විශේෂාංග

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති සමාජවාදියෙක් ද?

ධනපති රාජ්‍යයන් අතර මූලස්ථානය ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට සමාජවාදියෙකු පත් වුවහොත් එය අපූරු සිදුවීමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. බොහෝ දෙනෙකු විශ්වාස කරන බව පෙනෙන්නේ එය කිසි දිනෙක සිදු නොවිය හැක්කක් ලෙසිනි. කෙසේ නමුත් මේ දිනවල නැවතත් මේ කාරණාව ගැන යම් අවධානයක් යොමු වෙමින් ඇත්තේ 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා මූලික ලකලැහැස්තිවීම් සිදුවෙමින් ඇති පසුබිම තුළ ය. මෙම ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයෝ මේ දිනවල ඒ සඳහා සූදානම් වෙමින් සිටින අතර නිල වශයෙන් ඒ පිළිබඳව නිවේදනය කරමින් රැස්වීම් සහ ජනහමු පවත්වමින් සිටිති.

සමාජවාදියෙකු ඇමෙරිකාවේ ජනාධිපති වේවි ද යන කාරණය ගැන අවධානය යොමුවන්නේ මේ ආකාරයෙන් තරග බිමට එළැඹ සිටින එක් ප්‍රධාන අපේක්‍ෂකයෙකු නිසා ය. ඒ අන් කිසිවෙකු නොව ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් තරග කිරීමට බලාපොරොත්තු වන බර්නි සෑන්ඩර්ස් ය. ඔහු තමා හඳුන්වා ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු (democratic socialist) කියාය. ඇමෙරිකාවේ ඇතැම් ජන කණ්ඩායම් අතර ඉතාම ජනප්‍රිය චරිතයක් වන බර්නි සෑන්ඩර්ස් ඇමෙරිකානු ජනාධිපති සටනකට එළැඹුණු පළමු වතාව මෙය නොවේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූ 2016 ජනාධිපතිවරණයේදී ද ඔහු ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී පක්ෂය වන ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයා බවට පත් වීමට උත්සාහ කළේය. නමුත් එම පක්‍ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අවසන් අපේක්ෂකයා කව්ද යන්න තෝරන වටයේ දී ඔහු හිලරි ක්ලින්ටන් ට පරාජය විය.

ඒ අනුව එවර එම පක්‍ෂයෙන් ට්‍රම්ප් සමග තරග කිරීම සඳහා තෝරා ගැනුණේ හිලරි ය. එහෙත් එහි දී හිලරි සහ බර්නි අතර ඉතා උණුසුම් සටනක් පැවැති බව තවමත් බොහෝ දෙනෙකුට අමතකව ඇතැයි සිතිය නොහැක. මෙහිදී බර්නි ට පක්‍ෂයෙන් යම් අසාධාරණයන් සිදු වූ බවට ද චෝදනා නැගිණි. ඔහුට එරෙහිව පක්‍ෂ අභ්‍යන්තරයේ යම් යම් කුමන්ත්‍රණ සිදු වූ බවට ද, ඔහුට අපේක්‍ෂකත්වය නොලැබුණේ ඒ නිසා බවට ද චෝදනා එල්ල විය. ඩිමොක්‍රටික් පක්‍ෂයේ ඇතැම් ඉහළ නිලධාරීන් හිලරිට අපේක්‍ෂකත්වය ලබා දීම සඳහා අගතිගාමී ආකාරයෙන් කටයුතු කර ඇති බව මෙහිදී පැවසිණි. මෙම චෝදනා එල්ල වීමට පසුබිම සැපයුවේ විකිලීක්ස් වෙබ් අඩවිය හරහා එළියට ආ රහසිගත ඊමේල් කීපයකි. බර්නිට අවාසි සහගත තත්ත්වයක් පක්ෂය තුළ තිබුණු බවක් මෙම ඊමේල් හරහා අනාවරණය වූ අතර මෙම ආන්දෝලනය හේතුවෙන් පක්‍ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුටම සිය තනතුරුවලින් ඉල්ලා අස් වීමට පවා සිදු විය.

කෙසේ හෝ වේවා, දැන් නැවත වරක් මෙම අපූරු, වයෝවෘද්ධ ‘සමාජවාදියා’ ජනාධිපතිවරණ සටනට එළැඹ සිටියි. මේ වාරයේ තමන් තරග නොකරන බව හිලරි ක්ලින්ටන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම තත්ත්වය තුළ බර්නි, ගියවර තමාට දිනාගන්නට බැරි වුණු පක්‍ෂ අපේක්‍ෂකත්වය දිනා ගනු ඇත් ද යන කුතුහලය මේ වනවිට බොහෝ දෙනෙකු තුළ මතු වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. පසුගිය වතාවේ ඔහු විසින් ගොඩනගා ගන්නා ලද ජනතා පදනම මෙහිදී ඔහුට විශාල වාසියක් හිමි කර දෙනු ඇති බව ද නිරීක්‍ෂකයින්ගේ අදහස වී තිබේ. යම් හෙයකින් ඔහු මෙවර ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකත්වය මෙවර දිනා ගැනීමට සමත් වුවහොත් 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් සමග තරග වදින ප්‍රතිවාදියා ඔහු බවට පත් වනු ඇත.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ද යම් අවධානයකින් සිටින බවක් දැක ගත හැකි වේ. පසුගිය දා පැවැති ජනහමුවල දී ඔහු බර්නිගේ නම නොකියා සමාජවාදයට අතුල් පහර කිහිපයක් එල්ල කිරීමට පියවර ගෙන තිබිණි. ඩිමොක්‍රටික් පක්‍ෂය මේ වනවිට කල් ඉකුත් වී ඇති සමාජවාදය වැළඳ ගනිමින් සිටින බවක් ඔහු පවසා තිබිණි. සෑන්ඩර්ස් වැනි අපේක්‍ෂකයින්ට විරුද්ධ මතයක් ගොඩ නගනු පිණිස, ට්‍රම්ප් සමාජවාදී රටවල් ලෙස සැලකෙන වෙනිසියුලාව වැනි රටවල ඇති වී තිබෙන අර්බුද ප්‍රයෝජනයට ගන්නා ආකාරයක් ද දැකිය හැකි වේ. සමාජවාදී යයි පැවසෙන රටවල ඇති ඒකාධිපතිවාදී ස්වරූපය ගැනද ට්‍රම්ප් නිතර පෙන්වා දෙන අන්දම පසුගිය දිනවල දැකගන්නට ලැබිණි.

බර්නි සෑන්ඩර්ස් සමාජවාදියෙකු ලෙස සැලකුණ ද ඔහු පෙනී සිටින්නේ චීනය, රුසියාව, කියුබාව, වෙනිසියුලාව වැනි රටවල පවතින ආකාරයේ ක්‍රමයක් වෙනුවෙන් නම් නොවේ. බොහෝ දෙනෙකු ඔහු හඳුන්වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් මත පිහිටා ක්‍රියා කරන්නෙකු හැටියට ය. නිදසුනක් ලෙස ආර්ථිකය මත රජය වුවමනාවට වඩා ආධිපත්‍යයක් පිහිටුවීම සෑන්ඩර්ස් අනුමත නොකරයි. ඔහු බොහෝ දුරට වෙළෙඳපොළ ආර්ථිකය ගැන විශ්වාසය තබා කටයුතු කරන්නෙකු බව පෙනේ. නමුත් සමාජයේ පීඩිත, අවවරප්‍රසාදිත කොටස් වෙනුවෙන් පුළුල් සමාජ සුබසාධනයන් ඇති කිරීම සම්බන්ධයෙන් ඔහු විශාල උනන්දුවක් දක්වයි. විශේෂයෙන් සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍රවල මෙවැනි සුබසාධන ඇති කිරීමේ අවශ්‍යතාව ගැන ඔහු නිතර පෙන්වා දෙමින් සිටියි.

ඇමෙරිකානු සමාජය තුළ වේගයෙන් ඉහළ යමින් තිබෙන ඇති-නැති පරතරය අඩු කිරීමේ ඇති වැදගත්කම සෑන්ඩර්ස් නිතර අවධාරණය කරන තවත් කාරණයකි. ඇමෙරිකාවේ ඉහළම ධනපතියන් වන බිල් ගේට්ස්, ජෙෆ් බෙසෝස් සහ වොරන් බෆෙට් තිදෙනා එරට ජනගහනයේ පහළ ස්ථරයෙහි සියයට 50 කගේ ආදායමට වැඩි ආදායමක් උපයන බව පසුගිය වසරේ වාර්තාවකින් අනාවරණය කර තිබිණි. මෙම තත්ත්වය වෙනස් විය යුතු බවත්, රටේ සම්පත් මෙයට වඩා සාධාරණ ආකාරයෙන් බෙදී යා යුතු බවත් සෑන්ඩර්ස් ගේ ප්‍රබල සටන් පාඨයකි. එරට ධනපතියන් ගේ සහ ඉහළම සමාගම්වල අසීමිත තෘෂ්ණාව හේතුවෙන් ඇමෙරිකාව දැවැන්ත අර්බුදයක ගිලෙමින් සිටින බව ඔහු ජනතාවට පෙන්වා දෙයි.

2016 ජනාධිපතිවරණ සටනේ දී ඇමෙරිකාවේ තරුණ පරපුර විශාල වශයෙන් සෑන්ඩර්ස් වටා රොක් වූ ආකාරයක් ද දැකිය හැකි විය. එයට විශේෂයෙන්ම හේතු වූයේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සහන ඇති කිරීමට ඔහු පියවර ගන්නා බව ප්‍රකාශ කිරීමයි. සෑන්ඩර්ස් ගේ සිහිනය වන්නේ සමාජවාදී යයි පැවසෙන රටවල පවතින ආකාරයේ සමාජ ක්‍රමයක් ඇති කිරීම නොව ස්කැන්ඩිනේවියානු රටවල පවතින ආකාරයේ ක්‍රමයක් ඇති කිරීම බව ඇතැම් නිරීක්‍ෂකයෝ පෙන්වා දෙති.

කෙසේ හෝ වේවා 2016 ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි සටන් පාඨ ඉදිරිපත් කළ එකම අපේක්‍ෂකයා වූයේ සෑන්ඩර්ස් ය. ඒ නිසාම ඔහු හැඳින්වුණේ වඩාත්ම ‘රැඩිකල්’ අපේක්‍ෂකයා වශයෙනි. නමුත් මේ වනවිට තත්ත්වය වෙනස් වී ඇති ආකාරයක් ද දැකිය හැකි වේ. 2016 සෑන්ඩර්ස් හිමි කරගත් ආකර්ෂණය නිසා දෝ මේ වනවිට ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට සූදානම් වන තවත් අපේක්‍ෂකයින් කිහිප දෙනෙකුම ඔහුගේ ‘දර්ශනය’ ට සමාන්තර අදහස් ඉදිරිපත් කරමින් සිටින ආකාරයක් පෙනෙන්නට තිබේ. ඩිමොක්‍රටික් පක්‍ෂය සමාජවාදය වැළඳගනිමින් සිටින බවට ට්‍රම්ප් චෝදනා නගන්නේ මෙම පසුබිම තුළ ය. මේ අනුව 2020 ජනාධිපතිවරණය ධනවාදය සහ සමාජවාදය අතර සටනක් ලෙස පෙන්වීම ට්‍රම්ප්ගේ ප්‍රධාන උපාය මාර්ගයක් වී ඇති බව පෙනේ.

බර්නි සෑන්ඩර්ස්ට අවාසි සහගත විය හැකි ප්‍රධාන කාරණයක් ලෙස සැලකෙන්නේ ඔහුගේ වයසයි. මේ වනවිට 77 වෙනි වියෙහි පසුවන ඔහු ඇමෙරිකාවේ ජනාධිපති පදවිය සඳහා මහලු වැඩි බවටත්, ඇමෙරිකාවට දැන් අවශ්‍ය වන්නේ මෙයට වඩා තරුණ නායකයින් බවටත් අදහස් ඉදිරිපත් වෙයි. තමා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් පසුගිය දිනෙක සෑන්ඩර්ස් පවසා තිබිණි. (රිපබ්ලිකන් පක්‍ෂයෙන් ඉදිරිපත් වීමට සිටින ට්‍රම්ප්ට වුව ද දැන් වයස අවුරුදු 72 කි.) කෙසේ වෙතත් මේ වනවිට පසුබිම සැකසෙමින් ඇති ආකාරය අනුව පෙනී යන්නේ 2020 ජනාධිපතිවරණය ද බොහෝ නාටකීය සිදුවීම්වලින් ගහන එකක් බවට පත්වනු ඇති බවයි.
නිහාල් පීරිස්