ඇමරිකාවට කඩේ යන ලංකාවේ වාමවාදීන්
23 January 2021
ඇමරිකාවට කඩේ යන ලංකාවේ වාමවාදීන්
23 January 2021
ඇමරිකානු රජය විසින් ඉතා වැදගත් ජාතික ආරක්ෂක ලියකියවිලිවලින් එකක් ඉකුත් ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන ලදී. 2018 වර්ෂයේදී ලියන ලද ඉන්දු - පැසිෆික් කලාපය සඳහා වන උපාය මාර්ගික සැලැස්ම මෙසේ ඉදිරිපත් කළ ලියැවිල්ලය. මෙය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ‘රහස්‍ය’ යැයි ගොනු කළ ලියවිල්ලකි. එය මාධ්‍යයෙන් මහජනතාවට නිකුත් කිරීමට නියමිතව තිබුණේ 2043 වර්ෂයේය. එය වසර 22 කට කලින් ජනතාව හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යෑම සඳහා අභිනව තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩ්න්ට කරන බලපෑමක් ලෙස දැකිය හැකිය.
ඉන්දු පැසිපික් කලාපයේ උපාය මාර්ගික එදිරිවාදිකම් සැලකිල්ලට ගනිමින් ලියන ලද මෙම සැලැස්ම ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කර ඇත්තේ චීනයේ ආර්ථික, දේශපාලනික සහ සමාජයීය ශක්තිය හීන කිරීමේ උපාය මාර්ග සහ එම කාර්යය කිරීම සඳහා දකුණු සහ අග්නිදිග ආසියාතික රටවල් මෙහෙයවන ආකාරයයි. මෙම සැලැස්ම ප්‍රකාශයට පත් වූ දිනවල ඇමරිකාවේ වොෂිංටන් අගනුවරට එල්ල වූ ප්‍රහාරයට වැඩි මාධ්‍ය අවධානයක් යොමු වූ නිසා, මෙම ලියැවිල්ලට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ නැත. නමුත් ඇමරිකාවෙන් ඔබ්බට ලෝකයේ අනාගත ආරක්ෂාව පිිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයන් සඳහා මෙම ලියවිල්ල වැදගත්ය.
2021 ජනවාරි 20 වැනිදා දිවුරුම් දුන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ උප ජනාධිපතිනිය වන කමලා හැරිස් දෙපළගේ නායකත්වයෙන් හෙබි පාලනාධිකාරිය 2018 වසරේදී ලියැවුණු ඉන්දු-පැසිෆික් කලාපය සඳහා වන උපාය මාර්ගික සැලැස්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යයිද? යන ප්‍රශ්නාර්ථය බොහෝ දෙනකුට ඇත. මෙම සැලැස්ම ට්‍රම්ප්ගේ දඩබ්බරකමට පමණක් සීමා කරන අයද බොහෝය.
එහෙත් මෙහි අඛණ්ඩතාව පිළිබඳ අප බැලිය යුත්තේ ඇමරිකාව සහ චීනය අතර සම්බන්ධතාවේ ඓතිහාසික බිඳ වැටීම සලකුණු කරන සිද්ධි සහ සන්ධිස්ථානවල සන්දර්භය තුළය. මෙම ඓතිහාසික පසුබිම පිළිබඳව ශ්‍රී ලංකාවේද තමන් ‘වාමාංශික’ හෝ ‘සමාජවාදී’ යැයි පවසන විද්වතුන් සහ කණ්ඩායම් අතරේද කිසිදු සංවාදයක් හෝ අවධානයක් නොමැත. මෙම ඉතිහාස කතාවේ එක් වැදගත් පුද්ගලයකු වන්නේ ස්බිග්නිච් බ්‍රෙසන්ස්කි නමැති අධිරාජ්‍ය සැලසුම් කිරීමේ මහ මොළකරුයි. බ්‍රෙසන්ස්කි හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර් යටතේ සේවය කළ ජාතික ආරක්ෂක උපදේශකවරයාය. ජිමී කාටර්ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙසද කටයුතු කළ බ්‍රෙසන්ස්කි අධිරාජ්‍යවාදී කඳවුරේ අභ්‍යන්තර භාරයේ සැලසුම්කරුවෙකි. ඔහු විසින් 1991 ප්‍රකාශයට පත් කළ ‘ද ග්‍රෑන්ඩ් චෙස් බෝඩ්’ (මහා චෙස් බෝඩ් එක) නම් ග්‍රන්ථයේ යුරේනියානු භූමි භාගයේ වැදගත්කම සහ ඇමෙරිකාව එය පාලනය කළයුතු බව පැහැදිලිව සඳහන් කරයි.
බ්‍රෙසන්ස්කි පවසන අන්දමට යුරේසියානු කලාපයේ එකම දේශපාලන බලාධිකාරිය තිබිය යුත්තේ ඇමෙරිකාවටයි. මෙම කලාපයේ කිසිදු ප්‍රතිවාදියකුට නැගී සිටීමට ඉඩ නොදිය යුතු බව ඔහු සඳහන් කරයි. ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් ජීවත් වන මෙම කලාපය ස්වාභාවික සම්පත් සහ වෙළෙඳාම් කටයුතුවල නිජබිමක් වන හෙයින් ඇමරිකානු අධිරාජ්‍යයේ ආධිපත්‍යය තහවුරු කරන හෝ එය අභියෝගයට ලක්වන ප්‍රධානම භූමි භාගය වන බව බ්‍රෙසන්ස්කිගේ මතය විය.
මෙම ‘මහා චෙස් බෝඩ්’ එකේ උතුරු මායිම කසකස්ථානයයි. කසකස්ථානයේ සිට බටහිරින් පිහිටි පලස්තීනය දෙසට ලෝක සිතියමේ ලකුණු කරන සෘජු රේඛාව එහි සිට ඉන්දියාවේ නැගෙනහිර කොණටත්, නැවත රුසියාවේ දකුණු කොටස හා කසකස්ථානයට යාවන රේඛාව මගින් නිර්මාණය වන ත්‍රිකෝණාකාර හැඩැති භූමි භාගය යුරේසියාවයි. දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යයට අවනත නොවන රටවලට එරෙහිව යුද්ධ රාශියක් මෙහෙයවූ භූගෝලීය කලාපය යුරේසියාවයි. මෙම කලාපයේ ඇමරිකාවට පක්ෂව කටයුතු කළේත්, දැනට එසේ කටයුතු කරන්නේත් ඊශ්‍රායලය, ඉන්දියාව සහ සවුදි අරාබිය සහ අනෙක් මැද පෙරදිග රාජාණ්ඩුය. ඒ න්‍යෂ්ටික අවි සන්තකයේ තිබෙන රුසියාව සහ චීනය සමග සෘජු ගැටුමකට එළඹිය නොහැකි වුවත් මෙම භූගෝලීය කලාපයේ දේශපාලනික, මිලිටරිමය හා ආර්ථික පාලනය ඇමරිකාව අතට ගැනීමෙන් රුසියාවේ සහ චීනයේ බලය පාලනය කළ හැකි යැයි බ්‍රෙසන්ස්කි කියා සිටියේය.
මෙම උපාය මාර්ගය ප්‍රායෝගිකව අපට පෙනෙන්නේ කෙසේද? සියලු ආකාරයේ රහසිගත හා විවෘත කඩාකප්පල්කාරී ක්‍රියාවන් සහ ප්‍රහාරයන් යොදා ගනිමින් යුරේසියාවේ ප්‍රතිවාදී බලවේගයක් හිස එසවීම ඇමරිකාව විසින් වළක්වන බව අපට පෙනේ. ඉරානයේ ඇමරිකානු මැදිහත්වීම්, ඉරාකයට නැවත නැවත ප්‍රහාර එල්ල කිරීම, ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම සහ සිරියානු යුද්ධය මෙයට උදාහරණ වේ. මෙම මෙහෙයුම් දාමයේ ඓතිහාසික පුරුකක් වන ‘ඔපරේෂන් සයික්ලෝන්’ අටකින් සෝවියට් සංගමයට එරෙහිව මුජහිදීන් ගරිල්ලන් පුහුණු කර උසිගැන්වීමට අතිවිශාල දායකත්වයක් දෙනු ලැබුවේ බ්‍රෙසන්ස්කිය. ඔහුගේ මෙම මෙහෙයුම තුළින් දරුණු ව්‍යසනකාරී බලපෑමක් මුළු කලාපය පුරා ඇතිවිය. එමගින් ඔසාමා බින් ලාදින් සහ ඇමෙරිකානු සී.අයි.ඒ. අතර සම්බන්ධතාද ස්ථිර විය.
යුරේසියානු කලාපයේ ආධිපත්‍යය දැරීමට ගන්නා තවත් උපාය මාර්ගයක් වන්නේ ලෝකයේ ප්‍රධාන මුහුදු මාර්ග පාලනය කිරීමයි. නාවික ඉතිහාසය පිළිබඳ න්‍යායාචාර්යවරයකු වූ ඇල්ෆ්‍රඩ් මහන් පවසන්නේ මුහුදු මාර්ග පාලනය කිරීමෙන් ලෝකයේ සියලු ස්වභාවික සම්පත් පාලනය කිරීමට හැකියාව ලැබෙන බවත්, එමගින් ඕනෑම රටක් තම ආධිපත්‍යයට නතුකර ගැනීමට හැකි බවත්ය. මහන්ගේ මෙම න්‍යාය රඳා පවතින්නේ ප්‍රබල නාවික බලයක් ඇති රටකට ප්‍රතිවාදී නාවික බලඇණි විනාශ කිරීමට සහ ඔවුන්ගේ වරායන් අවහිර කිරීමට ඇති හැකියාවයි. ඔහුගේ උපදෙස් පිළිපැදූ තියඩෝර් රූස්වෙල්ට්, ඇමරිකාව ලෝකයේ ප්‍රබලතම නාවික බලය බවට පත්කිරීමට කටයුතු කළේය.
දැනට යුරේසියාව අවට ඇමරිකානු ගුවන් යානා වාහන නෞකා 11 ක් සේවයේ යෙදී සිටිති. ඇමරිකාවට පක්ෂපාතී රටවල් සහ ඇමරිකාවට අයත් පැසිපික් සාගර කඳවුරු මෙම ගුවන් යානා අහසට නැංවීමට ගුවන් මංතීරු සපයති. අප චීනයේ කෝණයෙන් බැලූ විට පෙනී යන්නේ එරට සම්පූර්ණයෙන්ම පැටලීමකට මුහුණ දෙන බවයි. කොරියාවේ ඇමරිකානු හමුදා කඳවුරක් ඇත. ජපානයේ ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු තුනක් ඇත. ගුවාම් රාජ්‍යය සහ පැසිෆික් සාගරයේ අනෙක් කුඩා දූපත්වලද ඇමරිකානු හමුදා කඳවුරු තිබේ.
මේ ආකාරයෙන් මුළු පැසිෆික් සාගරයේම ආධිපත්‍යය තිබෙන්නේ ඇමරිකාවටයි. මෙමගින් චීනයේ නැගෙනහිර කොටස හිර කර තිබේ. චීනයට බටහිර දෙසින් ඇත්තේ ඇමරිකාවට සමීපතම සහචර රාජ්‍යයක් වන ඉන්දියාවයි. තවද ඇෆ්ගනිස්ථානයේ වාඩිලා ගැනීමේ බලපෑම් ඇති අතර බ්‍රෙසන්ස්කිගේ යුරේසියානු ත්‍රිකෝණයේ තැන් තැන්වල ඇමරිකානු හමුදා ලැගුම් ගෙන ඇත. මෙමගින් චීනය බටහිර දෙසින් හිරකොට ඇත. මෑත කාලයේදී විශේෂයෙන්ම ෂී ජින් පිංගේ නායකත්වය යටතේ චීනය මෙම වැටලීමෙන් මිදීමට උත්සාහ ගන්නා බවත් පෙනේ. චීන කොමියුනිස්ට් පක්ෂය කුවින්ටැං (KMT) වැටලීමෙන් බේරී ගිය අන්දමට සමානව, වර්තමානයේ ඇමරිකානු අධිරාජ්‍යයට එරෙහිව ‘නව දිගු ගමනක්’ ඇරඹීමට චීනයට සිදුවී තිබේ. 1971-1979 කාල පරිච්ඡේදය ඇමරිකානු-චීන සබඳතා සඳහා වැදගත් එකකි. 1979 යේ දෙවන ප්‍රකාශනයෙන් (Second Communique) රටවල් දෙක අතර සබඳතා සාමාන්‍ය තත්ත්වයට එළඹුණු අතර තායිවානය චීනයේ කොටසක් බව එවකට ඇමෙරිකාව පිළිගන්නා ලදී. 1972 ෂැංහායි ප්‍රකාශනය (Shanghai Communique) තුළින් ඇමරිකාව සහ චීනය එකිනෙකාගේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට ලිඛිතව එකඟ විය. එවකට චීනයේ බහුතර ජනතාව අන්ත දුගී භාවයට ලක්වී සිටියෝය. චීනයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සම්බාධකය 1971 දී රිචඩ් නික්සන් ජනාධිපතිවරයා ඉවත් කළේය. 1972 දී නික්සන් චීනයේ නිල සංචාරයකද යෙදුණේය. මෙම පියවරවල් සෝවියට් සංගමය සහ චීනය අතර ඇති සම්බන්ධතාව දුර්වල කිරීමේ ක්‍රියාමාර්ග ලෙස දැකිය හැකියි.
මේ වකවානුවේ චීනය ඇමරිකාව සමග සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට කැමැත්තක් දැක්වූයේ චීනය සහ සෝවියට් දේශය අතර තිබූ බේදයේ ප්‍රතිඵලයක් වශයෙනි. චීන-රුසියානු දේශසීමා ගැටලු සහ වෙනත් බලපෑම් පාදක කොටගත් මෙම එදිරිවාදිකම 1980 දශකයේ යම්තාක් දුරට සමනය වුවද එකිනෙකා කෙරෙහි තිබූ චකිතය දුරුවූයේ නැත. මෙම තත්ත්වය ඇමරිකාවට බෙහෙවින් වාසිදායක විය. චීනයේ සංස්කෘතික විප්ලවයෙන් පසුව, දේශපාලනිකව සහ ආර්ථික වශයෙන් දුර්වල වී තිබුණු චීනය හුදෙකලා රාජ්‍යයක් ලෙස බොහෝ කල් ගත කෙරිණ. එවකට චීනය ප්‍රමුඛත්වය දුන්නේ තම ආර්ථිකය ගොඩනැගීමට මිස ඇමරිකාව හෝ සෝවියට් සංගමය සමග ගැටුමකට අවතීර්ණ වීමට නොවේ. එනිසා චීනයේ කූමින්ටෑංහි බලය දුර්වල කිරීම සඳහා ඇමරිකාවේ සහ අනෙක් රටවල ප්‍රාග්ධන පන්තිය සමග ගනුදෙනු කිරීමෙන් සහ කේවල් කිරීමෙන් තම රටේ කර්මාන්ත සහ ප්‍රාග්ධනය ආරක්ෂා කරගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට සිදුවිය.
මෙම ක්‍රියාවලිය චීනයේ සමාජවාදී වෙළෙඳ ආර්ථිකයේ වටහා ගැනීමට උපකාරී වේ. පසුකාලීනව චීනය ෂූ එන්ලායි විසින් 1960 දශකයේ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති 1977 ඩෙං ශියා ඕජින් යටතේ ‘නවීකරණ හතරක්’ ලෙස ක්‍රියාත්මක කරන ලදී. මෙම ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය නිසා චීනය ක්‍රමයන් සහ බොහෝ අත්හදා බැලීමට අවධීන් හරහා වෙළෙඳපළ පදනම් කරගත් ප්‍රතිසංස්කරණවලට මග විවර කළේය. මෙම ප්‍රතිසංස්කරණ සිදුවූයේ බටහිර ප්‍රාග්ධන පන්තිය සහ මහජන චීනය අතර සිදුවූ බොහෝ කේවල් කිරීම්වලින් පසුවය. 1980 සහ 1990 දශක පුරා චීනය විශේෂ ආර්ථික කලාප විවෘත කිරීමෙන් මෙම කේවල් කිරීමට අවතීර්ණ විය. එවකට චීනයේ අතිවිශාල සහ සාපේක්ෂව ලාභදායී ශ්‍රම බළකායක් තිබුණු නිසා විදේශ සමාගම්වලට අඩු මිලට භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවස්ථාව එළඹුණි. එහෙත් චීනයේ ප්‍රධාන කොන්දේසි කිහිපයක් තිබුණි. විදේශ ප්‍රාග්ධනය චීන සමාගම් සමග ඒකාබද්ධ වී ආයෝජනය කළ යුතුව තිබුණි. එමෙන්, තාක්ෂණය සහ නිෂ්පාදන ක්‍රමවේදයන් චීන ආයතනවලට ලබාදීම, ආරක්ෂක, යටිතල පහසුකම්, මූල්‍ය, ඉදිකිරීම් සහ විදුලි සන්දේශ යන ක්ෂේත්‍රයන්වල පාලනය සම්පූර්ණයෙන්ම චීන රජයට අයත් සමාගම් සතුවීම සහ සියලුම විදේශ ආයෝජන රාජ්‍ය අධීක්ෂණයට ලක්කිරීම මෙම කොන්දේසි අතරින් විශේෂ වේ.
මෙම කේවල් කිරීම චීනයේ සමාජවාදී වෙළෙඳ ආර්ථිකය ගොඩනැගීමට බොහෝ සේ හිතකර විය. මෙම ගනුදෙනුව නිසා චීනයට එවකට පැවැති උසස් තාක්ෂණය සහ නිෂ්පාදන ක්‍රමවේදයන් සඳහා ප්‍රවේශයක් ලැබුණි. දෙවනුව මෙම ආයෝජන වටා ගොඩනැගුණු කර්මාන්ත තුළින් රජයේ නොවන රැකියා රාශියක් බිහිවුණි. තෙවනුව සෘජු ආර්ථික සම්බන්ධතා ඔස්සේ ධනේශ්වර පන්තියක් සමග රාජ්‍ය තාන්ත්‍රිකවද සම්බන්ධ වීමට චීනයට හැකියාව ලැබුණි. සිව්වනුව මේ රටේ විදේශ විනිමය සංචිතය විශාල වශයෙන් ගොඩනගා චීනයේ ජාත්‍යන්තර මූල්‍ය තත්ත්වයද ශක්තිමත් කරන ලදී.
අවසාන වශයෙන් විදේශ ප්‍රාග්ධනය චීන රජයට අයත් සමාගම් සමග ඒකාබද්ධව කටයුතු කරන නිසා චීන ධනේශ්වර පන්තියද අධීක්ෂණයට ලක්කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකිවිය. චීනයේ ප්‍රාග්ධනය නිර්මාණය කරන සියලු ක්ෂේත්‍රයන් ඉදිකිරීම, ඉඩම්, මූල්‍ය, යටිතල පහසුකම්, අධ්‍යාපනය පාලනය කරන්නේ චීන රජයයි. මෙය ධනවාදී රටවලට වඩා හාත්පසින්ම වෙනස්ය. ප්‍රාග්ධන පන්තිය විසින් මෙහෙයවන රාජ්‍යයන් සහ ජනතාව වෙනුවට චීන රාජ්‍යය සහ ආර්ථිකය මෙහෙයවන්නේ එරටේ ජනතාවයි. චීනයේ සමාජවාදී වෙළෙඳ පොළ ආර්ථිකයෙන් මතුවූ ජයග්‍රහණය රාශියකි. චීන රාජ්‍ය සතු ව්‍යවසායන් වර්තමානයේ ජාත්‍යන්තර තලයේ කර්මාන්ත බවට පත්වී ඇත. මෙම ව්‍යවසායන් ව්‍යාප්ත වී ඇත්තේ විදුලි සංදේශ, බලශක්තිය, බැංකු, යටිතල ව්‍යුහය, දුම්රිය, ලෝහ, නැව්, ජංගම දුරකථන සහ මෝටර් රථ යන ක්ෂේත්‍ර තුළයි. ලෝකයේ විශාලතම බැංකු 4 වන්නේ චීන රජයට අයත් ව්‍යවසායන්ය. වර්තමානයේ චීන රාජ්‍ය ව්‍යවසායන් ලෝකයේ බලවත්ම ව්‍යවසායන් අතරට පත්ව ඇත. මෙවැනි පසුබිමක ඇමරිකානු අධිරාජ්‍යවාදී කඳවුරට වැටහී ඇත්තේ චීනයේ කඩාවැටීම මෑත කාලයේ නොවන බවයි.
දශක 4 කට පෙර විදේශ ප්‍රාග්ධන පන්තිය සමග කේවල් කිරීමේදී දුර්වලයා වූ චීනය, අද එම ගනුදෙනුවෙන් ජයග්‍රහණය කර ඇත. චීනය තවදුරටත් ආර්ථික සහ දේශපාලන වශයෙන් ශක්තිමත්වීමට උත්සාහ ගන්නේ ෂි ජින්පිං යටතේ ආරම්භ වුණු ‘එක් තීරයක් එක් මාවතක්’ (BRI) ව්‍යාපෘතිය හරහාය. BRI වනාහි ඇමරිකානු අධිරාජ්‍යයට ඇති එකම සහ ප්‍රබලම තර්ජනයයි. BRI පිළිබඳ මා විසින් පෙර ලියා ඇති ලිපිය හේතුවෙන් මෙහි සඳහන් කරන්නේ සංක්ෂිප්තයක් පමණි. ඇමරිකානු අධිරාජ්‍යයේ වැටලීමෙන් මිදීමට චීනය ගන්නා එක් පියවරක් ලෙස BRI දැකිය හැකිය. 2013 දී ෂී ජින්පිංගේ නායකත්වයෙන් ඇරඹුණ මෙම ව්‍යාපෘතියෙන් යුරේසියානු කලාපය බීජිං නුවර සමග එකතු කිරීමට ප්‍රයත්නයක් දරයි. වරාය, පාලම්, දුම්රිය, හරිත බලශක්තිය සහ වෙළෙඳාමෙන් ආසියාව සහ යුරෝපය සම්බන්ධ කිරීමටත්, ඓතිහාසිකව ගෝලීය වෙළෙඳාමෙන් සූරා කෑමට ලක්වූ රටවල්වල සංවර්ධනය ඇමරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමෙන් ඔවුන් උත්සාහ දරයි. මෙම ව්‍යාපෘතියට බොහෝ අංග තිබුණද, මූලික වශයෙන් යටිතල පහසුකම්, ආයෝජන ව්‍යාපෘති සහ ඇමරිකානු නොවන ජාත්‍යන්තර සංවිධාන පිහිටුවිම BRI හි අරමුණ වේ. මේ සඳහා වැදගත් උදාහරණයක් වන්නේ බීජීනය කේන්ද්‍ර කරගත් ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවයි. (AIIB) මෙම බැංකුව ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) විකල්පයක් වශයෙන් හඳුන්වා දී තිබේ. රුසියාව, කැනඩාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ජර්මනිය ඇතුළු රටවල් බොහොමයක් මෙහි සාමාජිකත්වය ගෙන ඇත. බ්‍රෙසන්ස්කිගේ යුරේසියානු ත්‍රිකෝණයේ පිහිටි සෑම රටක්ම AIIB හි සාමාජිකයන්ය. ඇමරිකාවට සමීප රාජ්‍යයන් බොහොමයක් BRI ව්‍යාපෘතියට සහභාගි වීමට දක්වා ඇති කැමැත්ත ඇමරිකාව නුරුස්සයි. BRI අපකීර්තියට පත්කිරීම සඳහා සෑම උපාය මාර්ගයක්ම ගන්නා බවට 2018 ඉන්දු - පැසිෆික් කලාපයේ උපාය මාර්ගික සැලැස්මේ සඳහන් වන අතර BRI ‘ණය උගුලක්’ යැයි විද්වතුන් හරහා සමාජගත කිරීම දැනට අතිසාර්ථක වී ඇත.
ශ්‍රී ලංකාවේද තමන් ‘වාමවාදී’ යැයි පවසන බොහෝ විද්වතුන් සහ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් ඇමරිකාවේ මෙම ආඛ්‍යානය සමාජගත කරමින් සිටිති. BRI ව්‍යාපෘතියට විරුද්ධව ගෙන යන මඩ යාන්ත්‍රණයේ තවත් ආඛ්‍යානයක් වන්නේ 'BRI ෆේල්’ යන්නයි. BRI ණය උගුලක්ද යන්න තහවුරු කිරීමට දැනට සාක්ෂි නැත. චීනය අප්‍රිකානු රටවල් බොහොමයක සහ කියුබාවේ ණය මෑතකදී කපා හරින ලදී. තම ණය ගැනුම්කරුවන් සමග නිරන්තරයෙන් කොන්දේසි පිළිබඳව නැවත සාකච්ඡාවලට එළඹ ඇති චීන රජය උගුලක් අටවමින් සිටින බව තවම තහවුරු වී නැත. එලෙසින්ම 'BRI ෆේල්’ යැයි නිගමනයකට තම එළඹීමට හැකි නොවන්නේ මෙම ව්‍යාපෘතිය දීර්ඝකාලීනව විග්‍රහ කළ යුතු නිසාය. BRI හි බහුතරයක් ආයෝජන දීර්ඝකාලීන ව්‍යාපෘති වන අතර ඒ පිළිබඳව තවම ඇගයීම් කළ නොහැකි වේ.
බ්‍රෙසන්ස්කිගේ යුරේසියානු සිහිනය දැන් නපුරු වී ඇත. චීනය යුරේසියානු කලාපයේ පමණක් නොව ලෝකයේම වේගයෙන් නැගී එන බලයක් බවට පත්ව තිබේ. ඇමෙරිකානු අධිරාජ්‍ය්‍ය මේ සඳහා ප්‍රතිචාර දක්වන්නේ තුන් ආකාරයකිනි. චීනය පාලනය කිරීම සඳහා ඇමෙරිකාව ගන්නා දිගුකාලීන උත්සාහය ක්‍රියාත්මක වන්නේ පෙරමුණු තුනකිනි. 1.) ජපාන - කොරියානු පෙරමුණ, 2.) ඉන්දියා - පකිස්ථාන පෙරමුණ සහ 3.) අග්නිදිග ආසියා පෙරමුණ. මෙම පෙරමුණු තුනේ ව්‍යාප්ත වන දෙමහුන් යුද්ධයට කේන්ද්‍ර වන උපාය මාර්ගද තුනකි. පළමුව චීනය පාලනය කිරීම සඳහා ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ දකුණු කොරියාව මුල් කරගත් සන්ධානයක් ගොඩ නගමින් සිටින ඇමරිකාව, මෙම සහචර රාජ්‍යයන් තුළින් චීනයට බලපෑම් කිරීමට උත්සාහ දරයි. දෙවනුව, චීනය තුළ සහ හොංකොං සහ ටිබෙට් රාජ්‍යයන්හි බෙදුම්වාදී කණ්ඩායම්වලට ඇමෙරිකාව විවිධ ආකාරයෙන් සහාය දෙමින් සිටී. චීනයේ ෂිංජියැං පළාත BRI ව්‍යාපෘතියට ඉතා වැදගත් බැවින් එම ප්‍රදේශය අස්ථාවර කිරීමට ඇමරිකාව උත්සාහ ගනිමින් සිටී. තෙවනුව ඇමරිකාවේ චීන ආයෝජන සීමා කිරීම, ඇතැම් චීන සමාගම් ඉලක්ක කොට ඒවාට තහංචි පැනවීම, වෙළෙඳ යුද්ධය වැනි නොයෙක් ආර්ථික කඩාකප්පල් කිරීම් ඔස්සේ චීනය දුර්වල කිරීමද මෙම දෙමුහුන් යුද්ධයේ උපාය මාර්ගයකි.
මෙම ලිපියේ අරමුණ වූයේ වර්තමානයේ චීනය මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ දළ වශයෙන් විශ්ලේෂණයක් සැපයීමයි. ශ්‍රී ලංකාවේද, මෙම දූපතෙන් පිටතද වෙසෙන සමාජවාදීන්, චීනය සමාජවාදීද යන්න පිළිනොගත්තද, චීනයේ නැගී ඒම ඇමරිකානු අධිරාජ්‍යයේ ග්‍රහණයෙන් බිඳී බැහැර වීමක් ලෙස දැකිය යුතුවේ. මහජන චීන සමූහාණ්ඩුවේ පශ්චාත් විප්ලව පාලන තන්ත්‍රය සම්බන්ධයෙන් චීන නොවන වාමවාදී කොටස්වලට ඉගෙන ගත හැකි දේ බොහෝය.