විශේෂාංග

‘‘ඇප’’ලැබුණ ගමන් නාලක සිල්වාගේ රෝග නිරාවරණය වුණේ කොහොමද?

අද කාලයේ හැටියට, ‘හිරේ යාම’ අමුතුම තාලේ වැඩකි. ඔන්න පොලිසියෙන් උසාවි ගෙනියනවා ය. උසාවියේ දී නඩු අසා දඩ ගහනවා ය. නැතිනම්, හිරේ දමනවා ය. හිරේ දමන අය, බන්ධනාගාරයට රැගෙන යන්නේ හිර ගෙදර බස් එකෙනි. උසාවියේ දී යසට හිටපු මිනිස්සු, හිරගෙදරට ඇතුළුවූ සැණින් ම, උන්හිටි ගමන් ලෙඩුන් වෙති!

ලෙඩවූ සැණින් ම, ඔවුන්ට හිරගෙදර රෝහලේ වෛද්‍යවරුන්ගෙන් ‘ලෙඩෙක් බවට’ වෛද්‍ය නිර්දේශ ද ලැබේ. එසැණින් ඔවුන් රඳවා ගන්නේ ගොරහැඩි හිර කුටියක නොව, හිරගෙදර ඉස්පිරිතාලයේ ය. එය බොහොම සුව පහසු තැනකි! පසුගිය කාලයේ හිරේ ගිය වැඩි දෙනෙක් කෑවේ හිර බත් නොවේ. හිර ගෙදර ඉස්පිරිතාලයේ බත් ය. හිරේට දැමූ විගසින් ම, ‘ලෙඩෙකුවී’ හිරගෙදර ඉස්පිරිතාලයේ නේවාසික වන්නට ලැබීම, එක් අතකට පිනක් පල දීමක් වැනි ය. ඒ, හිරකුටියක තරම් අපා දුකක් විඳින්නට සිදු නො වන නිසා ය.

කොයිහැටි වෙතත්, හිරේ යන හැම කෙනෙකුට ම එහි ඉස්පිරිතාලයේ ලැගුම් හිමිවන්නේ නැත. ඒ සඳහා වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ ද නැත. මහජනතාව සිතන්නේ, ඒ සියල්ල, ‘එක්තරා ක්‍රමවේදයකට’ අනුව ලැබෙන දේවල් බව ය.

හිරේ යාම සහ හිරගෙදර ඉස්පිරිතාලයේ ලැගීම සම්බන්ධයෙන් යළි කතාබහක් ඇති වූයේ මැයි 21 වැනි දා ය. ඒ, පුරා මාස හතකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇප ලබා ගෙන ගෙදර යාමේ සිද්ධියත් සමගිනි.

නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කෙරුණු පොලිස් පරීක්ෂණයක් ඔස්සේ ය. ප්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා ‘මාකඳුරේ මධුෂ්’ නමැති පාතාල නායකයාගේ ගෝලයන් වෙතින් උදව් ලබා ගන්නට ගිය බවට ඔහුට චෝදනා නැගී තිබිණි.

නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි. ඉන් පසුව නාලක ද සිල්වා මහතා පොලිස් අත්අඩංගුවට පත් විය. ඒ සම්බන්ධයෙන්, ‘දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ, නාමල් කුමාර ද අත්අඩංගුවට පත් විය. පසුව 2018 වසරේ ඔක්තෝබර් මස 25 වැනි දා නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. හිරේ ගිය අනෙකුත් සමහර ප්‍රභූවරුන් මෙන්, නාලක ද සිල්වා මහතා ද වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය විගස, ‘කෙළින්-කටින් ඉන්නට බැරි’ ලෙඩෙකු බවට පත් විය.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසූ අන්දමට, ඔහුට වැලඳී තිබුණේ ‘කශේරුකාව’ සම්බන්ධ රෝගී තත්ත්වයකි. එබැවින් මුහුණට, ගෙලට සහ පිට කොන්ද ප්‍රදේශයට ‘ආධාරක කොලර් කට්ටලයක්’ පැලඳ සිටීමට සිදු විය. හෙතෙම ආවේ ගියේ ද රෝද පුටුවෙනි. බැලු බැල්මට ම, ඔහු ‘කෙළින් -කටින් ඉන්නට බැරි’ කෙනෙක් බව පෙනුණි.

මෙම තත්ත්වය නිසා ඔහුට, වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘සිර ජීවිතය’ ගෙවීමේ අවස්ථාව උදා විය. ඔහු ‘කෙළින් කටින් ඉන්නට බැරි ලෙඩෙක්’ බවට, බන්ධනාගාර වෛද්‍යවරුන් ගෙන් නිර්දේශ ද ලැබී තිබුණේ ය. ඉකුත් මැයි 21 වැනි දා ඇප ලැබෙන තුරු ම, පුරා හත් මාසයක් ඔහු රඳවා සිටියේ හිර ගෙදර රෝහලේ ය. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රඳවා තිබුණු රෝහල් වාට්ටුව, එහි රඳවා ගෙන සිටි තැනැත්තන් නිසා ම සුවිශේෂ ප්‍රසිද්ධියක් ලබූවකි. බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දුමින්ද සිල්වා මහතා, ඔහුගේ අසල්වැසියෝ වූහ.

නිතර කොට කලිසමකින් සැරසී සිටි නාලක ද සිල්වා මහතා, බන්ධනාගාර රෝහලේ සිටියේ ද ආධාරක කොලර් කට්ටලය පැලඳ ගෙන බොහොම අබල දුබල ලීලාවෙනි. බන්ධනාගාර නිලධාරීන් පවසන අන්දමට, ඔහුගේ දුක-සැප බලන්නට විශාල පිරිසක් පැමිණියේත් නැත. නාලක සිල්වා මහතා කිතුනුවෙකි. ඔහු, බන්ධනාගාර රෝහලේ සිය ඇඳ වටා ‘පූජනීය කුරුස’ හතරක් ම තබා ගෙන සිටියේ ය. එයට අමතරව, ඔහුගේ ඇඳුම්වලට ද කුරුස සවිකර තිබුණේ ය. ඔහු තම යහන මත දී නිතරම පාහේ ‘බයිබලය’ කියවන බවක් දිස් විය. ඒ අතර කුරුසයකට අත තබා ගෙන වරින්වර දෙවියන්ට යාච්ඤා කරනු ද පෙනුණි. සියල්ල දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවන බව ඔහු විශ්වාස කළේ ය. තමන්ට බන්ධනාගාර රෝහලේ ලැගුම් හිමි වුයේ ද ඒ අනුව බව ඔහු විශ්වාස කළා විය හැකි ය! කොයි හැටි වෙතත්, ඔහු ගත කළේ නිශ්ශබ්ද ජීවිතයකි.

මැයි 21 වැනි දා ඔහුට ඇප ලැබුණේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු එදින ද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ බන්ධනාගාර නිලධාරීන්ගේ උපරිම ආරක්ෂාව යටතේ ය. ඔහු එදින උසාවි ආවේ ද බොහොම අබල-දුබල, ලෙඩා දුකා ලීලාවෙන් රෝද පුටුවේ නැගී ගෙන ය. එහි දීත් ඔහු ගෙලට, මුහුණට සහ පිටට ආධාරක කොලර පැලඳ ගෙන සිටියේ ය. ඔහුට ඇප දීම සලකා බැලුවේ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ය. විවෘත අධිකරණයේ දී ඔහු කියා සිටියේ, නාලක ද සිල්වා සැකකරුට එරෙහිව ඇති චෝදනා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට නො ගැනෙන බවයි. එබැවින් තමන් සැකකරුට ඇප නියම කරන බව මහෙස්ත්‍රාත්වරයා පැවසී ය. ඔහු එහි දී තවත් කාරණයක් පවසා තිබිණි. එනම් නඩුවේ පාර්ශ්වකරුවන්ට ‘දිට්ඨධම්මවේදනීය කර්මය’ පල දෙන ආකාරයක් පෙන්නුම් කෙරෙන්නේ ය, යන්නයි.

එය පුදුම සහගත බව ද හෙතෙම සඳහන් කළේ ය. සැකකරු, ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ වෙනත් පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකර ඇති බවත්, මෙම සිද්ධියේ දී ඔහුට ද එම පනත යටතේම චෝදනා එල්ලවූ බවත් මහෙස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ය.
නාලක ද සිල්වා මහතාට ඇප නියම වූයේ දැඩි කොන්දේසි යටතේ ය. එනම් මුදලින් රුපියල් 25,000ක ඇප සහ රුපියල් 15,000ක ශරීර ඇප යටතේ ය. ඔහුට විදේශගත වීම ද තහනම් කෙරිණි. ඒ අනුව නාලක ද සිල්වා මහතාට ඇප නියම කෙරිණි.

ඉන් පසුව, නාලක ද සිල්වා මහතා අධිකරණ පරිශ්‍රයෙන් පිටතට ආවේ ද රෝද පුටුවේ ආධාරයෙන්, ගෙලෙහි සහ මුහුණෙහි ආධාරක කොලර් ආදිය ද පැලඳ ගෙන, ‘කෙළින්-කටින් ඉන්නට බැරි’, ලෙඩා-දුකා ලීලාවෙනි.

රෝද පුටුව, ඔහු රැගෙන යන්නට පැමිණි මෝටර් රථය අසලට ම ගෙන යනු ලැබී ය. ඔහුට ඇප දුන් මහෙස්ත්‍රාත්වරයා කී ලෙස එවිටද පුදුමයක් සිදුවූයේය. එක්වර ම, සිය ගෙල ආධාරක කොලර් ආදිය ගලවා දැමූ නාලක සිල්වා මහතා තමන්ම වාහනයේ දොර හැර ගෙන බොහොම ප්‍රාණවත් ලීලාවෙන් රථයට ගොඩ වූයේ ය. මේ දර්ශන රූපවාහිනී නාළිකා ඔස්සේ දුටු ඇතැමෙක් මුහුණු පොතේ සටහන් තබමින් විමසා තිබුණේ ඕනෑම බරපතළ රෝගාබාධයක් සුව කිරීමේ ‘‘පුදුම’’ බලයක් ‘‘ඇප’’ නියමයකට ඇත්තේද යනුවෙනි.

දාස් නාරායන් සහ තිස්ස රවීන්ද්‍ර පෙරේරා