇයි?

කොරෝනා රෝගය පසුගිය පෙබරවාරි මාසයේ අපේ රටේ මතුවෙද්දි අපි ඉල්ලීම් කළා දේශීය වෛද්‍යවරුන්ටත් මේ රෝගය මර්දනයට මැදිහත්වෙන්න ඉඩ දෙන්න කියල. මේ රෝගයේ භාවිත වන නිරෝධායනය කියන එක අපට අලුත් දෙයක් නෙමේ. අපේ ගෙදර කාටහරි පැපොල හැදෙද්දි ඒ හැදුන කෙනා කාමරයකට දාල, වැටේ කොහොඹ අත්තක් එල්ලල, කාමරය ඇතුළෙ කොහොඹ කොළ දාල නිරෝධායනය කළා. අපි හැමෝටම ඒ අත්දැකීම් තියෙනව. අපි සමාජයට පෙන්නුවා ගෙදර බෝවන රෝගයක් තියෙන කෙනෙක් ඉන්නව කියල. ඒ නිසා අවට ප්‍රදේශයම ලොක්ඩවුන් වුණා. ගෙදර මිනිස්සු ස්වයං නිරෝධායනයට ලක්වුණා. අම්ම ආරක්ෂාවට ළඟ හිටිය. කපු මහත්තය ඇවිත් නූලක් දාල මානසික ශක්තිය ඇති කළා. මේක දියුණු චින්තනයක් එක්ක තිබුණු නිරෝධායනයක්. එහෙම කළේ අපේ හෙළ වෙදකම නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රම තුළ. ගමේ වෙද මහත්තය තමයි මේවට නියෝග දුන්නෙ. එවැනි තත්ත්වයක අපි හිටියෙ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ ඉන්නව විශ්වවිද්‍යාල හතරකින් පිටවන ආයුර්වේද වෛද්‍යවරු. වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් තමන්ගෙ වෛද්‍ය ක්‍රමය හදාරපු, බටහිර වෛද්‍ය ක්‍රමය ගැන හොඳින් අධ්‍යයනය කරපු ජාත්‍යන්තර අත්දැකීම් තියෙන විශේෂඥ වෛද්‍යවරු අටදාහක් අපට ඉන්නව. පාරම්පරිකව ලැබුණු මහා දැනුමකින් යුතු පාරම්පරික වෛද්‍යවරු විසිදෙදහක් විතර ඉන්නව. මේ සියලු දෙනාම යම්කිසි තැනකදි එකට එකතු කරගෙන මේ කොරෝනා මඩින කටයුත්තට සක්‍රීයව දායක කරගන්න තිබුණ. මොකද බටහිර වෛද්‍ය ක්‍රමය තුළදි කොරෝනා හොඳ වෙන්න කියල බෙහෙත් දෙන්නෙ නෑනෙ. නිරෝධායනය කරල බලන් ඉන්නව මොනවද වෙන්නෙ කියල.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර මීට පෙර හමුවුනු පොකුරුවලට වඩා සංකීර්ණයි. ඒ නිසා මේක රට පුරා ව්‍යාප්ත වෙලා රෝගීන් වැඩිවුණොත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගිහින් ඉඩකඩ මදිවෙනව. එහෙම වුණොත් වෙන්නෙ රෝගීන් නිවසෙම තියාගෙන ප්‍රතිකාර කරන්න. එතනදි සෞඛ්‍ය අංශ මොනව කිව්වත් දේශීය වෛද්‍ය ක්‍රමයේ පිහිට අවශ්‍ය වෙනව. ඒ නිසා ඇමරිකාවේ, ඉතාලියෙදි වගේ කොරෝනා වසංගතයක් වීමට පෙර ආයුර්වේද වෛද්‍යවරයා මේකට සම්බන්ධ කරගන්න කියන එකයි අපි කියන්නෙ. අපිට පුළුවන් ඉතා සක්‍රීය ලෙස මේකට දායකවෙලා එකට එකතුවෙලා කොරෝනා පාලනයට සම්බන්ධවෙන්න.

අපේ පාරම්පරික හෙළ වෙදකම නූතන සමාජය තුළ ඉස්මතු වෙන්නෙ නැත්තෙ එම ප්‍රතිකාර පර්‌යේෂණාගාරවලදී තහවුරු කර නැති නිසාද? නැතිනම් බටහිර වෛද්‍ය ක්‍රමය ඉස්මතුවුණු සමාජයකට හෙළ වෙදකමේ වටිනාකම් නොදැනෙන නිසාද?

අද හැම දේම පිළිගන්නෙ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ විද්‍යාගාරවල ඔප්පු කරල පෙන්නුවොත් විතරයි. හැබැයි අපේ දක්ෂ පාරම්පරික හෙළ වෛද්‍යවරු මේ කිසිම දෙයක් නැතිව බොහෝ රෝග බොහොම දක්ෂ විදිහට නිට්ටාවටම සුවපත් කරනව. හෙළ වෛද්‍ය ක්‍රමයෙ පුද්ගලය මත තමයි ඖෂධ නියම කරන්නෙ. එතනදි පුද්ගලයගෙ විශේෂතා මත ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරය දක්ෂ වෙනව. ඒත් බටහිර ක්‍රමය තුළ යම් රෝගයක් පුද්ගලයන් කීප දෙනෙක්ට වැලඳුනත් තියෙන්නෙ එකම බෙහෙත් වට්ටෝරුව. සිංහල වෛද්‍ය ක්‍රමය තුළ එකම ඖෂධය පුද්ගලයගෙන් පුද්ගලය සහ රෝගය අනුව විවිධ අනුපාත අනුව තමයි භාවිත කරන්නෙ. ඒක තීරණය කරන්නෙ වෛද්‍යවරය. ඒ නිසා අපේ හෙළ වෛද්‍ය ක්‍රමය ගැන පරීක්ෂණ නිරීක්ෂණ මත නිගමන ගැනීමට යාම ප්‍රායෝගික නෑ. පර්‌යේෂණාගාරවල ඔප්පුකරන වෛද්‍ය ක්‍රමයක් අපේ වෛද්‍ය ක්‍රමය තුළ නෑ. ඒ වුණත් අද වෙද්දි අපේ ඖෂධ පර්‌යේෂණාගාරවලදි ඔප්පුවෙමින් තියෙනව යම් යම් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ බව.

මේ දිනවල සමාජ මාධ්‍යවලත් විවිධ අත්බෙහෙත් පිළිබඳ සඳහන් වෙනවා. විශේෂයෙන්ම පාරම්පරික සිංහල බෙහෙත් භාවිතයෙන් සකස් කළ ඖෂධ ගැන තමයි ඒවායේ සඳහන් වෙන්නේ…

ඔව්, අපි දකිනව දේශීය යැයි පවසන විවිධ වෛද්‍යවරු විවිධ ප්‍රකාශ, විවිධ බෙහෙත් වට්ටෝරු නිකුත් කර තියෙනවා. හැබැයි ඒවා වෛද්‍ය විද්‍යානුකූලව, නීත්‍යානුකූලව පිළිගත් බවක් අමාත්‍යාංශය විදිහට කොතැනකවත් සඳහන් කර නෑ. ඒ වගේම දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ගැන මේ කිසිම දෙයක් දන්නෙ නැති පිරිසක් ‘කොරෝනා හදාගන්න මම හොඳ කරන්නම්’ කියමින් ජනතාව මුළාවට පත්කිරීම දේශීය වෛද්‍ය ක්‍රමය වළපල්ලට යැවීමේ වෑයමක්. වෛද්‍ය සදාචාරයට අනුව එහෙම ප්‍රකාශ කරන්න බෑ. කාටවත් කියන්න බෑ අහවල් ලෙඩේ මට විතරයි සනීප කරන්න පුළුවන් කියල. සමාජ මාධ්‍ය තුළ මේ විදිහට හෙළ වෙදකම අවභාවිත වෙනවා අපි නිතර නිතර දකිනවා. කොරෝනා වයිරසය ගැන කිසි දෙයක් නොදන්න, දේශීය වෛද්‍ය ක්‍රම ගැන කිසිම දැනුමක් නැති ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ හෙළ වෙදකම ගැන සමාජය තුළ තියෙන විශ්වාසය බිඳ වැටීමට හේතුවක් වෙලා තියෙනවා. විෂය හොඳින් ප්‍රගුණ කරපු දේශීය වෛද්‍යවරුන් අතින් කිසිම වැරැද්දක් වෙන්නෙ නෑ.

එවැනි හොර වෙද්දු වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මොන වගේ ක්‍රියාමාර්ගයන්ද අරන් තියෙන්නේ…

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එවැනි වෛද්‍යවරු ලියාපදිංචි වෛද්‍යවරුද කියල සොයාබලා ඔවුන්ට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා. ජනතාව මුළාවට පත්කරන පුද්ගලයන් නියාමනය කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ පූර්ණ බලය දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට තියෙනවා.

පාරම්පරික වෛද්‍යවරයෙක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තුළ ලියාපදිංචි කිරීමේදී මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්නෙ…?

මේ ලියාපදිංචි කිරීම විවිධ කාල සීමාවලදී විවිධාකාරයෙන් සිද්ධවෙලා තියෙනවා. ඒක නිසි අධ්‍යයනයකින් සිදුවුණ අවස්ථා වගේම නොවුණු අවස්ථාත් තියෙනවා. ඒ කියන්නෙ දේශපාලන හිතවත්කම්, පුද්ගලික දැන හැඳුනුම්කම් මත මේ ලියාපදිංචි වීම් සිදුවුණු අවස්ථාත් තියෙනවා. ඒ නිසා කිසිම පදනමක් නැතිව ලියාපදිංචිය ගත්ත වෛද්‍යවරුන් ඉන්නවා. නමුත් අද වෙද්දී මේ ලියාපදිංචිය වෙනුවෙන් නිශ්චිත ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. එතනදී පාරම්පරික තත්ත්වය හරියටම තහවුරු කරගෙන තමයි ඒ ලියාපදිංචිය කරන්නෙ. එතනදි ඔහු ඇත්තටම පාරම්පරික වෛද්‍යවරයෙක්ද, ඔහු වෛද්‍යකර්මයේ යෙදෙනවාද, වෛද්‍යකර්මයේ යෙදෙන ප්‍රදේශයේ ජනතාවගෙන්, ග්‍රාමසේවා නිලධාරියාගෙන්, ප්‍රාදේශීය ලේකම්ගෙන්, පළාත් ආයුර්වේද කොමසාරිස්ගෙන් හරියටම තොරතුරු අරගෙන ඒවා පදනම් කරගෙන තමයි ලියාපදිංචිය දෙන්නෙ. ඒ ලියාපදිංචිය දීමෙදි ලිඛිත හා වාචික පරීක්ෂණ පවත්වනව.

ඒ පරීක්ෂණ සම්බන්ධවත් පසුගිය සමයේ යම් යම් ගැටලු පැනනැගී තිබුණ. මොකද සමහර පාරම්පරික වෛද්‍යවරු එක් විෂය පථයකට පමණයි පාරම්පරික වෛද්‍යවරු බවට පත්වී තියෙන්නේ. උදාහරණයකට සමහර විට ඔහු කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙක් විතරයි. එවැනි අයට සර්වාංග ලියාපදිංචියක් ලැබෙන්නෙ නෑ. ඔහු විශේෂ වෙන්නෙ කැඩුම් බිඳුම් වෛද්‍යකර්මයට විතරයි. ඒ නිසා එවැනි අයගෙ දැනුම් පද්ධතිය පරීක්ෂණයට ලක්කරන්න ඕන ඔහුගෙ විෂය පථයට අනුව. නමුත් එවැනි තත්ත්වයන්ට පටහැනි දේවල් අතීතයේ සිදුවුණු අවස්ථාත් තිබුණ.

‘දේශීය වෛද්‍ය ක්‍රමය’ කියන එක ගැන විවිධ විවාදයන් තියෙනව. දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නෙ අපේ පාරම්පරික හෙළ වෙදකමද? නැත්නම් ඉන්දියාවෙන් අපට ලැබුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමයද? නැත්නම් මේ හැමදේකම මිශ්‍රණයක්ද?

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ මේ රට ඇතුළෙ තියෙන සියලු වෛද්‍ය ක්‍රමයන් නියෝජනය වෙනවා. බටහිර වෛද්‍ය ක්‍රමය හැරෙන්න. ඉන්දියාව තුළ ගොඩනැගුණු ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අද වෙද්දී ලංකාව තුළ ස්ථාපිත වුණු වෛද්‍ය ක්‍රමයක්. ඒ ආභාෂය අපේ රට තුළ තියෙන බොහෝ වෛද්‍ය ක්‍රමවලට අනුගත වෙලා තියෙනවා. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමයට මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් ඇතුළත් වෙනවා.

අනෙක තමයි පාරම්පරික හෙළ වෛද්‍ය ක්‍රමය. ඒක අපට ආවේණික අවුරුදු දහස් ගාණක් තිස්සේ පවත්වාගෙන ආපු වෛද්‍ය ක්‍රමයක්. දකුණු ඉන්දියානු දෙමළ ජනතාව ඇසුරේ ක්‍රියාත්මක වෛද්‍ය ක්‍රමය තමයි සිද්ධ. අපටත් ඒ ආභාෂය ලැබිල තියෙනවා. යාපනයෙ සිද්ධ වෛද්‍ය පීඨයක් තියෙනව. යුනානි කියන්නෙ මැදපෙරදිග කලාපයේ ඇතිවුණ වෛද්‍ය ක්‍රමයක්. ඒක මුස්ලිම් ජනතාව හරහා අපට සම්ප්‍රේෂණවෙලා තියෙනව. ඒ වගෙ අපේ රට තුළ තියෙන මේ හැම වෛද්‍ය ක්‍රමයක්ම අද වෙද්දී දේශීය වෛද්‍ය ක්‍රමයට තමයි අයිති වෙන්නෙ.

වෛද්‍ය සුජීව විතානගේ

විශ්වවිද්‍යාල හතරකින් පිටවන වෛද්‍යවරු වගේම, පාරම්පරිකව මහා දැනුමක් තියෙන හෙළ වෛද්‍යවරු විසිදෙදහක් අපට ඉන්නවා

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අද පිළිගන්නව දේශීය වෛද්‍ය ක්‍රමවල වටිනාකම

නිරෝධායනය, ලොක්ඩවුන්

අපිට අලුත් දේවල් නෙමේ