විශේෂාංග

ඇමරිකාව, චීනය හා රුසියාව අභ්‍යවකාශ යුද්ධයක පැටලෙයිද?

අභ්‍යවකාශයේ කෙරෙන යුද්ධ ගැන සාමාන්‍යයෙන් කියවන්නට, නරඹන්නට ලැබෙන්නේ විද්‍යා ප්‍රබන්ධ කතාවල සහ චිත්‍රපටවල ය. නමුත් දැන් මෙවැනි යුද්ධ සැබෑ ලෝකයේ ද සිදුවෙන්නට යන බවට මේ වන විට පෙරනිමිති පහල වෙමින් තිබේ. ගොඩබිම, අහස, මුහුද මෙන්ම ඉදිරියේ දී අභ්‍යවකාශය ද සටන් බිමක් බවට පත් වීමට මෙම තත්ත්වය නිසා හැකියාවක් ඇති බව ආරක්‍ෂක විශේෂඥයින්ගේ විශ්වාසයයි. මේ පිළිබඳ කතාබහක් කරළියට ඒමට හේතු වූ ආසන්නම සිද්ධිය වූයේ පසුගිය දිනවල ඇමෙරිකාව ඔවුන්ගේ අභ්‍යවකාශ ආරක්‍ෂක සැලසුම් පිළිබඳ වාර්තාවක් එළිදැක්වීමයි. එහි අඩංගු වූයේ ‘අභ්‍යවකාශ බළකායක්’ (Space Force) පිහිටුවීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි.
මෙම වැඩපිළිවෙළෙහි අවසන් අරමුණු ලෙස සැලකෙන්නේ ඇමෙරිකාවට එරෙහිව සතුරන් විසින් එල්ල කරනු ලබන මිසයිල හඳුනා ගැනීම, ඒවා ලුහුබැඳීම සහ විනාශ කිරීම යනාදියයි. මේ ආකාරයෙන් සතුරු මිසයිල විනාශ කිරීම සඳහා යොදා ගන්නා මිසයිල ආරක්‍ෂක පද්ධති (Missile Defence Systems) දැනටත් මෙම රටවල ක්‍රියාත්මක වන නමුත් ඒවා සියල්ලම පාහේ ගොඩබිම සිට ක්‍රියාත්මක කෙරෙන ඒවා වේ. නමුත් මෙවර ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලබන්නේ අභ්‍යවකාශයේ සිට මෙම මිසයිල ලුහුබැඳ විනාශ කිරීමට සමත් තාක්‍ෂණික පද්ධතියක් ගොඩනැගීමට අදාළ වැඩපිළිවෙළකි.

මෙම වාර්තාව නිකුත් කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ මේ හරහා ගොඩනැගෙන ‘අභ්‍යවකාශ බළකාය’ දැනට ඇමෙරිකානු සන්නද්ධ හමුදාවල පවතින අංශ පහට අලුතෙන්ම එක්වන හයවෙනි බළකාය වනු ඇති බවයි. දැනට එරට සන්නද්ධ හමුදා අංශ වනුයේ යුද හමුදාව, ගුවන් හමුදාව, වෙරළාරක්‍ෂක බළකාය, මුහුදු බළකාය සහ නාවුක හමුදාව යන ඒවා ය. මෙවැනි බළකායක් පිළිබඳ අදහස ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙයට කලකට පෙර නවසිය අසූව දශකයේ ඇමෙරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධය උණුසුම්ව පැවැති සමයේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා විසින් ද මෙයට සමාන සැලැස්මක් පිළිබඳ යෝජනා කරන ලද නමුත් එය ක්‍රියාත්මක වූයේ නැත. නවසිය අනූ ගණන්වල සීතල යුද්ධය අවසන් වීමෙන් පසු එම සැලසුම සම්පූර්ණයෙන් අත්හැර දමනු ලැබිණි.

ඉදිරි කාලයේ දී සිය ප්‍රතිවාදීන් අභ්‍යවකාශය සටන් බිමක් ලෙස යොදා ගනු ඇතැයි යන්න පිළිබඳව ඇමෙරිකාව, චීනය, රුසියාව යන සුපිරි බලවතුන් තිදෙනාම එකිනෙකා කෙරෙහි කිසියම් සැකයකින්, අවිශ්වාසයකින් පසුවන බව පෙනී යයි. මෙම අභ්‍යවකාශ සටන්වල දී ප්‍රධානම ඉලක්කයන් වනු ඇත්තේ මේ වන විට උඩු ගුවනෙහි රඳවා ඇති චන්ද්‍රිකා ආදිය බව විශ්වාස කෙරේ. මෙම චන්ද්‍රිකා පෘථිවියෙහි ඇති බොහෝ වැදගත් පද්ධතීන් ගේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යම වන එ්වා ය. සන්නිවේදන කටයුතු ආදිය මේ අතරින් තීරණාත්මක වෙයි. බොහෝ විට යුද කටයුතු, ආරක්‍ෂක කටයුතු පවා සම්බන්ධීකරණය කරනු ලබන්නේ මෙම චන්ද්‍රිකා සන්නිවේදන ජාලයන් හරහා බව රහසක් නොවේ. මේ නිසා යම් රටකට අයත් මෙවැනි චන්ද්‍රිකාවලට ප්‍රහාරයක් එල්ල වුවහොත් එයින් එම චන්ද්‍රිකා විසින් පාලනය කෙරෙන සියලු පද්ධති අඩපණ වෙයි. නිදසුනක් ලෙස, අදාළ රටෙහි හමුදා කටයුතු පවා දැඩි ලෙස අකර්මණ්‍ය කිරීමට මෙමගින් හැකියාව තිබේ. ඇමෙරිකාව ඉහත කී අභ්‍යවකාශ බළකාය පිහිටුවීමට යන්නේ චීනය සහ රුසියාව ඉහත කී ආකාරයෙන් සිය චන්ද්‍රිකා ආදී අභ්‍යවකාශ මෙවලම් අකර්මණ්‍ය කිරීමට හැකි නවීන අවි ආයුධ නිපදවමින් සිටිනවාය යන ස්ථාවරය මත පිහිටමිනි. ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට යන්නේ එෆ්.බී.අයි, සී.අයි.ඒ ඇතුළු විමර්ශන සහ බුද්ධි අංශවල තොරතුරු පදනම් කර ගනිමින් බව වාර්තා වෙයි.

ආර්ථික, දේශපාලන ආධිපත්‍යය වෙනුවෙන් ඇමෙරිකාව සහ චීනය අතර පවතින බල අරගලය කව්රුත් දන්නා කාරණාවකි. ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ඒමෙන් පසු මෙම ආතතිය තවත් වර්ධනය වෙමින් ඇති අන්දම දැක ගත හැකිය. ඔවුන් අතර දැන් කලෙක සිට ක්‍රියාත්මක වෙමින් ඇති වෙළෙඳ යුද්ධය ද මෙම තත්ත්වය පිළිබිඹු කරන්නකි. එමෙන්ම මේ වනවිට මැද පෙරදිග සහ නැගෙනහිර යුරෝපය ආදී කලාප කේන්‍ද්‍ර කරගෙන ඇමෙරිකාව සහ රුසියාව අතර ද පවතින්නේ උණුසුම් තත්ත්වයකි. සිරියාවේ සහ යුක්රේනයේ පැවැති තත්ත්වයන් මෙයට නිදසුන් ලෙස දැක්විය හැකි වේ. මේ අතර ඇමෙරිකාවේ සාම්ප්‍රදායික විරුද්ධවාදීන් ලෙස සැලකෙන ඉරානය, උතුරු කොරියාව වැනි පාර්ශ්ව ද බොහෝ කාරණාවලදී චීනය සහ රුසියාව සමග එක කඳවුරක් ලෙස කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. මෙම පසුබිම තුළ දැන් කලෙක සිටම මෙම පාර්ශ්ව අතර පෙරට වඩා යුදකාමී තත්ත්වයක් මෝදු වෙමින් තිබේ. අභ්‍යවකාශය ද සටන් බිමක් බවට පත් වීමේ පෙරනිමිති පළවන්නේ මෙවැනි පසුබිමක් යටතේ ය.