විශේෂාංග

ඇමරිකාව ලංකාවේ ඉඩම් මනිනවාද? ඇමරිකා හමුදා ලංකාවට ගොඩබහිනවාද?

ඇමරිකාව යනුවෙන් කී විට බොහෝ ලාංකිකයන්ට ඇතිවන්නේ සැකයකි. ඒ බව මේ දිනවල වැඩි වී ඇත්තේ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම මෙන්ම ඇක්සා, සෝෆා යන ගිවිසුම් ඇතුළු කරුණු කීපයක් නිසාය. මෙම ගිවිසුම මගින් ඇමෙරිකාව ලංකාව අල්ලන්න හදන බවට චෝදනා එල්ල විය. ඒ ගැන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙස්ලිට්ස් ‘සති අග අරුණේ‘ අපේ නියෝජිතයාට අදහස් දැක්වූයේ මෙසේය.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අධ්‍යයනය කරන්න ආණ්ඩුව කාලය ගෙන තියෙනවා. ඹබ කොතරම් කාලයක් මේ සඳහා බලා ඉන්නවද. ගිවිසුම අත්සන් කරන්න කාල රාමුවක් තියෙනවද..?

ඇත්තටම මෙම යෝජිත සංවර්ධන වැඩසටහන සමාලෝචන කිරීමට රජය කටයුතු කිරීම ගැන අප සතුටු වෙනවා. මේ සඳහා නිශ්චිත කාල රාමුවක් අප නියම කරගෙන නැහැ. ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ ගිවිසුම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ගැනීමට ශ්‍රී ලංකා රජය කමිටුවක් පත්කර තිබෙනවා. මෙවැනි කමිටුවක අවශ්‍යතාවක් ඇතැයි ඔබ හිතනවද..?

මෙවැනි සංවර්ධන වැඩසටහන් පිළිබඳ අධ්‍යයනයන් කිරීම අපි සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම ව්‍යාපෘතියේ ප්‍රමුඛතා තීරණය කරන්න වගේම ව්‍යාපෘති ලැයිස්තුව තීරණය කරන්න ඇමරිකාවත් ශ්‍රී ලංකා රජයත් එකතුවී කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මකවී තිබෙනවා. විශේෂයෙන්ම සිවිල් සමාජය, ව්‍යාපාරික ප්‍රජාව , විශ්වවිද්‍යාල ප්‍රජා වැනි විවිධ අයගෙන් අදහස් විමසා තිබෙනවා. ඒ විතරක් නොවේ ශ්‍රී ලංකා රජය හාවඩ් විශ්වවිද්‍යාලය ලවා විශේෂ පර් යේෂණයකුත් මේ සම්බන්ධයෙන් කළා. මොරටුව විශ්වවිද්‍යාලයත් සම්බන්ධවෙලා ඒ ආකාරයට කරලා තියෙනවා. මෙලෙස අදහස් විමසීම ඉතාම ප්‍රයෝජනවත් බව අපි හිතනවා.

නමුත් කලින් රජය මෙවැනි ජනතා අදහස් විමසීමක් කළේ නැහැ. ඇමරිකාව ඒ පිළිබඳ එම රජයට යෝජනාවක් කළේත් නැහැ..?

ඒක කිසිසේත්ම සත්‍යයක් නොවෙයි. සංවර්ධන යෝජනා සකස් කරන ඒ කාලසීමාව තුළ අවුරුදු දෙකක් පමණ අප පර් යේෂණ අධ්‍යයනවල නිරත වුණා. විශේෂයෙන්ම මා කලින් සඳහන් කළ මොරටුව විශ්වවිද්‍යාලය, පසුව ශ්‍රී ලංකා රජය හාවඩ් විශ්ව විද්‍යාලය ලවා කළ අධ්‍යයනය, ඊට අමතරව වාණිජ මණ්ඩලය ඇතුළු ප්‍රජාව සමග අදහස් විමසීම් කළා. ඒ වගේම මේ කරන යෝජනාවන් මහජනතාවගේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි සැකසෙන බවට තීරණය කර ගැනීම සඳහා තමයි මේ අධ්‍යයනයන් සියල්ල කළේ. ඒක ශ්‍රී ලංකා රජයෙන් යොමුවෙලා කළ දෙයක්. ඇමරිකානු රජය මූලිකවෙලා කළ දෙයක් නොවේ. 2005 සිට ශ්‍රී ලංකාවේ පැවැති රජයන් ඇමරිකානු රජය සමගින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන ඇමරිකානු රජයේ සංවර්ධන සහකාර ආයතනය සමගින් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා එළඹීමට සාකච්ඡා කරගෙන ආවා. එනමුත් මේ අවස්ථාවේදී තමයි අපි නිශ්චිත ව්‍යාපෘති, නිශ්චිත වැඩසටහන් අනුව මේ ආකාරයට ඉදිරියට ගෙනැවිත් තිබෙන්නේ.

2019 දෙසැම්බර් 31ට පෙර එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකළොත් ඉන් ඉවත්ව යන බව මුලින් කී ඇමරිකාව දැන් එය අධ්‍යයනය කරන්න ආණ්ඩුවට කාලය දී තිබෙනවා. මේ කල් මරන්නේ මහමැතිවරණය අවසන් වනතුරුද..?

නිශ්චිත දිනයක් ඇත්තටම අප නියම කරගෙන නැහැ. ඔබ ඔය පවසන දිනය කොහෙන් ආවද කියන්න මම දන්නේ නැහැ. රජය දැනට මෙය සමාලෝචනය කරගෙන යනවා. අපි එය පිළිගන්නවා. ඇත්තෙන්ම මැතිවරණ පසුබිමක මේ ගිවිසුම ගැන කතාකරන තත්ත්වයක් උදාවෙලා තිබීම හරි කනගාටුදායකයි. මොකද මේක සංවර්ධන සහකාර ප්‍රදානයක්. ප්‍රදානයක් සඳහා කරන යෝජනාවක්. නමුත් මේක අතිශයින් දේශපාලනීකරණයට ලක්වෙලා තියෙනවා. මේක ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීමේ අරමුණින් කරගෙන යන ක්‍රියාදාමයක්.අපි දෙගොල්ලන්ටම තියෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් එකම අරමුණක්. ඒ වගේම හොඳ හවුල්කාරිත්ව අදහසින් ශ්‍රී ලංකාවේ ජනතාවට තමන්ගේ අභිමතාර්ථයන් මුදුන්පත්කර ගැනීමට උදව් කරන්න තමයි අපි මේ වෑයම් කරන්නේ.

ඇමරිකාව ලංකාවේ ඉඩම් මනින්න යනවා කියන එක තමයි මේ ගිවිසුම තුළ ශ්‍රී ලාංකීය ජනතාවට ප්‍රශ්නගත කොටසක්ව තිබෙන්නේ. රටක ඉඩම් මැනීමට තවත් රටකට අයිතියක් තියෙනවද.?

මේ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒක සැබෑ තොරතුරක් නොවේ. කිසිම ආකාරයකට ශ්‍රී ලංකාවේ ඉඩම් මැනීමකට ඇමරිකාව සම්බන්ධ වන්නෙ නැහැ. අපි මෙතනදි අරමුදල් ලබා දෙනවා ශ්‍රී ලංකා රජයට, දැනටමත් රජයේ ඇති ඉඩම් මැනීම සහ ඉඩම් වාර්තා ඩිජිටල්කරණය සඳහා ඇති වැඩසටහන් ගණනාවකට. මෙහිදී සියලු කටයුතු වන්නේ රජයෙන්. අපි කරන්නේ ප්‍රදානයක්, ත්‍යාගයක් වගේ. මුදල් දීමේ කොටස පමණයි කරන්නේ. මෙය ණයකුත් නෙවෙයි. අපි සූදානම් වන්නේ රජය විසින් කරගෙන යන වැඩසටහනක් සම්පූර්ණ කරගන්න මිසක් අලුතින් වැඩක් පටන් ගන්න නෙවෙයි . ඇත්තම කියනවා නම් ශ්‍රී ලංකා රජය තමයි කුමන විදිහේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය දියයුතුද යන්න තීරණය කරන්නේ. ඉඩම් සම්බන්ධයෙන් මෙම කාරණාව අපට අවශ්‍යයි. ඒ සඳහා අවධානය යොමුකරලා මේ ප්‍රදානයන් දෙන ලෙස ඉල්ලීම් කළේ ඇමරිකාව නොවෙයි ශ්‍රී ලංකා රජයයි.

යම් ලෙසකින් මේ ඉඩම් ඩිජිටල්කරණයට අදාළ කොටස ගිවිසුමෙන් ඉවත් කිරීමට රජය පැත්තෙන් සංශෝධනයක් ආවොත් ඇමරිකාව ඊට එකඟ වෙනවද.?

මේ සම්බන්ධයෙන් දැනට කරගෙන යන සමාලෝචනය අවසානයේදී මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න අපි සූදානමින් ඉන්නවා. නමුත් අපි අවුරුදු දෙකක් මුළුල්ලේ අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රජාවේ අනෙකුත් පුද්ගලයන් සමගත් අදහස් විමසලා තමයි මේ යෝජනාවලිය සකස් කළේ. කෙසේ නමුත් සාකච්ඡා සඳහා අප විවෘතයි.

එම්.සී.සී. ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැඩි විරෝධතාවක් දැක්වූවා. කැබිනට් මණ්ඩලයේදී පවා ඔහු මේ ගිවිසුම ප්‍රතික්ෂේප කළා. ඔබට ඒ ගැන කිවහැක්කේ කුමක්ද ?

ඇත්තෙන්ම ජනාධිපති සිරිසේන 2018 දෙසැම්බරයේ මේ ගිවිසුම අත්සන් කිරීමට සූදානම්ව සිටියා. ඔබටත් එය මතක ඇති. ඒත් පසුකාලයේදී මේ වැරදි ප්‍රචාරයන් සහ විරෝධතා ව්‍යාපාර වැඩි වැඩියෙන් ශක්තිමත් වීමත් සමග විවිධ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. නමුත් එම රජය අවසන් වන විට කැබිනට් එක මේ ගිවිසුම අනුමත කරනු ලැබුවා.

ඇක්සා ගිවිසුම අනෙක් ප්‍රශ්නය. ඇක්සා ගිවිසුම අනුව ඕනෑම අවස්ථාවක ඇමරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේ මුහුද, ගොඩබිම සහ අහස විතරක් නොවේ සන්නිවේදන පහසුකම්ද ලබාදීමට අප බැඳී සිටින බවයි කියන්නේ. කලාපීය රටක් සමග කරන යුද කටයුත්තකදී ඇමරිකාවට අපේ රට භාවිතා කිරීමටත් මේ ගිවිසුම යටතේ හැකිවෙන බවයි කියන්නේ..?

මේක තවත් අසත්‍ය ප්‍රචාරයක්. මෙය ලොජිස්ටික් නැතිනම් භාණ්ඩ සැපයුම් සේවා කටයුතු සඳහා ඇතිවූ එකඟතාවක්. එතැනදී රජයේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන යුද හමුදා බළඇණියක් හෝ හමුදා නිලධාරීන් හෝ ඒ අයට අවශ්‍ය කරන ආහාර, ජලය හෝ ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් තමයි මේ එකඟතාවන් ඇති වන්නේ. එතැනදී ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බැඳීමක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම මෙය අන්‍යෝන්‍යයි. ශ්‍රී ලංකා රජයේ හමුදාවක් ඇමරිකාවට ගියොත් ඒ ආකාරයටම ඒ පහසුකම් ලබාගත හැකියි. මෙවැනි එකඟතා තවත් රටවල් සියයකට අධික සංඛ්‍යාවක් සමග අපේ තිබෙනවා ඉන්දියාවත් ඇතුළුව.

සෝෆා ගිවිසුම අත්සන් කරන්න ප්‍රමාදවන්නේ ඇයි?

ප්‍රමාදය කියන වචනය ඔබ පාවිච්චි කිරීමත් සමගම මේ සඳහා කාල රාමුවක් ඇති බව ගම්‍ය වෙනවා. නමුත් ඇමරිකාවත් ශ්‍රී ලංකාවත් අතරේ සාකච්ඡා වෙලා තියෙනවා මේ ගැන. කලින් ආණ්ඩුව සමගත් සම්මුති සාකච්ඡා අපි යම් මට්ටමකට මේ ගැන පැවැත්වූවා. මේක අවශ්‍යතාවය අනුව ඉදිරියේදී සිදුවිය හැකි දෙයක්. මේ සඳහා නිශ්චිත කාල රාමුවක් නැහැ. අපිට අවශ්‍ය නම් මේක කරන්න අපි එකතු වෙලා මේක කළා. එතැනදි මම අපි කියා අදහස් කළේ අප දෙගොල්ලන්ම. ඇමරිකාවත් ශ්‍රී ලංකා රජයත්.

සෝෆා ගිවිසුමෙන් කෙරෙන්නේ ඇක්සා ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු හමුදාවන්ට නීතියේ මුක්තියදීම බවට චෝදනා කෙරෙනවා. ඔවුන් අපේ රටේ නීතියට යටත් නොවීමක් නේද මෙයින් සිදුවන්නේ..?

ඔය කතාවත් සම්පූර්ණ මිථ්‍යාවක්. ඔබේ පෞද්ගලික මතය නොවෙන්න පුළුවන් . නමුත් ඔය කියන කාරණා යථාර්ථය නොවේ. විශේෂයෙන්ම ඇක්සා ගිවිසුම ලොජිස්ටිකල් නැතිනම් සැපයුම් සේවා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති එකඟතාවක්. එතනදි ශ්‍රී ලංකාවට යම්කිසි හමුදාවක් එනවා නම් එන්නේ ශ්‍රී ලංකාවේ ආරාධනාවමත පමණයි. සෝෆා කියන්නේ Status Of force Agreement. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට සංචාරය කරන යුද හමුදා බළකායන්ගේ තත්ත්වය සම්බන්ධයෙන්. එතකොට මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයත් ඇමරිකානු රජයත් අතර නිසි සාකච්ඡා කරන ඒ අයගේ නෛතික තත්ත්වය කුමක්ද කියලා එකඟතාවකට තමයි යොමු වන්නේ. 1995 සිට මූලික, යම් ආකාරයක කෙටි එකඟතාවක් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවත් සමග තිබෙනවා.මේක තව දුරටත් ව්‍යාප්ත කිරීමට තමයි අපි කල්පනා කළේ. නමුත් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම එකඟත්වය, දෙපාර්ශ්වයේම පහසුව අනුව එය ඉදිරියේදී සුදුසු ආකාරයකට සිද්ධ වේවි. ඒ වගේම පැමිණෙන යුද හමුදා බළකායන්ගේ තත්ත්වය ගැන කතාකරන කොට ශ්‍රී ලංකාවත් ඇමරිකාවත් අතරේ 2006 සිට ඉදිරියට වර්ධනය වෙන ආරක්ෂක සහයෝගීතාවක් තමයි තිබෙන්නේ.
දැනට යුද අභ්‍යාස 33 ක් 34 ක් පමණ අප දෙරට අතර පැවැත්වීමට හැකිවුණා. ඒ සියල්ල කළේ ශ්‍රී ලංකා රජයේ ආරාධනාවෙන්. අනාගතයේදීත් මේ ක්‍රියාදාමයන් වෙනවා. කලින් සම්මුති සාකච්ඡා කරලා යම් යම් කොන්දේසි සහ නියමයන් තීරණය කරගෙන සිටීම තුළ මෙවන් අභ්‍යාස පහසු වෙනවා. නමුත් මේ සඳහා ශ්‍රී ලංකා රජයට කිසිදු බැඳීමක් නැහැ. අපි මේ ගිවිසුම අත්සන් කිරීම සඳහා නිශ්චිත කාලරාමු නියම කරගෙනත් නැහැ.

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ කළා කියා පහුගිය කාලේ ඇතැම් රටවල් චෝදනා කළා. අපේ හමුදාව නරක නම් ඇයි ඇමරිකාව ඔවුන් සමග විවිධ ව්‍යාපෘති කරන්නේ.?

ඔබේ ප්‍රශ්නය තුළම ඒ සඳහා පිළිතුර තිබෙනවා. ශ්‍රී ලංකා හමුදාවත් සමග ඇමරිකාව මේ ආකාරයට සහයෝගයෙන් ක්‍රියා කිරීමට යොමුවෙලා තියෙනවා. ස්වෛරී රාජ්‍යයන් දෙකක් විදිහට අප දෙරටටම පොදු ආරක්ෂක කරුණු තියෙනවා. මුහුදු සීමාව තුළ වෙන්න පුළුවන්, මුහුදු කොල්ලකරුවන්, දේශ සීමා අභිබවා යන අපරාධ, මත් ද්‍රව්‍ය, ත්‍රස්තවාදය වැනි කරුණු වලදී අප දෙරටට සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් හොඳ තත්ත්වයකට පැමිණිය හැකියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ළඟදී රැස්වෙනවා. ඇමරිකාව දැන් එහි සාමාජිකයෙක් නොවේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පක්ෂග්‍රාහීව වැඩ කරන කුණු වළක් බව ඔබගේ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළා. කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන්නෙත් මෙවන් පක්ෂග්‍රාහී පිළිවෙතක් බව ඔබ පිළිගන්නවද.?

අපි මෙතැනදි අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා රජය ජනතාවට දුන් පොරොන්දු පිළිබඳවයි. විවිධ ජනවර්ග අතරේ ප්‍රතිසන්ධානය අවශ්‍ය කරලා තිබෙනවා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරවලින් පසුව එහි අවශ්‍යතාව තවදුරටත් දැඩිවී තිබෙනවා. සිංහල දෙමළ, සිංහල මුස්ලිම් ආදී වශයෙන් විවිධ පැතිකඩයන් මේ ප්‍රතිසන්ධානයේ තියෙනවා. ඒ වගේම සත්‍ය පැවසීමත් ඉතාම වැදගත්. දුක් ගැහැට වලට ලක්වූ අයට නිසි පිළිතුරු දීම අවශ්‍යයි. එවිට තමයි ඔවුන්ට අනාගතය දෙස බැලිය හැකි වන්නේ.

කනගාටුවෙන් වුවත් ඔබෙන් මේ ප්‍රශ්නය අසන්න සිද්ධ වෙනවා. පාස්කු ප්‍රහාරය පිටුපස ඇමරිකාව සිටි බවට ඇතැමුන් චෝදනා කරනවා..?

අත්තටම මේ චෝදනාවත් අමූලික අසත්‍යයක් බව මම කියනවා. අනෙක් අයට වගේම අපටත් එය අනපේක්ෂිත අත්දැකීමක් වුණා. එය අපේ හදවත්වලට විශාල වේදනාවක් ගෙනදුන් සිද්ධියක් වුණා. ඇමරිකානුවන් පස් දෙනෙක් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් සමග ජීවිත පූජා කළා. ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි සටන ඉදිරියට ගෙන යනවා. ඒ තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය දීමටත් ඇමරිකාව කටයුතුකර තිබෙනවා. ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත අපි විමර්ශන කටයුතු සඳහාත්, ත්‍රස්තවාදීන් තවදුරටත් නිදැල්ලේ සැරිසරන්නේ නැති බව සහතික කර ගැනීම සඳහාත් සහයෝගය දුන්නා. අපේ එෆ්.බී.අයි. නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියට සහාය සැපයුවා. එදා කොළඹට විනාශකාරී දිනයක්. මමත් එදා හිටියේ කොළඹ. අපි දුක්බර ලෙස පුදුමයට පත් වුණා ඒ සිදුවීමත් සමග.

ඇමරිකාවේ යුදමය මැදිහත්වීම් නිසා ඇෆ්ගනිස්තානය, ලිබියාව, සිරියාව වැනි රටවල පිරිස් ඝාතනය වී තිබෙනවා. මේවා යුද අපරාධ නොවේද..?

අපි විශ්වාස කරනවා සිවිල් වැසියන් ආරක්ෂා කිරීමත් සිවිල් මරණ වළක්වා ගැනීමත් අපට තිබෙන බැඳීමක් කියලා. විශ්වීය හමුදා යුක්ති සංග්‍රහය උල්ලංඝනය කරන අයට දැඩි දඬුවම් නියම කරලා තියෙනවා. එනිසා අපි මෙය ඉතා බරපතළ කාරණයක් විදිහටයි සලකන්නේ.

අපේ රටේ යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරද්දී ඔබ ඊට විරුද්ධත්වය දැක්වූවා. ඔබ කළේ රටක ස්වෛරීයත්වයට අත පෙවීමක් නොවේද..?

අපි ඒ පත්වීමට විරෝධතාවය පළ කළේ නැහැ. ඒ පිළිබඳව අපි අපේ අවධානය සහ සැලකිල්ල යොමු කරනවා කියන එක තමයි අපි කිව්වේ. concern කියන වචනයයි අපි යොදා ගත්තේ. එක් ස්වෛරී රාජ්‍යයක් වශයෙන් තවත් ස්වෛරී රාජ්‍යයක් පිළිබඳ යම්කිසි මතයක් ඇත්නම් එය පළ කිරීමට අපිට යම් කිසි අයිතිවාසිකමක්, බැඳීමක් තිබෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම සිරිසේන ජනාධිපතිවරයාට එම පත්කිරීම කිරීමට සම්පූර්ණ බලය සහ අධිකාරය තිබුණා. අප කළේ ඒ පිළිබඳව අපට තිබුණු යම් මතයක් ප්‍රකාශ කිරීම පමණයි.

සංස්කෘතික සංරක්ෂණය සඳහා වූ ඇමරිකානු තානාපති අරමුදල නමින් විවිධ ව්‍යාපෘති අපේ රටේ වෙනවා. මොකද්ද මේ අරමුදල.?

මම සතටු වෙනවා මේ ගැන විමසීම ගැන. මේ අරමුදල යටතේ ලබා දෙන්නේ ණය නොවේ ප්‍රදාන. මේ තුළින් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගැනීම සඳහා සහයෝගය දෙනවා. ඊට අමතරව සංගීතය , නර්තනය වැනිදේත් කාලයත් සමග අභාවයට යන උරුමයන් ආරක්ෂා කර දීමටත් අපේ සහාය මේ තුළින් ශ්‍රී ලංකාවට දෙනවා. අපේ හවුල්කරුවන්ගේ සංස්කෘතික උරුමයන්ට අප දක්වන ගෞරවය එමගින් අපි පෙන්වන්න උත්සාහ කරනවා. අනෙක් අතට මේ මගින් රටේ සංචාරක කර්මාන්තයට සහාය දීම සහ පුද්ගල ජීවනෝපාය මාර්ගයන්ට සහාය ලබාදීමත් මෙමගින් සිද්ධ වෙනවා. ඇමරිකන් කෝනර් සංකල්පය යටතේ මාතර, කොළඹ, මහනුවර සහ යාපනේ තරුණ තරුණියන්ට අධ්‍යාපනික වැඩසටහන් අප කරනවා. උතුරට වගේම දකුණටත් අපි සමානව වැඩ සටහන් කරනවා.

අප මේ සාකච්ඡා කරන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාබදව දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිවෙනවා. ඇමරිකානු තානාපති කාර්යාලයට මෙතරම් දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණයක් කුමකටද කියා ශ්‍රී ලාංකීය ජනතාව සැකයෙන් බලනවා.?

ඩොලර් මිලියන 250 ක් වියදම් කරලා ඉතා නවීන සහ කාලයට ඔබින ලෙස අපි මේ ගොඩනැගිල්ල නිර්මාණය කර තිබෙනවා. මෙය දෙරට හොඳ මිත්‍රත්වය ස්පර්ශ කළ හැකි සාධකයක් ලෙස හඳුන්වන්න මා කැමතියි. වෙනත් ස්ථානයක තිබෙන ඇමරිකන් මධ්‍යස්ථානයත් අප මෙතැනට ගෙන එනවා. ඔබ දකිනවා ඇති වීසා ගැනීමට සහ කොන්සියුලර් කටයුතු සඳහා එන ජනතාව එළියේ පෝළිමේ හිටගෙන ඉන්නවා. එය එතරම් සුදුසු තත්ත්වයක් නොවේ. අලුත් ගොඩනැගිල්ල තුළ ඒ අයට සුව පහසුවෙන් ඉන්න ඉඩකඩ සලසා තිබෙනවා. ගොඩනැගිල්ල විශාල ලෙස පෙනෙනවා නම් පෙනෙන්නේ ඒ නිසායි.

මෙරට ඇමරිකානු තානාපතිනිය ලෙස ඔබ ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දෙන පණිවුඩය මොකද්ද.?

ශක්තිමත් ස්වාධීන ස්වෛරී ශ්‍රී ලංකාවක් පැවතිය යුතු බව අප විශ්වාස කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය දීමට අපට බැඳීමක් තියෙනවා. ඒ නිසා තමයි මේ ගිවිසුම් සම්බන්ධයෙන් වුණත් අපි ඉතා විනිවිදභාවයෙන් යුතුව සාකච්ඡාකර එකඟත්වයට එන්නේ. ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික හවුල්කරුවා වී‌මේ විභවය ඇමරිකාවට තියෙනවා. ශ්‍රී ලංකාවේ අපනයන සියයට 25ක් දැනට ඇමරිකාවට යනවා. ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආයෝජන ශ්‍රී ලංකාවට ඇවිත් තිබෙනවා. ඩොලර් බිලියන දෙකකට අධික ප්‍රදාන ලබා දී තිබෙනවා. අන්‍යෝන්‍ය ගරුත්වය, සාරධර්ම ඇති සබඳතාවක් දෙරටේ ජනතාව අතර පවත්වාගෙන යාමටත් තානාපතිවරිය ලෙස මා කටයුතු කරනවා.

අජිත් අලහකෝන්