විශේෂාංග

ඈවරයි කීවාට ඈවර නැති ඡන්ද පෝස්ටර් යුද්දේ

මැතිවරණ කොමිසම පෝස්ටර් ගැසීම නීති විරෝධී යැයි කොතරම් කීවත් නැවත පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී තිබේ. ටීවී එකේ දැන්වීම් දැම්මත් රේඩියෝ එකේ දැන්වීම් දැම්මත් FB එකේ දැන්වීම් දැම්මත් අපේ ජනතාවගෙන් ඈත් නොවුණ ප්‍රචාරක මාධ්‍යයක් නම් පෝස්ටරයයි. ගමක, ටවුමක ප්‍රශ්නයක් ඇති වූ විට යම් පුද්ගලයකුට ගහන්නේ ‘කැලෑ පත්තර’ ය. ඒවාත් පෝස්ටර් ලෙස ඇලෙව්වත් ඒවාට ‘කැලෑ පෝස්ටර්’ කියන්නේ නැත.

රේඩියෝ ස්පොට් එකේ, ෆිෆ්ටීන් සෙකන්ඩ්ස් ඇඩ් එකේ, ඒත් නැත්නම් පත්තරේක දැන්වීමක් දානවාට වඩා ඉතා ලාභදායීම ප්‍රචාරක ක්‍රමය පෝස්ටරයයි. ලංකාවේ ප්‍රාදේශීය පුවත්පත් නැති නිසා ඡන්ද අපේක්ෂකයකුට නිශ්චිතවම තම ඡන්දදායකයන්ට ඇමතිය හැකි ප්‍රබලම මාධ්‍යය වී ඇත්තේ ඡන්ද පෝස්ටරයයි.

ප්‍රේමදාස යුගයේ මහියංගණයේ උදාගමක් විවෘත කරන විට ලංකාව පුරාත්, පංචිකාවත්තේත්, පිටකොටුවේත් පෝස්ටර් දැකගත හැකි විය. මීට එරෙහිව කතුවැකියක් ලියූ සිළුමිණ හිටපු කර්තෘ ඩී.එෆ්. කාරියකරවන ප්‍රේමදාසගේ දැඩි උදහසට ලක් විය.

‘‘ලංකාවේ උන්ට උදේට කාපු දේ දවල්ට මතක නෑ. දවල්ට කාපු දේ රෑට මතක නෑ. ඒ හින්දා අපි කරන සේවය ගැන පෝස්ටර් ගැහුවට කිසිම වරදක් නෑ,’’ යැයි ප්‍රේමදාස එක් කතාවක පවසා ඇත.

මේ ගහන ඡන්ද පෝස්ටර් ඇලවීමත් එසේ මෙසේ කටයුත්තක් නොවේ. මීට කලකට ඉහත නම් ලංකාවේ පෝස්ටර් ගැසීමට තිබුණේ ‘වල් බූරු’ නිදහසකි. පාලම්වල, මාර්ග සංඥා කණු වල මෙන්ම රෝහල්වල නාමපුවරුවල පවා පෝස්ටර් අලවන යුගයක් මෙරට පැවැති බව අද බොහෝ දෙනාට මතක නැත. ජේවීපී භීෂණ යුගයේ ජේවීපීයෙන් එක් පෝස්ටරයක් අලවා යන විට රාජ්‍ය අනුග්‍රහයලත් අවි ගත් කණ්ඩායම් එය වසා තවත් පෝස්ටරයක් ඇලවීම නිසා තාප්පයේ හිමිකරුට දෙපැත්තෙන්ම මරණ තර්ජනවලට මුහුණ දෙන්නට සිදු විය. ඒ නිසා පාර අයිනේ තිබූ තාප්ප කඩා ජීවිතය බේරාගත් පුද්ගලයන් ගැන එවකට පැවැති හොංකොංහි Asia Week නම් සඟරාවේ ලිපියක් පළ වී තිබුණි. මේ එක් තාප්පයක පෝස්ටර් ඇලවීම නවත්වන්නට බැරි තැන එහි හිමිකරුවා මෙවැනි දැන්වීමක් ලියා එල්ලා තිබුණි. ‘පෝස්ටර් උඹේ වුණාට තාප්පේ මගේ – ඒ නිසා දැන්වීම් ඇලවීමෙන් වළකින්න!’

දැන් අලවන ඡන්ද පෝස්ටර්වලට ඇති ප්‍රධාන බාධකය නම් රෑට ඇලවූ පෝස්ටරය උදේ වන විට ඊට උඩින් තුන් හතර දෙනෙක් පෝස්ටර් අලවා තිබීමය. පාරේ යන අය විනෝදයට මෙන් පෝස්ටර් ගැලවීම ද සිදු වේ. පෝස්ටර් ගලවන පුද්ගලයන්ට නියම දඬුවමක් පෝස්ටර් අලවන්නන් පසුව සොයාගන්නා ලදී. මේ පෝස්ටර් අලවන පාප්පවලට ටියුබ්ලයිට් පවුඩර් වන තරමට කුඩු කර දැමීම එම ප්‍රතිකර්මයයි. ටියුබ්ලයිට්වල කුඩු දැමූ පාප්පවලින් ඇලවූ පෝස්ටරයක් ගලවන්නට ගිය විට අත තුවාල වීම නිසා කවුරුත් ඒවා ගලවන්නට යන්නේ නැත. ඒත් කොළඹ නගර සභාවේ ‘පෝස්ටර් මරුවා’ ලොරියට ඒ පෝස්ටර් ගැලවීම කජු කනවා වැනි වැඩකි. නගර සභා ලොරියේ ඇත්තේ ජෙනරේටරයක් හා හයි​ප්‍රෙෂර් ගන් එකක් නොහොත් වාහන යට සර්විස් කරන අධිවේගී ජල විදිනයකි. මෙයට ‘වේග වතුරෙන් සේදීම’ කියා ද කියනු ලැබේ. මේ හයිප්‍රෙෂර් ගන් එකේ වතුර පාර කොතරම් සැරදැයි කිවහොත් පෝස්ටරය ඇලවූ බිත්තිය කපරාදුව හාරාගෙන යන්නට තරම් එය සමත්ය.

පෝස්ටර්-පෝස්ටර් කීවාට හැම මුද්‍රණාලයකම පෝස්ටර් ගහන්නේ නැත. මුද්‍රණාල හිමියන්ට පෝස්ටර් ගැසීම ඔය කියන තරම් සුන්දර කටයුත්තක් නොවේ. අසීමිතව ඡන්ද පෝස්ටර් මුද්‍රණය කොට ණයට දී ඒවා ඡන්දෙන් පසු එකතු කරගත නොහැකිව වසා දැමූ මුද්‍රණාල මෙරට ඕනෑතරම් ඇත. හැම මුද්‍රණාලයකම පෝස්ටර් නොගහන්නේ එය අමුතු ආට් එකක් නිසාය. ඊටත් වඩා පෝස්ටරයට එරෙහිව කිසිවකු නඩු දැම්මොත් උසාවි ගානේ යාමට සිදුවීම නිසාය. ජේ.ආර්. යුගයේ ඡන්ද පෝස්ටරයක් නිසා හිරබත් කෑ පුද්ගලයකු නම් දෙල්කඳ ‘දීපානි’ මුද්‍රණාලයේ අධිපති අසෝක බටදුවආරච්චිය. බටදුවආරච්චි ගැහුවේ සිරිමාගේ පෝස්ටරයකි. ඔහුව මුද්‍රණාල ආඥාපනත හා මැතිවරණ නීති කඩකිරීම ගැන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදී. මීට වසර කිහිපයකට පෙර ඔහුගේ සුවදුක් බලන්නට ගිය විට මම ඔහුගෙන් එම සිද්ධිය ගැන විමසුවෙමි. ඔහු ලියූ නවකතාවක් වූ ‘සිළු නිවුණු මැටි පහන්’ කෘතියක් පිළිගන්වමින් ඔහු එම සිදුවීම මතක් කරන්නට විය.

‘‘මං හිරේ විඳපු දුක දැක්ක නම් කිසිම ප්‍රෙස්කාරයෙක් කීයකටවත් ඡන්ද පෝස්ටර් ගහන්නේ නෑ. ඔය නීතිය මහා බලගතු නීතියක්. ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීම තහනම් කියලා මුද්‍රණය කළාට නීතියෙන් බේරෙන්න බෑ!’’

අප අද දකින පෝස්ටර් සියල්ල ලංකාවේ මුද්‍රණය කළ ඒවා නොවේ. ඇතැම් පෝස්ටර් මුද්‍රණය කරන්නේ ඉන්දියාවේ සිවකාසි නගරයේය. සිවකාසි නගරයේ ඇති දැවැන්තම පෝස්ටර් මුද්‍රණ ආයතනය ‘සැපයර් ලිතෝග්‍රැපර්’ ය. එම්.ජී. රාමචන්ද්‍රන්, සිවාජි ගනේෂන්, කරුණා නිදි ආදීන්ගේ සිනමා පෝස්ටර් මෙන්ම ඡන්ද පෝස්ටර් ද මුද්‍රණය කළේ මේ මුද්‍රණාලයේය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවරගිර චිත්‍රපටයේ පෝස්ටර් සියල්ල නිර්මාණය කළේ මා විසිනි. එම නිසා මේ දැවැන්ත මුද්‍රණාලයට යන්නට මට ද අවස්ථාව උදා විය. ලංකාවේ මුද්‍රණාලයකට වඩා මෙහි ඇති විශේෂත්වය මුද්‍රණ තීන්ත, කඩදාසි ආදී සියල්ල එම දැවැන්ත මුද්‍රණාලය විසින්ම නිෂ්පාදනය කිරීමයි.

ඡන්ද පෝස්ටරයක් අලවලා යැයි සරලව කීවත් ඒ පිටුපස දැවැන්ත පිරිසක් ජීවත් වන බව ඔබ නොදන්නවා විය හැකිය. විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව ජීවිකාව ලෙස පෝස්ටර් ඇලවීමෙන් බඩවියත සොයා ගන්නා පිරිසක් ද සිටින බව පැවසුවොත් ඔබ මවිතයට පත් විය හැකිය. පෝස්ටර් ඇලවිය හැකි කොළඹ තැන් ගැන ඔවුනට ඇත්තේ ප්‍රායෝගික බුද්ධියකි. ගාලු පාරේ, දෙහිවල තෙක් පෝස්ටර් ඇලවිය හැකි ප්‍රමාණය, හයිලෙවල් පාරේ හෝමාගම තෙක් පෝස්ටර් ඇලවිය හැකි ප්‍රමාණය, නුවර පාරේ නිට්ටඹුව තෙක් ඇලවිය හැකි පෝස්ටර් ගැන ආදී සියලු දත්ත ඔවුන් සතුය. සිංගර් එකේ ගේල් එකක්, වෙන්දේසි පෝස්ටරයක්, කොළඹ අලවනවා නම් ඊට අදාළ ප්‍රදේශයේ ඇලවිය හැකි පෝස්ටර් ගාන ඇස් වසාගෙන කියන්නට තරම් මේ පෝස්ටර් අලවන්නන් සූරයින්ය.

ලංකාවේ බොහෝ ඡන්ද පෝස්ටර් මුද්‍රණය කරන්නේ අඟල් 18ක් උස 24ක් පළල කොළයකය. ඔය දකින දැවැන්ත පෝස්ටරයේ උස අඟල් 36කි. පළල අඟල් 24කි. ඒ ලංකාවේ ආනයනය කරන විශාලතම පෝස්ටර් පේපර් කඩදාසියේ දිග පළල ය. ලංකාව ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමය ආක්‍රමණය කරන විට මෙම පෝස්ටර් කඩදාසි ආනයනය කරන ලද්දේ ජපානයේ සිටයි. ඒත් ඉන් පසු ඊට අඩු මුදලට ඉන්දියාවේ බද්‍රාචලන් වැනි සමාගම් ඒවා නිෂ්පාදනය කිරීම නිසා ඡන්දයකදී මේ කඩදාසිවලට වැය කරන කෝටි ගණනක මුදල ඇදී ගියේ ඉන්දියාවටය. ඒත් දැන් මේ සියලු මුදල් ඇදී යන්නේ චීනයටය. මුද්‍රණ තහඩු නොහොත් ප්ලේට්, මුද්‍රණ තීන්ත හා කඩදාසි සියල්ල දැන් චීන ආක්‍රමණයකට නතු වී හමාරය. පෝස්ටරය අලවන පාන් පිටි එන්නේ ඇමෙරිකාවෙනි. අපේ කවුරුත් දේශීය දේ කියා මඤ්ඤොක්කා පිටිවලින් පෝස්ටර් අලවන්නට ගියේ නැත. වරක් ලංකාවේ අභ්‍යාස පොත් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වුණේ එක්සයිස් පොත් ගන්නට ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ නෂ්පාදනය කළ ‘ක්‍රීම්වොව්‘ කඩදාසිවල ඡන්ද අපේක්ෂකයින් පෝස්ටර් ගැසීම නිසා වෙළෙඳපොළේ කඩදාසි හිඟයක් ඇති වූ නිසාය.

මේ පාර අයිනේ අලවන අඟල් 18×24 ප්‍රමාණයේ පෝස්ටරයක මුද්‍රණ වියදම රු. 20කටත් වැඩි බව ඔබ නොදන්නවා විය හැකිය. එමෙන්ම දෙගුණයක් විශාල පෝස්ටරයක මුද්‍රණ වියදම රු. 30ටත් වැඩිය. මේ පෝස්ටරයක් ඇලවීමට අය කරන මුදල කොළඹ නගර සීමාවේ රු. 15ත් 25ත් අතර වේ. ඒත් ඒවා උඩින් තවත් අය නොඅලවන බවට ගැරන්ටියක් නැත. ඇලවූ පෝස්ටර් රැකබලා ගැනීම සර්විස් එක හෝ පෝස්ටරය වසා වෙනත් පෝස්ටරයක් ඇලවූ විට උදේ වන විට අලුතින් පෝස්ටරයක් ඇලවීම වෙනම කොන්ත්‍රාත් එකකි.

මෙරට ඡන්ද පෝස්ටර් ඒ සන්දියේ ඇලවුණේ රාත්‍රී යාමයේය. ඒත් උදේ බලන විට පෝස්ටරය හොයාගන්නවත් නැත. මේ නිසා දැන් පෝස්ටර් අලවන්නේ එළිය වැටුණ පසුවය. ඒත් උදේ හතට දකින්නට ඇති පෝස්ටරය දවල් වන විට දැක ගන්නට නැත. දවල්ට දකින පෝස්ටරය වැඩ ඇරී ගෙදර යන විට නැත.

අත්පිට පෝස්ටර් මුද්‍රණය කරන මුද්‍රණාල හිමියන් අතර සුප්‍රසිද්ධ කියමනක් ඇත. ‘ණයට ඡන්ද පෝස්ටර් ගැහුවොත් ඒ ණය පැරදුණත් ගන්න බෑ! දින්නත් ගන්න බෑ!’ ඒ කියමනයි. ඒ කියමන තුළ ඇත්තේ මහා කතාන්දරයකි. එහි පැරදුණත් ගන්න බෑ යන්නෙන් අදහස වන්නේ පරා​ජිත අපේක්ෂකයා ගැසූ පෝස්ටරයේ හිඟ මුදල් ඉල්ලූ විට පරාජයෙන් තමන්ට වුණ අලාභය ගැන අතොරක් නැතිව කියවීම හෝ අපේක්ෂකයා සොයා ගන්නටවත් නැතිව අතුරුදන් වීමය. දිනුවත් ගන්න බෑ කියන්නේ බලයට පත් වූ විට ඇමැති ධුරයක් ලැබුණොත් ජයග්‍රාහී අපේක්ෂකයා වටා ඉන්නා ආරක්ෂකයින් ඇමැතිතුමා හමුවීමට ඉඩ නොදෙන නිසාය. මේ මොනවා වුණත් උණ පුරුකේ දාලත් බල්ලගේ නැට්ටේ ඇද අරින්නට බෑ කීවාක් මෙන් මෙරට මැතිවරණයක දී ඡන්ද පෝස්ටර් මුද්‍රණය නම් මොන නීති දැම්මත් නැවැත්වූ ආණ්ඩුවක් නම් තවමත් බිහි වුණේ නැත.

වජිර ලියනගේ

ඡායාරූප- සමන් අබේසිරිවර්ධන