විශේෂාංග

ඇමරිකන් ආරක්ෂක ලේකම් ගෝඨාභයට කතා කළේ ඇයි

 

මේ දිනවල ඉන්දියානු රජයේ අවධානය යොමුවී ඇත්තේ එරටේ ශීඝ්‍රයෙන් පැතිරී යන කොවිඩ් – 19 වසංගතය පාලනය කර ගැනීමයි. එහෙත් මෙම තත්ත්වය ​හේතුවෙන් ඉන්දියන් රජයේ ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බාධාවක් තවම පැන නැගී නැත. ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ ආරක්ෂක ඇමැතිවරුන් පසුගිය ජූලි 27 වැනිදා පැවැත්වූ සාකච්ඡාවට පාදක වූයේ රටවල් දෙක අතර ආරක්ෂක සහයෝගීතාව, ආරක්ෂක අංශයට සම්බන්ධ ව්‍යාපාරවල ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ යුද සැපයුම් ජාල ශක්තිමත් කිරීමයි. ඉන්දියාව සිය නැගෙනහිර ඉන්දියන් සාගරයේ අසල්වැසියන් වන ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු ඉන්දියන් සාගර කලාපයේ මොරිෂස්, සීෂෙල්ස්, මැඩගස්කර් වැනි රටවල් කෙරෙහි වෙනදා නොතිබූ මිත්‍රශීලී බවක් දක්වන්නේ ඇයිද?

මෙයට මූලික කාරණාව වන්නේ ඇමෙරිකාවේ ‘‘Free Open Indo – Pacific’’ (FOIP) යන ආරක්ෂක සහ ආර්ථික උපාය මාර්ගික සැලැස්මයි. ඇමෙරිකාවේ විදේශ සහ ආරක්ෂක උපාය මාර්ග තුළට ඉන්දියානු සහ පැසිපික් සාගර කලාප ඇතුළත් වූයේ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ (2001-2009) රාජ්‍ය කාලය තුළයි. ජනපති බුෂ්ගෙන් පසුව එම ධුරයට පත් වූ බැරැක් ඔබාමාද ඇමෙරිකාවේ ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය රීබැලන්ස් ටු ඒෂියා නමින් නැවත නාමකරණය කර එලෙසම ක්‍රියාත්මක කරන ලදී. ඔබාමාගේ සැලැස්මට කේන්ද්‍ර වූයේ ඇමෙරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහ වෙළෙඳ ප්‍රතිපත්තිවල සහයෝගීතාවයි. මෙම රටවල් හතර ‘‘ද ක්වොඩ්’’ ලෙසින් හැඳින්වූ අතර මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වනුයේ චීනයේ වෙළෙඳ සහ මිලිටරි බලය පාලනය කිරීමයි. ඔබාමාගෙන් පසු ඩොන්ල්ඩ් ට්‍රප්ම් විසින් මෙම සැලැස්ම FOIP නමින් අඛණ්ඩව ගෙන යමින් පවතී. මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාව 2020 මාර්තු මස ඉන්දියන් සාගර කොමිසමටද නිරීක්ෂක රාජ්‍යයන් ලෙස ඇතුළත් කරන ලදී. මෙම කොමිසමේ සාමාජික රටවල් ප්‍රංශයේ යටත් විජිත හෝ අර්ධ වශයෙන් ප්‍රංශයට සහ බ්‍රිතාන්‍යයට අයත් යටත් විජිත ලෙස හැඳින්විය හැකිය. ඉන්දියාව මෙම IOC කොමිසමේ නිරීක්ෂකයකු ලෙස පත්කිරීම සඳහා මූලික වූයේ ප්‍රංශ රජයයි. මාර්තු මාසයේ සිට ඉන්දියන් සහ ප්‍රංශ නාවික හමුදා භාණ්ඩ ප්‍රංශයට අයත් රීයුනියන් දූපත්වලවල සිට සමුද්‍රීය සෝදිසි කටයුතු සිදු කිරීමට පටන් ගෙන තිබේ. ඉන්දියාව ප්‍රංශය සමග ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමට උනන්දුවන්නේ බටහිර ඉන්දියන් සාගර කලාපයේ තම ආධිපත්‍ය ගොඩ නගා ගැනීමටයි. මෙම සමුද්‍ර කලාපයේ පිහිටා ඇති මොරිෂස්, ෂීෂෙල්ස් සහ මැඩගස්කාර් දූපතේ ප්‍රංශයේ යටත් විජිත ලෙස ක්‍රියාකළ රටවල් අතර වර්තමානයේද ඔවුන් ප්‍රංශ රජය සමග සමීපව කටයුතු කරන්නේ යටත් විජිත කාලයේ සිට පැවතීගෙන එන වෙළෙඳ සැපයුම් ජාල ක්‍රියාත්මක කිරීමටය. ඉන්දියාව ප්‍රංශ රජයට සමීප වීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉන්දීය නාවික හමුදාව තම ‘ද්විත්ව බිලී කොකු’ යන මිලිටරි උපාය මාර්ගය ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක කිරීමයි. ඉන්දියාවේ මෙම ‘ෆිෂ් හුක්’ උපාය මාර්ගය Quad කණ්ඩායම විසින් ඉන්දියන් සාගරයේ සහ පැසිපික් සාගර ආසන්නයේ ගෙන යන ‘බිලී කොක්ක’ උපාය මාර්ගයට අනුපූරකයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙම මිලිටරි උපාය මාර්ගය නිසා චීනය තම දකුණු චීන මුහුද අවට සෝදිසි ක්‍රියාත්මක බල ගන්වා ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ එක්සත් ජනපදයේ සහ ඔවුන්ගේ ක්වොඩ් කණ්ඩායමේ නැව් සහ සබ්මැරීනවල, චලනයන් අධීක්ෂණය කිරීමටයි. අගෝස්තු මාසයේ ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ​මෝදි අන්දමන් හා නිකොබාර් දූපත් වැඩිදියුණු කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 6.67කට වැඩි ආයෝජනයක් පොරොන්දු විය. මෝදිගේ මෙම සංචාරයෙන් අනුමාන කළ හැක්කේ මෙම දූපත් සම්බන්ධයෙන් ඉන්දියානු රජයට දීර්ඝ කාලීන සැලැස්මක් ඇති බවයි. සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානා ගොඩබෑමට පහසුකම් සැලසීම සඳහා ජැටි, ගැඹුරු මුහුදු වරාය සහ ගුවන්යානා ගොඩබෑමේ තීරු පුළුල් කිරීම මෙම සැලැස්මට ඇතුළත්ය. එහි සුබෝයි – 30 නමැති ප්‍රහාරක ගුවන් යානා ස්ථිර පදනමක් මත ස්ථානගත කිරීම සඳහා පහසුකම් ද සංවර්ධනය කිරීමට යෝජනාවක් තිබේ.

මීට පෙර ඉන්දියාව අන්දමන් සහ නිකොබාර් දූපත්වල මෙවැනි සංවර්ධන සැලැස්මක් දියත් කළේ 1980 දශකයේ අගබාගයේදීය. එම වකවානුවේ ඉන්දියාව සෝවියට් සංගමය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අතර අන්දමන් – නිකොබාර් දූපත් සෝවියට් හමුදාවට ඉන්දියන් සාගරයට ඇතුළු වීම සඳහා ඉඩ සලසා දීමට සංවර්ධනය කරනු ඇතැයි රාවයක් පැතිරී ගියේය. එවිට එයින් බියට පත් වූයේ ඉන්දුනීසියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්ය. එවකට අන්දමන් – නිකොබාර් දූපත් සමුහය හැඳින්වූයේ ‘අන්දමන් බළකොටුව’ලෙසයි. ඉන්දියන් හමුදාව ‘අන්දමන් – නිකොබාර් කොමාන්ඩ්’ යන පළමු ඒකාබද්ධ හමුදා විධාන මධ්‍යස්ථානය පෝර්ට් බ්ලෙයාර් හි ස්ථාපිත කළේ 2001 වර්ෂයේදීය. එයින් වසර විස්සකට පමණ පසුව ඉන්දියාව නැවතත් අන්දමන් සහ නිකොබාර් දූපත්වල පහසුකම් වැඩිදියුණු කිරීමට තීරණය කර ඇත්තේ තම නාවික හමුදා බලය බෙංගාල බොක්කේ සිට මලක්කා සමුද්‍ර සන්ධිය දක්වා ප්‍රක්ෂේපණය කිරීමටයි.

ඉන්දියන් සාගරයේ ‘ද්විත්ව බිලී කොකු’ මිලිටරි උපාය මාර්ගය ක්‍රියාත්මක වන්නේ පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සම්බන්ධ කොට චීනය විසින් නිර්මාණය කර ඇති ‘මුතු වැල’ උපාය මාර්ගයට ප්‍රතිවිරුද්ධ පියවරක් ලෙසයි. ක්වාඩ් කණ්ඩායමේ මෙම ‘බිලී කොකු’ සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා ඇමෙරිකාව සහ ඉන්දියාව දැනටමත් ‘‘LEMOA’’ ගිවිසුම හරහා එකිනෙකාගේ හමුදා කඳවුරු සහ නාවික වරායන් වෙත ප්‍රවේශය ලබාදී ඇත. 2020 ජුනි මාසයේදී ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සමග අන්‍යෝන්‍ය සැපයුම් ආධාරක ගිවිසුමකට (MLSA) අත්සන් තැබූ අතර එමගින් දෙරට විසින් එකිනෙකාට අයත් දූපත් උපයෝගී කරගනිමින් සමුද්‍රීය ඔත්තු සේවය දියත් කරනු ඇත. මෙම සැපයුම් විධිවිධානය සඳහා ලැයිස්තුගත කර ඇත්තේ ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් සහ ඔස්ට්‍රේලියාවට අයත් කොකෝ දූපත්ය. ඔස්ට්‍රේලියාව තම කොකෝ දූපත්වල සහ ඩාවින් සහ තේන්ස් යන පළාත්වලද තම මිලිටරි පහසුකම් වැඩිදියුණු කිරීමට මෑතකදී පියවර ගෙන ඇත. මේ ආකාරයේ අනුපූරක ලොජිස්ටික්ස් ගිවිසුම් ඔස්සේ දෙරටේ සමුද්‍රීය ඔත්තු සේවය වඩාත් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව ඉන්දුනීසියාව සමගද වරාය සංවර්ධන ව්‍යාපෘතියකට අත්සන් තබා ඇති අතර ඉන්දුනීසියාවට අයත් ආචේ දූපත් සමුහයේ උතුරු කෙළවරේ පිහිටි සබාං වරායේ සිවිල් සහ මිලිටරි පහසුකම් සංවර්ධනය කිරීමට එකඟ වී තිබේ. නැගෙනහිර ඉන්දියන් සාගරයේ අන්දමන් – නිකොබාර් දූපත් සබාං වරාය සිට ආරම්භ වන පළමුවැනි බිලී කොක්ක’ ඉන් අනතුරුව කොකෝ දූපත් කරා ගොස් අවසාන වන්නේ චාගොස් දූපත් සමූහයේ පිහිටි ඇමෙරිකාවට අයත් ඩියේගෝ ගාසියා නමැති හමුදා කඳවුරේය. ඒ හා සමානව බටහිර ඉන්දියන් සාගරයේ ‘බිලී කොක්ක’ ආරම්භ වන්නේ ඕමානයෙන්ය. ඉන්දියාව ඕමානයේ ඩුකුම් වරාය සමග එළඹී ඇති සමුද්‍රීය ප්‍රවාහය ගිවිසුමට අනුව ඉන්දියානු නාවික හමුදාවට ඩුකුම් හි සිට ප්‍රවේශ වීමට හැකි වේ. රතු මුහුදෙන් දකුණේ පිහිටි අප්‍රිකානු කලාපයේ ජිබුටි නම් රාජ්‍ය සමග සැපයුම් ගිවිසුමකට එළඹීමට ඉන්දියාව මේ දිනවල කටයුතු කරමින් සිටී. පෙර සඳහන් කළ ඉන්දියන් සාගර කොමිසමට ඉන්දියාව නිරීක්ෂණ රාජ්‍යයක් ලෙස ඇතුළත් වීමෙන් පසු, එම කොමිසමට සම්බන්ධ මොරිෂස්, සීෂෙල්ස් සහ මැඩගස්කාර් සමග නාවික පුහුණු කිරීම් ආරම්භ කොට ඇති අතර එම රටවලට ඉන්දියාව විසින් වෙරළ බඩ රේඩාර් පද්ධති සහ ප්‍රහාරක යාත්‍රා කිහිපයක්ද ලබාදී තිබේ. මෙම කටයුතු සියල්ල පෙන්නුම් කරන්නේ ඉන්දියාව සිය නාවික බලය ඉන්දියන් සාගරයේ බටහිර සහ නැගෙනහිර කලාපවල ස්ථාපිත කර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බවයි. මෙම ‘ද්විත්ව බිලී කොකු’ උපාය මාර්ගය ආධාර කොට ගෙන චීනය විසින් දියත් කරන මිනිසුන් රහිත සබ්මැරීනවල ක්‍රියාකාරකම් මැඬ පැවැත්වීම ක්වොඩ් කණ්ඩායමට හැකි වනු ඇත. චීනය මෙය තේරුම් ගෙන එයට පිළිතුරු දෙන බවත් දක්නට ලැබේ. මෑතක සිට චීනය ජිබුටි රාජ්‍යයේ පිහිටි තම හමුදා කඳවුරේ සොල්දාදුවන් ගණන වැඩි කර ඇති අතර තම රටේ බල ශක්ති සැපයුම් මාර්ගය සහ සමුද්‍රීය වෙළෙඳ කටයුතු නොකඩවා කර ගෙන යෑම සඳහා මාලදිවයින් දූපතක් වන ෆිදෙහු ෆිනෝල්හු ගොඩකර එහි තම බලය ස්ථාපිත කොට ගෙන ඇත. මෙවැනි ක්‍රියාමාර්ගවලට චීනය එළඹී ඇත්තේ එරටේ ‘සමුද්‍රීය සේද මාවත’ නමැති උපාය මාර්ගික කලාපය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියන් සාගරයේ ප්‍රධාන මුහුදු මංතීරු අසල තම ආධිපත්‍ය තහවුරු කිරීම අත්‍යවශ්‍ය නිසාය.

චීනයට එරෙහිව ක්වෝඩ් කණ්ඩායම ක්‍රියාත්මක කරන ‘ද්විත්ව බිලී කොකු’ උපාය මාර්ගයේ සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ අන්දමන් – නිකොබාර් දූපත්වල ගුවන්තොටුපොළ, සමුද්‍රීය ගමනාගමනය සහ වරාය පහසුකම් සංවර්ධනය කිරීම මතයි. ඇමෙරිකාවේ ‘RAND’ සමාගම විසින් ප්‍රකාශ කරන ලද එක්සත් ජනපද හමුදාවේ විදේශ කඳවුරු අධ්‍යයනයේ සඳහන් කර ඇත්තේ අන්දමන් නිකොබාර්, ඇමෙරිකානු ඩ්‍රෝන යානා ඉතා හොඳ මෙහෙයුම් කඳවුරක් විය හැකි බවයි. එහි තවදුරටත් සඳහන් වන්නේ අන්දමන් නිකොබාර් දූපත් ඇමෙරිකානු හමුදාවලට චීනයට සෘජු ප්‍රහාර එල්ල කිරීම සඳහා වඩාත් වාසිදායක බවයි. මෙලෙස ක්වොඩ් කණ්ඩායම විසින් ‘ද්විත්ව බිලී කොකු’ උපාය මාර්ගය දියත් කර ඇත්තේ චීනයේ ‘මුතු වැල’ ව්‍යාපෘතිය හරස් කිරීමට සහ චීන – ඉන්දියා ඝට්ටනයේදී ඉන්දියාව ශක්තිමත් කිරීමටය. මෙමගින් චීනය විසින් ඉන්දියන් සාගරයේ සමුද්‍රීය බල වින්‍යාසය වෙනස් කිරීමට ගන්නා ප්‍රයත්නයට බාධා පැමිණෙනු ඇත. ඒ කෙසේ වෙතත් ඉන්දියාව හිතු පැතූ ආකාරයෙන් තම ඉන්දියන් සාගර ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පහසු නොවනු ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ කොවිඩ් වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග ඉන්දියාවේ සිදුවෙමින් පවතින සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදයයි. අද වනවිට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් මිලියන 5 ඉක්මවන අතර වසංගතය වැලඳී මියගිය සංඛ්‍යාව 80,000කි. මෙම තත්ත්වය නිසා දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාව බෙලහීන වී ඇති ස්වභාවයක් දක්නට ලැබේ.

ක්වොඩ් කණ්ඩායමේ තවත් සහචරයන් වන ජපානයේද ඇතිවී තිබෙන්නේ කැලඹිලි සහගත වාතාවරණයකි. එයට පාදක වන්නේ ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ ආබේ තම ධුරයෙන් ඉවත් වීමය.

මේ අවස්ථාවේ ඇමරිකාව හමුවේ ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගෙන ගිය ජපාන – ඇමෙරිකා සහයෝගිතාව තමන්ට වාසිදායක ලෙස ගෙනයාමට සුදුසු පඹයකු ජපානයේ අගමැති බවට පත් කිරීමට රහසිගතව කටයුතු කිරීමයි. ඇමෙරිකානු FOIP ඉන්දියන් පැසිපික් සාගර ප්‍රතිපත්තියට අනුගත වී සිටින ක්වොඩ් කණ්ඩායමේ කේන්ද්‍රීය රටවල් දෙකක් වන ඉන්දියාව සහ ජපානය දෙරට තුළ ඇති අභ්‍යන්තර ගැටලු සහ කොවිඩ් – 19 යේ පැතිරීම හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිසා යම්තාක් දුරට බෙල හීනවී ඇත. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාව චීනයට සමීප වීමට ඇති සම්භාවිතාව ඉහළ වන අතර එය වැළැක්වීමට ඇමරිකාව පියවර ගනිමින් සිටින බව පෙනේ. පසුගිය අගෝස්තු 30 වැනිදා ඇමරිකාවේ ආරක්ෂක ලේකම් වන ආචාර්ය මාක් ටී. එස්පර් ගහෙන් ගෙඩි එන මෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථනයෙන් කතා කිරීමට හේතුවන්නේද ඉන්දියන් සාගරයේ බල තුලනය පිළිබඳව ඇමරිකාවට ඇති උනන්දුවයි. 2019 ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජය සමග කිසිදු සෘජු රාජ්‍ය තාන්ත්‍රික කතාබහක් කිරීමට ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර උත්සාහ ගත්තේ නැත. වොෂින්ටන් ඩී.සී. හි ක්‍රියාකලාපයට ප්‍රධාන හේතුව වූයේ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් ජයග්‍රහණය කරවීමට උත්සාහ කළේ ඇමරිකාවට ගැතිව කටයුතු කරන වෙනත් ජනාධිපති අපේක්ෂයකු වීමයි. ඒ කෙසේ වෙතත් ඇමරිකානු රජය එස්පර් ලවා ​ගෝඨාභය රාජපක්ෂ ඇමතීම අහඹුවක් නොවේ. එය පිටුපස ඇත්තේ ඉන්දියාවේ සහ ජපානයේ ආර්ථික සහ දේශපාලන අර්බුද සහ ඇමරිකාවට ඉන්දියන් සාගරයේ තිබෙන භූ දේශපාලනික අවශ්‍යතාය. එය තවදුරටත් පැහැදිලි වන්නේ මෙම දුරකථන ඇමතුම පිළිබඳව ඇමරිකාවේ ආරක්ෂක ලේකම් කාර්යාලයේ ලියවී ඇති වාර්තාවයි. එස්පර් විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කරුණු දෙකක් පවසා තිබේ. පළමුව ශ්‍රී ලංකාව විසින් කොවිඩ් – 19 වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සහ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම පිළිබඳව ජනාධිපතිවරයාට එස්පර් සුබ පතා ඇත. එයට අදාළව ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳව අඛණ්ඩ ප්‍රගති වාර්තාවක්ද ඔහු විසින් ඉල්ලා තිබේ.මෙම දුරකථන ඇමතුමේ දෙවැනි සහ තත්‍ය කාරණය ලෙස සඳහන් වන්නේ FOIP උපාය මාර්ගික සැලැස්ම සඳහා අවශ්‍ය ශ්‍රී ලංකාවේ පක්ෂපාතිත්වයයි. මෙයට අදාළව පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා මිලිටරි වෘත්තීයකරණය, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය. එස්පර්ගේ දුරකථන ඇමතීමට දින 4කට පෙර ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සාම්පූර් හි කූනති වූ නවලර් පාසල ඩොලර් 500,000ක ඇමෙරිකානු රජයේ ආයෝජනයකින් ඉදි කෙරිණි. එම පාසල ඉදිකිරීමට මුල පුරා ඇත්තේ ඇමෙරිකාවේ ඉන්දු – පැසිපික් කලාපයට අණ දෙන හමුදා නිලධාරියා වීම අහඹුවක් ලෙස සැලකිය නොහැකිය.

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ඉන්දියන් සාගර කලාපය සහ අන්දමන් නිකොබාර් දූපත් අතර පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවයි. එනිසා ශ්‍රී ලංකාව FOIP සහ ‘ද්විත්ව බිලී කොකු’ උපාය මාර්ග දෙකේ යුද සැපයුම් ජාලවල කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීමට නොයෙකුත් බලවේග කටයුතු කරන බවක් පෙනේ. මෙනිසාම SOFA, ACSA සහ MCC ගිවිසුම් කඩිනමින් අත්සන් කර ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජයට එල්ල වීමට ඇති බලපෑම් බොහෝය. මෙවැනි බලපෑම් කළමනාකරණය කර ගැනීමට නම් චීනය සහ ක්වොඩ් කඳවුර සමග නොබැඳි ප්‍රායෝගික සහ සමබර සම්බන්ධතා පවත්වා ගැනීම නුවණට හුරු වේ. පසුගිය අගෝස්තු 26 වැනිදා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු භාර ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ උපාය මාර්ගික ආරක්ෂාව තහවුරු කිරීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට පළමු තැන ප්‍රතිපත්තියකට අනුගත වන බවයි. මෙම ප්‍රතිපත්තිය ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීමට උපකාරී වේ. එහි සංකේතාත්මක වාසියක්ද ඇත. කොවිඩ් වැලඳී අභාවප්‍රාප්ත වූ හිටපු ඉන්දියානු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජීට පින් පැමිණවීමට සූදානම් කළ පින්කම වැනි සංකේතාත්මක වැඩ පිළිවෙළවල් ඔස්සේ ඉන්දියාව සමග ඇති සම්බන්ධතාව ශක්තිමත් කර ගැනීම නුවණට හුරුය. හිටපු අමාත්‍ය සරත් අමුණුගම සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවට චීනය සහ ඉන්දියාව සමග ඇති සම්බන්ධතා විග්‍රහ කළේ ‘‘ඉන්දියාව අපේ සහෝදරයාය; චීනය අපේ මිතුරාය’’ යන ලෙසින්ය. එහෙත් වර්තමානයේ අප හමුවේ තිබෙන ඉන්දියානු සාගරයේ සහ ආසියා කලාපයේ ගතික භූ දේශපාලනික තත්ත්වයට මුහුණ දීමට නම් අප මතක තබා ගත යුත්තේ 1860 දශකයේ හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා වූ ජෝන් හෙන්රි ටෙම්පල් විසින් කළ ප්‍රකාශයයි. ඒ රාජ්‍යයන් හට ඇත්තේ ස්ථිර මිතුරන් හෝ සතුරන් නොවේ, ස්ථිර අවශ්‍යතාව පමණි.’’ යන්නයි. මෙම කියමන ආදර්ශයට ගෙන ‘‘Sri Lanka First’’ (ශ්‍රී ලංකාව පළමුව) ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සහ ඊට අනුගතවීම වඩාත් කාලෝචිත යැයි සිතමි.