විශේෂාංග

ඇමෙරිකාව විදුලි වැටකින් ලංකාව දෙකඩ කරයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් නමැති ඇමෙරිකානු සමාගමක කාර්යාලයක් අගමැතිවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හෙළිදරව් කළේ පසුගිය මාර්තු මාසයේය. එහෙත් අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇමැතිවරයා කියා සිටියේ එවැනි කාර්යාලයක් අරලියගහ මන්දිරයේ නොමැති බවය. මේ කියන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සමාගම ගැන යළි කතාබහක් ඇති වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දින කිහිපයක් ගිය තැනය.

පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා මෙරට ආර්ථිකය කඩා වැටීමකට ලක්වන බවට බොහෝ දෙනා සැක පහළ කරද්දී මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ ඒ ගැන බියක් ඇති කර නොගත යුතු බවය. මෙරට ඉතිහාසයේ ලැබෙන විශාලතම ප්‍රදානය ලබා දීමට ඇමෙරිකාව සූදානම් වන අතර එය මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යටතේ ලැබෙන ප්‍රදානයක් බවද අමාත්‍යවරයා කීවේය. අප්‍රේල් මස 28 දින සන්ඩේ ඔබ්සවර් පුවත්පත වාර්තා කළ අන්දමට ලැබීමට නියමිත මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 480 කි. එම ප්‍රදානයේ අරමුණ ලෙස එම වාර්තාවේ සඳහන් වූයේ ආර්ථික වර්ධනය අත්කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ දිළිඳු බව අඩු කිරීමය. ඒ සඳහා වන ගිවිසුමට මේ මාසය තුළ අත්සන් තැබීමට නියමිත බවද කියැවේ.

යෝජිත ගිවිසුමේ ප්‍රකාශිත අරමුණ දිළිඳුකම තුරන් කිරීම යැයි කියවුණද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම මගින් වසර 2050 වන විට මේ රට ඇමෙරිකාවේ යුද කඳවුරක් බවට පත්වනු ඇති බවට චෝදනා නැගී තිබේ.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් යනු 2004 වර්ෂයේදී ආරම්භ කළ ඇමෙරිකානු ආණ්ඩුව මගින් විදේශ රටවල් සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහනකි. එම කාර්යාංශයේ සභාපතිත්වය දරන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාය. මේ යටතේ දැනට රටවල් 29 ක් සමග ගිවිසුම් ඇති වී තිබේ. MCC ගිණුමට අරමුදල් සම්පාදනය කරන්නේ ඇමෙරිකා කොංග්‍රසය මගිනි. එම සම්පත් කළමනාකරණය MCC පාලනාධිකාරිය මගින් සිදු කරයි.

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට අරමුදල් සැපයෙන්නේ ප්‍රධාන වැඩ සටහන් දෙකක් සඳහාය. ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය හා ඉඩම් ව්‍යාපෘති වෙනුවෙනි.

ශ්‍රී ලංකා ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සහාය මත මේ පිළිබඳ අධ්‍යයනයන් අරඹා ඇත්තේ 2016 වසරේ දෙසැම්බර් මාසයේදීය. 2017 වසරේ සැප්තැම්බර් 20 දාට එම කටයුතු අවසන්ව තිබේ.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් දියුණු කිරීම යටතේ බස්නාහිර පළාතේ පිහිටි වරාය, වෙළෙඳපොළ ආදිය රටේ සෙසු ප්‍රදේශ අතර ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට අපේක්ෂිත අතර මේ යටතේ නාගරික සහ අන්තර් පළාත් මාර්ග කිලෝ මීටර් 300 ක් සංවර්ධනය කෙරෙනු ඇත.

ඉඩම් පාලනය යටතේ ප්‍රධාන වශයෙන්ම ඉඩම් පාලනය දියුණු කිරීම, ඉඩම් අයිතිය ශක්තිමත් කිරීම සහ අයිතිය පිළිබඳ කාලසීමාව සහතික කිරීමට අදාළ කටයුතු සිදු කෙරෙනු ඇත.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති සියල්ලේදීම පෞද්ගලික අංශයට වැඩි ඉඩක් ලැබෙනු ඇති අතර පෞද්ගලික ආයෝජකයන් දේශීය මෙන්ම විදේශීය විය හැකිය. මන්ද යත් වසර දෙකක් තිස්සේ කළ අධ්‍යයනයන්හි දී මූලික වශයෙන් සලකා බලා ඇත්තේ පෞද්ගලික අංශය මුල්කරගත් සංවර්ධනයක් සඳහා මෙරට තුළ ඇති මූලික බාධා හඳුනාගැනීම වන බැවිනි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියට සමගාමීව ජාතික භෞතික සැලැස්ම (2018-2050) නම් වැඩසටහනක්ද ක්‍රියාත්මක වීමට නියමිතය. එය සකස්කොට ඇත්තේ මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගිනි.

මෙම සැලැස්ම යටතේ කොළඹ – ත්‍රිකුණාමලය ප්‍රධාන ආර්ථික කොරිඩෝරයත් තවත් උප කොරිඩෝර 3 කුත් ඇති කිරීමට යෝජිතය. සැලැස්මේ වැදගත්ම අංගයක් වන්නේ කොළඹ – ත්‍රිකුණාමල ආර්ථික කොරිඩෝරයයි. ඉන් ආවරණය වන ප්‍රදේශය රටේ ජනගහනයෙන් 1/3 ක් නියෝජනය කරයි. කොළඹ මෙගා පොලිස් සහ මීගමුව, කුරුණෑගල, දඹුල්ල හා ත්‍රිකුණාමලය නාගරික කලාප මීට අයත්ය.

යෝජිත 2018 – 2050 නව භෞතික සැලස්මට අදාළව කොරිඩෝරයේ අනාගත සංවර්ධන කාර්යයන් එනම්, කර්මාන්ත, සංස්කෘතික සංවර්ධන කලාප, සංචාරක කලාප, සේවා මධ්‍යස්ථාන ආදිය ස්ථාපිත කෙරෙනු ඇත. යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන පරමාර්ථය දෙස් විදෙස් ආයෝජන මෙම ප්‍රදේශ කරා ආකර්ෂණය කර ගැනීමය.

කෙසේ වෙතත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි මෙම ව්‍යපෘතිය සම්බන්ධයෙන් වඩාත් විවාද සම්පන්න අංගය වන්නේ කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන මෙම ආර්ථික කොරිඩෝරයයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට අනුව මේ යටතේ අක්කර ලක්ෂ 22 ක බිම් තීරුවක් ඇමෙරිකාවට ලබා දීමට නියමිතය. ඒ අක්කරයකට රුපියල් 24 ක බද්දක් යටතේය. මෙම ඉඩම්වල බදු කාල සීමාව කොතරම්ද යන්න ප්‍රකාශ වී නොමැත. ඇතැමෙකු කියන්නේ එම කාල සීමාව අවම වශයෙන් වසර 200 ක් වත් වනු ඇති බවය.

එම ආර්ථිකමය කාරණාවට අමතරව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම දේශයේ සම්පත් සම්බන්ධයෙන්ද රටට අවාසි සහගත තත්ත්වයන් මේ තුළ පවතින බව විවේචකයන්ගේ අදහසයි.

මෙම කොරිඩෝරය (තීරුව) මගින් ශ්‍රී ලංකාව උතුරු සහ දකුණ යනුවෙන් දෙකකට බෙදෙන බව පැහැදිලිය. එය ඊළාම් සිතියම මගින් අපේක්ෂිත කාරණා සපුරාලීමක් බඳුය. උතුරු සහ දකුණු කොරියාව යුද මුක්ත කලාපය මගින් බෙදී වෙන්ව සිටියේද මෙලෙසිනි.

ලොව විශාලතම පොස්පේට් නිධිය මෙන්ම මෙරටට ඇති අගනා සම්පතක් වන එප්පාවල පොස්පේට් නිධියද මෙම කොරිඩෝරයට අයත්ය. 1980 ගණන්වලදී ද ඇමෙරිකාව එය උදුරා ගැනීමට වෑයම් කළද, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් හේතුවෙන් එය වැළකී ගියේය. ඉල්මනයිට්, තෝරියම් (යුරේනියම් වෙනුවට න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේදී භාවිත කළ හැකි න්‍යෂ්ටික ඉන්ධනයකි) මොනසයිට් මෙන්ම සීරියම්, ලැන්තනම් වැනි විරල පාංශු ලෝහ වර්ගද යන මේ සියල්ල සඳහා මසකට රුපියල් 24 ක්. මවිතයට කාරණයක් වුවද සිදුවීමට යන්නේ එයයි. ආයෝජන කාලය වසර 200 ක් වුවහොත් එම මුළු කාල සීමාවටම මේ මුදල රුපියල් 24 ක් නම්? ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා ජාතික ආරක්ෂාවට ද වැදගත්වන ඉඩම් නීති සංශෝධනය කර ඒ වෙනුවට නව ඉඩම් නීති සම්පාදනය කිරීමට උපදෙස් ලැබී තිබේ. එමගින් රටේ ඕනෑම තැනක පිහිටි ඉඩමක් මිලට ගැනීමට ඇමෙරිකානුවන්ට හැකියාව ලැබෙනු ඇත. රාජ්‍ය ඉඩම් බැංකුවක් පිහිටුවීම ඊට පහසු කාරකයකි.

එම පනත් දෙකම පිළියෙල වී ඇත්තේ ඇමෙරිකාවේ හාවර්ඩ් සහ මැසචුසෙට්ස් හි බවට මත පළ වේ. ශ්‍රී ලංකාවේ නීති අංශ වෙත ඒවා එවා ඇත්තේ ඉන් අනතුරුවය. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් තනි පුද්ගලයකුට සන්තක විය හැකි ඉඩම් සීමාව උපරිම අක්කර 50 කට සීමා කර තිබේ. මෙම පනත සංශෝධනය වීම මගින් එම සීමා ඉවත්වනු ඇති අතර මෙරට ඉඩම් මිලදී ගැනීමට විදේශිකයන්ටද ඉඩ ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉඩම්වලින් ඉතා වැඩි ප්‍රතිශතයක් රජයේ ඉඩම්ය. ‘‘මෙගාපොලිස්’ සංවර්ධනය යටතේ මේ තත්ත්වය වෙනස් වනු ඇති බව පැහැදිලි වේ. රටක් තවත් රටක් ආක්‍රමණය කර බලහත්කාරයෙන් එම භූමිය අත්කර ගැනීමට වඩා වෙනස්ව එයම සිදුවනු ඇත.

යෝජිත ත්‍රිකුණාමල – කොළඹ විදුලි දුම්රිය මාර්ගය මගින් රටේ උතුර හා දකුණ භෞතික වශයෙන් දෙකඩ කිරීම සිදු වේ. එම දුම්රිය මාර්ගයේ ආරක්ෂාවට පිහිටුවන ආරක්ෂක විදුලි වැට යනු රට දෙකඩ කරන ඊළාම් පවුරය. එය ලොව ප්‍රථම විදුලි දේශ සීමා වැට වනු ඇත.

ඇතැම් පර්යේෂකයන්ගේ අදහස ශ්‍රී ලංකාව වසර 2100 දී නමින් MCC ය තවත් සිතියමක් පිළියෙල කර ඇති බවය. එය ශ්‍රී ලංකාව දැක්වෙන්නේ තනි රටක් ලෙසද, දෙකඩ වූ රටක් ලෙසද යන්න විවාදාපන්නය. පළවී ඇති අදහස් හා එවැනි වාර්තාවලට අනුව MCC කොරිඩෝරයේ සූවස් ඇළ වැනි ඇළ මාර්ගයක්ද ඇති අයුරු 2100 – ශ්‍රී ලංකාව සිතියමේ දැක්වේ. එය බෙංගාල බොක්ක හා අරාබි මුහුද සමගද සම්බන්ධ වන ඇළ මාර්ගයකි. එමගින්ද සිදුවන්නේ රට දෙකඩ වීම බව ඇතැමෙකුගේ අදහසය.

ඩොලර් මිලියන 480 ක් යනු ඉතා විශාල මුදලකි. එවන් විශාල මුදලකින් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කළ හැකි බවට සැකයක් නැත. ත්‍රස්ත ප්‍රහාර එල්ල වුවද, ආර්ථිකය ගැන බිය නොවන ලෙස මුදල් අමාත්‍යවරයා කියන්නේ ඒ නිසා විය යුතුය.

එහෙත් 2016 වසරේ සිට මේ ගැන සාකච්ඡා, අධ්‍යයන සිදු කෙරී ඇතත් මේ දක්වා ඒ ගැන පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කොට නැත. මේ මාසයේ මීට අදාළ ගිවිසුම අත්සන් කිරීමට පවා නියමිත බව කියන නමුත් තවමත් ඒ ගැන පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කර නැත.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය ගැන බොහෝ දෙනකු සැක පළ කරන්නේ මේ නිසාය.

ධම්මික සෙනෙවිරත්න