කතුවැකි

ඇමැතිවරයකුගේ වාහනයක යන්න අපිටත් වරම්

ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා බතික් අමාත්‍ය දයාසිරි ජයසේකර ටක්කෙටම හරියන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඇමැතිවරයා කියන්නේ ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා හැකි තරම් පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කළ යුතු බවය. ඒ සඳහා වාහනයක එක් අයකු ගමන් කිරීම තහනම් කිරීමේ නීති ගෙන ඒමට ඔහු යෝජනා කර තිබේ. හැම පෞද්ගලික වාහනයකම අවම වශයෙන් තුන් දෙනෙකුවත් ගමන් නොකරන්නේ නම් ඉන් ඉන්ධන අපතේ යෑමක් වන බව ඇමැතිවරයාගේ අදහසය. වසරකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වන අතර මේ වන විට මාසයකට අවශ්‍ය ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ සොයා ගැනීමට ලෝකය වටේ රටවලට ණය වීමට සිදුව ඇතැයිද දයාසිරි ජයසේකර ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඇමැතිවරයා කියන මේ කතාව සත්‍යයකි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුව ඇත්තේද බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිකම නිසාය. තෙල් පිරිපහදුව වසා ඇතත් රටේ තෙල් හිඟයක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියන නමුත් ජනතාව ඒ කතා විශ්වාස කරන බවක් පෙනෙන්නේ නැත. තෙල් පිරිපහදුව වසා දමන්නට පෙර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගෙන් උපදෙසක් ගත්තේ නම්, උදය ගම්මන්පිල ඇමැතිවරයා හෝ ආණ්ඩුව ඉන්ධන ප්‍රශ්නය හමුවේ මේ තරමට කිච නොවන්නට ඉඩ තිබුණා නොවේද? ගම්මන්පිලගේ බලශක්ති ඇමැතිකම දයාසිරිට දී ඔහුගේ බතික් ඇමැතිකම ගම්මන්පිලට දෙන්නට ජනාධිපතිවරයාට හෝ කල්පනා නොවීම ජාතියේ අවාසනාවකි.

ඛනිජ තෙල් ඇමැතිකම නැතත් දයාසිරි ජයසේකර ඇමැතිවරයාගේ යෝජනාව කිසිසේත්ම සුළුකොට තැකිය යුතු යැයි අප සිතන්නේ නැත. ඒ යෝජනාවට අපි නම් ෆුල් සපෝට්ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි කියමනක් තිබෙන බව සිහියේ තබාගෙන කටයුතු කළහොත් සියලු දෙනාගේම නැතත් රටේ බහුතරයක සහාය ඒ සඳහා ලබා ගත හැකිවනු ඇතැයිද ෂුවර්ය.

සියලුම දේශපාලකයන් තමන්ගේ වාහනවල තනිව ගමන් නොකර මාර්ගයේ සිටින දෙතුන් දෙනකු නංවාගෙන යන්​නේ නම් තනිව වාහනයක ගමන් කිරීම තහනම් කිරීමට අමුතුවෙන් නීති පැනවිය යුතුවනු ඇතැයි අප සිතන්නේ නැත. මැති ඇමැතිවරුන්ගේ වාහනවල ප්‍රමාණය අනුව දෙතුන් දෙනකු නොව හය හත් දෙනකුවුවත් නංවාගෙන යා හැකිවනු ඇත.

මැති ඇමැතිවරුන් ගමනක් යන විට යන්නේ අප මෙන් තනි වාහනයක නොව වාහන දෙක තුනක් සමගය. තම තමන්ගේ ආරක්ෂක රථ, පරිවාර රථ භාවිතයද නැවැත්වීමට ඔවුන් කටයුතු කළහොත් තවත් විශාල ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි නොවේද?

දේශපාලකයන් තම බිරිඳට, දුවට, පුතාට පවුලේ සාමාජිකයන් සඳහා පමණක් නොව බල්ලා, පූසාට බෙහෙත් ගෙන යන්නටද වාහන වෙන් කොට ඇති බව කවුරුත් දන්නා කාරණයකි. ​රටේ ඉන්ධන පිරිමසා ගැනීමට ඇත්තටම කල්පනා කරන්නේ නම්, පවුලේ සියලු ගමන් බිමන් එක වාහනයකින් ඉටු කර ගැනීමට දේශපාලකයන් කල්පනා නොකරන්නේ ඇයි? එලෙස දේශපාලකයන්ට එක වාහනයකින් සෑහීමකට පත් වන්නට හැකි නම්, ඉන්ධන ඉතිරිවනවා පමණක් නොව ඔවුන්ගේ අමතර වාහන නඩත්තුව සඳහා වැය වන ජාතික ධනයද ඉතිරි කරගත හැකිවනු ඇත.

මැති ඇමැතිවරුන්ට පමණක් නොව සංස්ථා, මණ්ඩල ඇතුළු රජයේ ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල හා ප්‍රධානීන්ටද එක වාහනයක් භාවිත කරමින් ඉන්ධන පිරිමසා ගැනීම සඳහා ජනතාවට ආදර්ශයක් ලබා දිය හැකිය. දේශපාලකයන්ට එක් වාහනයක් පමණක් භාවිත කළ හැකි නම්, එය අනවශ්‍ය මාර්ග තදබදයන් අඩුවීමටද හේතුවක් විය හැකිය. එසේම පොදු ජනතාව සමග තම වාහනයෙන් ගමන් කළ හැකි නම් එය ඔවුන්ට තම ඡන්ද ගොඩ වැඩි කර ගැනීමටද හොඳ උපක්‍රමයක්ද වනු ඇත.

උදා වී ඇත්තේ නන්නාඳුනන මිනිසුන් පමණක් නොව තම නිවසේ සාමාජිකයන්ගෙන් පවා තරමක් දුරස්ව සිටිය යුතු කාලයකි. හැම කෙනකුම පාහේ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරනවාට වඩා කුමක් හෝ තමන්ගේ වාහන කට්ටක ගමන් කරන්නට උත්සාහ කරන්නේද- සැප පහසුව තකා නොව සෞඛ්‍ය ආරක්ෂාව සඳහාය. එවැනි තත්ත්වයක් තුළ නන්නාඳුනන අය තම වාහනයේ නංවා ගැනීමෙන් සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවද දයාසිරි ජයසේකර ඇමැතිවරයා පැහැදිලි කරන්නේ නම් වැදගත්ය.

ඉන්ධන පිරිමසාගත යුත්තේ අපිට තෙල් ගන්නට ඩොලර් නැති නිසා නොව පොසිල ඉන්ධන යනු සීමිත සම්පතක් වන නිසාය. මේනිසා ඩොලර් ඇතත් නැතත් ඉන්ධන පිරිමැසීමෙන් භාවිත කිරීම අප කාගේත් ජාතික පමණක් නොව සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම ඉටු කළ යුතු වගකීමක් හා යුතුකමක්ද වේ. එසේ වුවත් අප කිසිවකුත් ඒ ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැති බව අප කවුරුත් දන්නා කාරණයකි.

අප කවුරුත් වඩා කැමැති තමන්ගේම වාහනයකින් ගමන් බිමන් යන්නටය. පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ තමන්ගේම කියා වාහනයක් නැති හෝ තිබුණත් එය නඩත්තු කරන්නට හැකියාවක් නොමැති අය පමණය. මේ ආකාරයට පෞද්ගලික වාහන ප්‍රමාණය වැඩිවීම නිසා අනවශ්‍ය ලෙස ඉන්ධන භාවිතයක් සිදුවනවා පමණක් නොව ඒ නිසා මාර්ගවල අධික වාහන තදබදයක් ඇති කිරීමට මෙන්ම පරිසර දූෂණය ඉහළ යෑමටද හේතුවකි. කාටත් පහසුවෙන් ගමන් බිමන් යා හැකි පොදු ප්‍රවාහන සේවාවක් තිබේ නම් මෙම ප්‍රශ්න කිසිවක් උද්ගතවන්නේ නැත. මහජන හිතකාමී පොදු ප්‍රවාහන සේවා ඇති කිරීමේ වගකීම ඇත්තේ ජනතාවට නොව දේශය පාලනය කළ හා කරන පාලකයන්ටය.

කෙසේ වෙතත් හැම කාරණයකදීම තමන්ගේ පව් රටේ ජනතාවගේ කර පිටින් යැවීම අපේ දේශපාලනයේ පවතින කැත පුරුද්දකි. දයාසිරි ජයසේකර ඇමැතිවරයා කියන ආකාරයට රටේ ඉන්ධන භාවිතය ඉහළ ගොස් ඇත්තේද අප නිසාය. ඩොලර් හිඟවී ඇත්තේද අප නිසාය. කොවිඩ් වසංගතය ලෝකයේම ආර්ථිකයන් අඩපණ කර ඇති බව සැබෑවක් නමුත් අපට සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි වැඩකි. කොවිඩ් වසංගතය නිසා අපට සිදුව ඇත්තේ ඒ වන විටත් පැවැති ආර්ථික අර්බුදය උත්සන්න වීමය. මේ යන හැටියට පෞද්ගලික වාහනවල එක් අයකු පමණක් ගන් කිරීම තහනම් කිරීමට අමුතුවෙන් නීති පැනවීමට අවශ්‍ය වනු ඇතැයි සිතිය නොහැකිය. හෙට අනිද්දා වන විට කොහොමත් වාහන සඳහා ඉන්ධන සපයා ගැනීම අසීරු වුවහොත් ඉබේටම වාහන ධාවනය ඇන හිටින නිසාය.