විශේෂාංග

ඇල්පිටිය මෙදා ඡන්දයෙන් ගොඩ යයිද

මේ රටේ දේශපාලනය ගැන ලොකුම උනන්දුවක් ඇත්තකුගේ මිස වෙනත් කිසිම කෙනකුට හැරී බැලීමටවත් තරම් වටිනාකමක් නොතිබුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය දැන් මුළු රටේම කොයි කාගේත් ඇල්ම බැල්ම වැටී ඇත්තක් වී තිබේ. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ. ඉතා උණුසුම් වී ඇති ජනාධිපතිවරණයට පෙර එන ජනාධිපතිවරණයේ ජය පරාජය උරගා බලන මැතිවරණයක් බවට ඇල්පිටිය පුංචි ඡන්දය පත්වී ඇති නිසාය. තවත් අයුරකින් කිවහොත් ජනාධිපතිවරණ පෙරහරේ කසකාරයා වී ඇත්තේ ඇල්පිටිය ඡන්දය වීම නිසාය.

මේ තාක් කාලයකට නොලද පහසුකම්, සමෘද්ධි දීමනා වැඩිහිටි දීමනා වැනි සිහින දැන් දැන් ඇල්පිටියේ අස්සක් මුල්ලක් නෑර විසිරෙමින් තිබේ.  පාරේ ගමන් කරන යාචකයාත් ඇල්පිටියේ පුංචි දේශපාලනඥයන්ගේ මිතුරෙක් බවට පත්ව සිටින්නේය.
ඉකුත් වසරේ මුල් භාගයේදීත් ඇල්පිටිය ජනතාව මේ අත්දැකීම ලැබූ නමුත් දිගින් දිගටම ඒ වාසනාව ලැබීමට නොහැකි වූයේ ඡන්දය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවීම නිසාය.  සෙසු පළාත් පාලන ආයතනවල ඡන්දය පසුගිය වසරේ පෙබරවාරි මස 10 වැනිදා පැවැති නමුදු ඇල්පිටිය ඡන්දය පැවැත්වීම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවූයේ ඡන්දයකට ඉදිරිපත්ව සිටි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිසාය. ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ එම පෙත්සම ගොනු කළේ ඡන්දය සඳහා තමන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ප්‍රතික්ෂේප කිරීම නිසාය.

පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙරමුණේ නාම යෝජනා පත්‍රය භාර ගන්නා ලෙස කළ නියෝගයත් සමග ඡන්දය පැවැත්වීමේ කටයුතු යළි ආරම්භ කිරීමට මැතිවරණ කොමිසමට සිදු විය. ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් 28 දෙනෙක්  තෝරා පත්කර ගැනෙන අතර ඒ කොට්ඨාස මට්ටමින් දාහත් දෙනකු හා දෙවැනි ලැයිස්තුවෙන් එකොළොස් දෙනෙක් වශයෙනි.

මෙම ප්‍රාදේශීය සභාව සඳහා මුල්ම ඡන්දය පවත්වා ඇත්තේ 1991 වසරේදීය. එක්සත් ජාතික පක්ෂය මුල්ම ඡන්දය ජයග්‍රහණය කළ අතර දෙවැනි වරට ඡන්දය පැවැති 1997 වසරේදී පොදුජන එක්සත් පෙරමුණට එහි බලය හිමිවිය. ඉන් පසු දෙදහස් දෙක වසරේදී යළිත් ප්‍රාදේශීය සභාවේ බලය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි විය. 2006 වසරේ සිට මේ දක්වා දෙවරක්ම ප්‍රාදේශීය සභාවේ බලය හිමිකර ගැනීමට සමත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ය.

මෙවර ඡන්දය සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ඉදිරිපත්ව සිටියි. දේශපාලන පකෂ පහක අපේක්ෂකයන්ට පමණක් නොව ආධාරකරුවන්ටද ආවරණය කිරීමට ඇත්තේ වර්ග කිලෝමීටර එකසිය පනස් එකයි දශම නවයක් පමණි. ඡන්ද දායකයන් පනස් තුන්දාහස් තුන්සිය අසූ හතර දෙනකුට මෙවර  සිය ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව හිමිවී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවලින් එකක් වන ඇල්පිටිය නගරයේ අඩුපාඩු බොහෝය.
විවධ අවශ්‍යතා මත ඇල්පිටිය නගරයට පැමිණෙන්නන්ට ප්‍රමාණවත් වැසිකිළි, කැසිකිළි පහසුකම් නැත. තේ වතුර කෝප්පයක් බොන්නට හරිහමන් තැනක් නැත. තිබෙන ආපනශාලාද අපිරිසුදුය. හරියටම මීට වසර විසිතුනකට පෙර ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි දෙක කඩකාමර විස්සක් තවමත් වසා දමා තිබේ. ඉදිරිපස ආවරණය කර ඇති විශාල තහඩු දොරවල් දිරාපත්ව එල්ලෙමින් ඇත. ඒවා දඩාවතේ යන බල්ලන්ගේ හා බළලුන්ගේ රජදහනක් බවට පත්ව තිබේ.
ඇල්පිටිය  පොදු වෙළෙඳ සංකීර්ණය පිටුපස ඇති මෙම ගොඩනැගිලි ද්විත්වයට අමතරව ඊට පෙර ඉදිකරන ලද ගොඩනැගිල්ලක් නටබුන් තත්ත්වයට පත්වෙමින් පවතී. ඒ පිටුපස නාස් පුඬු පාරවන දුගඳක් හමන්නේ නගරයට පැමිණෙන්නන්ට හෝ පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ට වැසිකිළි, කැසිකිළි පසුකම් නොමැති හෙයිනි. පොදු වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලද ඉදිකළ පසු කිසිදු අලුත්වැඩියාවකට ලක්වී නැත. ප්‍රධාන මාර්ගයට මුහුණලා ඉදිකර ඇති මෙම දෙමහල් වෙළෙඳ සංකීර්ණයේ බිත්ති පාසි බැඳී අඳුරු පැහැයකින් දිස්වෙයි. පාසි මත වැඩුණු ශාක හෝ ඉවත් නොකර ගොඩනැගිල්ල අත්හැර දමා ඇති සෙයක් දිස්වෙයි. දුටුවන්ගේ සිත්හි  අපුලක් රඳවන මෙම ගොඩනැගිල්ල මෙන්ම ඊට පිටුපසින් ඇති ඉපැරණි ගොඩනැගිලිද ගරා වැටුණු නටබුන් නගරයක් සිහි ගන්වන්නේය.

ප්‍රාදේශීය සභාවේ බලය ගෙන සිටි හිටපු පාලකයන්ගේ කෙරුවාවන්ට උදාහරණ ඕනෑ තරම්ය. නගර මධ්‍යයේ ඇති මහජන ක්‍රීඩාංගණය ද ඒ අතර වෙයි. එය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ තුන්සීයක් වැය කර ඇතැයි කියති. එම ප්‍රතිපාදනවලින් සියයට දහයක් වැය කර එම ක්‍රීඩාංගණය දැන් පවතින  තත්ත්වයට ගත හැකිය යන්න ප්‍රදේශවාසීන්ගේ අදහසයි. නගරයට පැමිණෙන සැමට ඒ ‘ආශ්චර්යවත්’ ක්‍රීඩාංගණය නෙත ගැටීමේදී ‘අනේ මොන තරම් අපරාධයක්ද’  යන සිතුවිල්ල පහල නොවන්නේ නම් පුදුමයකි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් සතියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගි වූයේ මෙම ක්‍රීඩාංගණයේ සිටය. අප එහි ගියේ එමම රැස්වීමට දින දෙක තුනකට පසුවය. ජනාධිපතිවරයා රැස්වීමකට සහභාගි වූ ස්ථානයක තත්ත්වය එපරිදි නම් ඊට පෙර තත්ත්වය සිතාගත හැකිය. මහජන ක්‍රීඩාංගණය ඒ තරමටම වල් වැදුණු  තැනකි.
නගරය පුරාම ඉතාමත් අපිළිවෙළ සෙයක් දිස් වෙයි. බස් නැවතුම්පළ කරා පියමනින සිය ගණනක් සිසු සිසුවියන්ට පහන් හැඟීමක් ඇති කළ හැකි කිසිදු ස්ථානයක් නගරය තුළ දැකීම උගහටය. ඔවුන්ට මග දෙපස ගමන් කිරීමට සිදුව ඇත්තේ දෙපස නවතා ඇති ත්‍රිරෝද රථ හා යතුරුපැදි  අතරිනි.

පුරා වසර 28ක් ඒ මේ අත පෙරළෙමින් පැවත ආ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ සභිකයන් රැසක් මෙවර ඡන්දයට ඉදිරිපත්ව සිටින්නේ මෙවන් වටපිටාවකය. පිනිකහන, කුඩාගොඩ, කදිනේදොළ, අවිත්තාව, වල්අඹගල, ඇල්පිටිය, තලාව, බටුවන්හේන, මැටිවිලිය, අමුගොඩ, ඕමත්ත, අම්බන කහදූව, නවදගල, පිටුවල, ඉඳිපළේගොඩ, තිබ්බොටුවාව, ඇල්ල සහ කැටන්දොළ යන කොට්ඨාසයන් සඳහා දේශපාලන පක්ෂ පහෙන් මෙවර ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 155කි. මේ අතරින් මින් පෙර ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන සිටි දේශපාලන නියෝජිතයන් ද ඇල්පිටිය නගර සංවර්ධන සැලැස්ම, සමෘද්ධි දීමනා නොගෙවීම, පානීය ජලය නොමැතිකම, පෙර පාසල් විධිමත් නොවීම, වැඩිහිටි දීමනා නොගෙවීම, කැළිකසළ බැහැර කිරීමට ස්ථානයක් නොමැතිවීම මතු නොව තමන්ගේ හිසට දරාගත නොහැකි තරමේ සිය ගණනක් ජනතා ප්‍රශ්න, ජනතා අවශ්‍යතා ස්මරණය වී ඇත්තේ මේ මොහොතේය.

තේ දලු නෙළමින්, කුරුඳු වගාවෙන් හෝ රබර් කැපීමෙන් ජීවිතය සරිකරි ගන්නා ඇල්පිටියේ බහුතරයක් අහිංසක ජනයා මේ කිසිවක් දන්නේ නැත. ඡන්දය ප්‍රකාශයට පත් කළ දින සිට තවදුරටත් එනම් තවත් පැය හතළිස් අටක පමණ කාලයකට දේශපාලන නියෝජිතයන්ට ඔවුන් වටින්නේය.

මැතිවරණය සඳහා ඇත්තේ තවත් පැය 48ක් වැනි කෙටි කාල සීමාවකි. මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කාලය පුරාවටම ජනතාවගේ සිත්සතන් මොහොතකට හෝ තෘප්තිමත් කළ බලාපොරොත්තු සුන් වනවා පමණක් නොව ඔවුන් ඉදිරියේ දිග හරින ලද සිහිනද හිස් අහසට පා වී ගොස් නොපෙනී යනු ඇත්තේය.

යථාර්ථය එයයි. ඇල්පිටියට මතු නොව මුළු රටටම අදාළ යථාර්ථය එයයි. එවැනි යථාර්ථයක හිඳිමින් වුව ඇල්පිටිය ජනයා වෙනසක් කෙරේ වන අපේක්ෂාවක නිමග්නව සිටිති. ඒ සුබ අනාගතයක් වෙනුවෙනි.

නිලන්ත මදුරාවල