කතුවැකි

ඇමැති රමේෂ් කියන ගෑස් තියෙන්නේ කොහේද?

රට තුළ ගෑස් හිඟයක් නොමැති බවත්, ඒ නිසා ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බවත් කැබිනට සම ප්‍රකාශක රමේෂ් පතිරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. අමාත්‍යවරයා කියන ආකාරයට ලිට්‍රෝ සමාගම සතුව අවශ්‍ය තරම් ගෑස් තොග තිබේ. සුළු හිඟයක් ඇතිව තිබෙන්නේ පාරිභෝගිකයන් කලබලයට පත්ව ගෑස් ගබඩා කරන්නට කටයුතු කිරීම නිසාය. රමේෂ් පතිරණ යනු මේ රටේ සිටින වැදගත් දේශපාලනඥයන් අතළොස්ස අතරින් එක් අයකු බව අපගේ වැටහීමය. මේ රටේ වැඩි දෙනකු ද රමේෂ් පතිරණ අමාත්‍යවරයා ගැන කල්පනා කරන්නේ ඒ ආකාරයටම බවද අපට විශ්වාසය. ඔහුගේ පියා පිළිබඳ මේ රටේ ජනතාව තුළ ඇති ගෞරවනීය මතකයද ඊට හේතුවක් විය හැකිය.

මොන තරම් ගෞරවනීය, දැන උගත් තරුණ දේශපාලනඥයකු වුවත් දැන් නම් ඔහුගේ මසැසද මනැසද අවුල් වී ඇති බව කනගාටුවෙන් වුවත් සටහන් කළ යුතුය. රට පුරා ජනතාව ගෑස් ටැංකි රැගෙන හන්දි හන්දි ගානේ පෝලිම්වල ලගින බව පෙනි පෙනී රටේ ගෑස් හිඟයක් නැතැයි සිහි බුද්ධියක් ඇති අයකුට නම් කිව නොහැකි නිසාය.

ගෑස් වෙළෙඳපොළේ සියයට 30 ක පමණ වෙළෙඳපොළ කොටසක් හිමිව සිටි ලාෆ්ස් ගෑස් සමාගම බංකොළොත් වී ගෑස් ආනයනය අත්හිටුවීම නිසා ඇතිව තිබෙන ප්‍රශ්නයට තවමත් නිසි විසඳුමක් ලැබී නැත. ලිට්‍රෝ සමාගමෙන් ගෑස් තොග ලාෆ්ස් සමාගමට ලබා දී ලාෆ්ස් ගෑස් හිඟය නැති කරන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ තීරණය අටුව කඩා පුටුව හදන්නා සේ විසඳුමක් බව අපි මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. විහිළුව වන්නේ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රශ්නගත ලාෆ්ස් සමාගමේ එකඟතාවක් තබා ඔවුන්ට දැනුම් දීමකින් හෝ තොරවය.

රජයට අයත් ලිට්‍රෝ ගෑස් සමාගමද මේ වන විටත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන්නේ රුපියල් අටසීයක පමණ පාඩුවකටය. මේ නිසා තමන්ටද කොතෙක් දුර යා හැකි දැයි කිව නොහැකි බව ලිට්‍රෝ සභාපතිවරයාම ප්‍රකාශ කර ඇත. ගෑස් හිඟයක් ඇති වනු ඇතැයි අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියන්නේ එවැනි ප්‍රකාශ අසන දකින ජනතාවටය.

රටේ සමස්ත ගෑස් පාරිභෝගිකයාගේ ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා ලිට්‍රෝ සමාගම වෙනදාට වඩා ගෑස් තොග ගෙන්විය යුතුය. වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියන ආකාරයට ලිට්‍රෝ සමාගමට ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති නිසා දින දෙකකට වරක්වත් ගෑස් තොග ගෙන්වීමට සිදුවනු ඇත. මෙරට සමස්ත ගෑස් පාරිභෝගිකයාටම සේවා සැපයීමට සිදුවීම ලිට්‍රෝ සමාගමට ලාභයක් නොව දැනටත් ලබමින් සිටින පාඩුව තවත් ඉහළ යන්නට හේතුවකි. ආණ්ඩුව බැරිමර ගාතේ හෝ මේ පාඩුව දරාගනු ඇතැයි උපකල්පනය කළත්, හිඟයකින් තොරව ගෑස් සපයන්නට දැනට ගෙන ඇති පියවර මොනවාද? දින දෙක තුනකට වරක් ගෑස් තොග රැගත් නැව් පැමිණෙනවාද? රටේ ගෑස් හිඟයක් ඇති නොවනු ඇතැයි ජනතාව කලබල නොවනු ඇත්තේ ඇමැතිවරුන්ගේ හිස් වචනවලින් නොව මෙවැනි පැහැදිලි දත්ත සහිත ප්‍රකාශයන්ගෙන් පමණකි.

ප්‍රශ්නය විසඳීමේ පළමු පියවර නම්, ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම හා පිළිගැනීමය. දේශපාලකයන් බොරු කියන බව ජනතාව දන්නා නමුත්, ඇස් පණාපිට ඇති ඇත්ත චේතිය රජුන් මෙන් බොරු කීවත් වසන්නට නොහැකිය. අපට ඇති කනගාටුව වන්නේ රමේෂ් පතිරණ වැනි ගෞරව සම්පන්න තරුණ දේශපාලනඥයකු ද මහ පොළොවේ යථාර්ථයක් වී ඇති ගෑස් හිඟය නැතැයි කියමින් ප්‍රශ්නය යට කරන්න කල්පනා කිරීමය.

මේ අතර ගෑස් හිඟයක් ඇතිව තිබෙන්නේ ජනතාව අනවශ්‍ය පරිදි ගෑස් එක් රැස් කිරීම නිසා බව කියන ඇමැතිවරුද සිටිති. මේ ඇමැතිවරුන් කල්පනා කරන්නේ ගෑස් යනු හාල් පොල් මෙන් ගබඩා කළ හැකි දෙයක් බවය.

දේශපාලකයන්, ආණ්ඩු කුමක් කීවත් ජනතාව ඒ ගැන සැක කරන්නේ, විශ්වාස නොකරන්නේ දිගින් දිගටම දේශපාලකයන් මේ ආකාරයට ජනතාවගෙන් සත්‍ය වසං කරන්නට උත්සාහ කිරීම නිසාය. මේ වන විට කොවිඩ් වසංගතයට අදාළව ආණ්ඩුවේ බලධාරින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන පිළි නොගන්නා තැනකට ජනතාව යොමුව සිටින්නේද මේ නිසාය. කොවිඩ් වසංගතය පාලනය කරන්නට ආණ්ඩුව ගන්නා උත්සාහය එක තැන පල්වෙන, අපේක්ෂිත ප්‍රතිඵල ඒ ආකාරයෙන්ම නොලැබෙන්නට එක් හේතුවක් නම් ජනතාවගේ අවිශ්වාසයයි.

මැතිවරණ වේදිකාව වැනි තැනකදී බොරු කීමේ සම්ප්‍රදායක් ඇතත් එය එතරම් බරපතළ නොවන්නේ එවැනි තැනක කියන දේවලින් වැඩි ප්‍රමාණය බොරු හෝ අතිශයෝක්තීන් බව ජනතාවද තේරුම් ගන්නා නිසාය. එහෙත් ජාතික ව්‍යසනයකදී ජනතාවගෙන් සත්‍ය වසං කිරීම භයානක වන්නේ ඒ නිසා ජනතා සහය නොලැබී යා හැකි නිසාය. කුමන ආණ්ඩුවකට වුවත් ජනතා සහය නොමැතිව ජාතික ව්‍යසනයක් ජයගත නොහැකිය.

ජාතික ව්‍යසනයක් ජය ගැනීමට කටයුතු කරන ආණ්ඩුවක මූලික වගකීමක් වන්නේ ඊට මුහුණ දීම සඳහා ජනතාව සූදානම් කිරීමය. එවැනි සූදානමක් ඉදිරියේදී ඇතිවිය හැකි නරකම තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ඉතා වැදගත්ය. ගෑස් හිඟයට එකම විසඳුම ගෑස් මිල ඉහළ නැංවීම බව ඉතා පැහැදිලි කාරණයකි. එහෙත් කුමන හේතුවක් නිසා හෝ ගෑස් මිල ඉහළ නැංවීමට අදහස් නොකරන්නේ නම්, ඇති විකල්පය වන්නේ ගෑස් පරිභෝජනය හැකිතරම් අවම කිරීමය. මේ සඳහා කළ යුතු වන්නේ ගෑස් හිඟයක් නැතැයි සුරංගනා කතා කීම නොව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාව දැනුවත් කිරීමය. රටේ විදුලි අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම ඒ ආකාරයට කටයුතු කර තිබේ.

ගෑස් හිඟයට නිසි පිළිතුරක් නොමැති වීම තුළ ජනතාව තුළ ඊටත් වඩා බරපතළ සැකයක් ඇති වී තිබේ. අද හෙටම බරපතළ ඉන්ධන හිඟයක් ඇතිවනු ඇතැයි යන්නය. රට මුහුණ දී සිටින ඩොලර් හිඟයත් සමග මෙම සැකය ඉතාමත් සාධාරණය. එහෙත් එය සාධාරණ සැකයක්ද නැද්ද යන්න පැහැදිලි කළ යුත්තේ ආණ්ඩුවයි. ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සැකයක් ආණ්ඩුවට නැතිනම්, ඒ බව විශ්වාසයෙන් යුතුව රටට ප්‍රකාශ කළ යුතුය. එසේ නැතිනම් කළ යුත්තේ ප්‍රශ්නය ගේ දොරකඩට එනතෙක් නොසිට දැන්ම ඒ බව කියා ප්‍රශ්නයට මුහුණ දීමට ජනතාව සූදානම් කරවීමය. යම් හෙයකින් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් එය ගෑස් හිඟයට වඩා සිය දහස් ගුණයකින් බරපතළ වන බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.