කතුවැකි

ඇඳිරි නීති‌යෙන් ලබන නිදහස ඇඳිරි නීතියට වඩා බරය

දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කොට තිබේ. පුත්තලම, කෑගල්ල, අම්පාර සහ බස්නාහිර පළාත් තුළත්, අවදානම් ප්‍රදේශ හැර ලබන බදාදා (22 වැනිදා) සිට මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත. කොරෝනා අවදානම සියයට සියයකින්ම පහව ගොස් නැතත් ආණ්ඩුව මේ තීරණයට එළඹ ඇත්තේ රටේ එදිනෙදා කටයුතු යළි යථා තත්ත්වයට ගෙන ඒමේ පළමු පියවර වශයෙනි.

දිගුකාලීනව රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම නිසා ජනතාවගේ එදිනෙදා කටයුතු ඇණහිට තිබුණා පමණක් නොව ඔවුන් දැඩි මානසික පීඩාවකටද ලක්ව සිටියේය. යම් තරමකින් හෝ ජනතාව ඒ පීඩනයෙන් මුදා ගැනීමට හැකිව තිබෙන්නේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, රාජ්‍ය අංශය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් බව සටහන් කරන්නේ ඔවුන්ට ඒ වෙනුවෙන් ගෞරවයද, ස්තුතියද සමගය. කෙසේ වෙතත් රටේ ජනතාවගේ සහයෝගය නොලැබෙන්නට ඔවුන් සියලු දෙනාගේ උත්සාහය පල නොදරන්නට ඉඩ තිබිණ.

දැන් උදාවී ඇත්තේ අප සියලු දෙනා කොරෝනා ව්‍යාප්තිය පාලනයට දුන් ඒ සහය පෙරටත් වඩා දැනුවත්ව හා වගකීමකින් යුක්තව දැක්විය යුතු කාලයකි. ඇඳිරි නීතිය සමයේ අපට ඊට අනුගත වන්නට සිදුවූයේ අපගේ කැමැත්තටත් වඩා එය ආණ්ඩුවේ නියමයක් වූ බැවිනි. දැන හෝ නොදැන එය උල්ලංඝනය කළ අයට නීතියෙන් දඬුවම් විඳින්නටද සිදුව තිබේ.

අදින් උදාවී ඇත්තේ නීතියෙන් නොව අප විසින් අප පාලනය කර ගත යුතු කාලයකි. දිවා කාලයේ හෝ ඇඳිරි නීතිය ඉවත් කිරීම අප කාටත් සැනසිලිදායක මෙන්ම සතුටු විය හැකි තත්ත්වයකි. එහෙත් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අපට ලැබෙන නිදහස වෙනදා මෙන්ම අපගේ එදිනෙදා කටයුතු කරගන්නට ලැබෙන නිදහසක් නොවන බව අප කවුරුත් තරයේ සිහි තබා ගත යුතුව තිබේ. කොරෝනා බිය තවමත් මුළුමනින්ම පහව ගොස් නැති බැවිනි. මේ නිසා තම තමන්ගේ අත්‍යවශ්‍යම කටයුතුවලට පමණක් සීමා වී කටයුතු කිරීමට වගබලා ගැනීම අප සියලු දෙනාගේ වගකීමකි.

අත්‍යවශ්‍ය කටයුතුවලදී පවා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් නිර්දේශ කොට තිබේ. රාජ්‍ය සේවයේ තුනෙන් එකක සේවක පිරිසක් පමණක් සේවයට කැඳවා ඇත්තේ ඒ අනුවය. පෞද්ගලික අංශයට යම් යම් සීමාවන් පැන වී තිබේ. මෙලෙස අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමේදීද අනුගමනය කළ යුතු ආරක්ෂක ක්‍රමවේදයක් ප්‍රකාශයටත් පත්ව ඇත. මෙම තත්ත්වය මත ඇඳිරි නීතිය ඉවත් කළද ජනතාවට තවදුරටත් යම් යම් අපහසුතාවන්ට ලක්වීමට සිදුවන බව පැහැදිලිය.

එහෙත් මේ අපහසුතාවන් කරදරයක් නොව ආරක්ෂක පියවර ලෙස කල්පනා කිරීමට තරම් ඉවසීමක් අප සියලු දෙනා සතුවිය යුතුය. තනි පුද්ගලයකුගේ නොසැලකිල්ල හෝ නොඉවසිල්ල රටේම තත්ත්වය වෙනස් කිරීමට හේතු නොවිය හැකි යැයි කිව හැක්කේ කාටද?

දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කෙරෙන නිසා කඩ සාප්පු ආදියද විවෘත කෙරෙනු ඇත. මේ නිසා ඇඳිරි නීතිය තිබියදී මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්පාදනය කරගැනීමේ ප්‍රශ්නයක් මතු නොවේ. එසේ වුවත් කඩ සාප්පුවලට යෑමේදීද පෙර ලෙසම ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අපගේ වගකීමක් ලෙස සියලු දෙනා සිහි තබා ගනු ඇතැයි අපි සිතමු.

දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවස්ථාවන් උදාවී ඇතත්, එම අවස්ථාව ලබාදී ඇත්තේ විනෝද ගමන්, සංචාර සඳහා නොව අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණකි. අපට විනෝදවීමට, සතුට බෙදා හදා ගැනීමට තවමත් කාලය උදාවී නැත. එහෙත් අප කවුරුත් වගකීමෙන් කටයුතු කළහොත් අප සියලු දෙනාට එක්ව සතුටු විය හැකි දිනය ඉතා ඉක්මනින් ළඟාකර ගත හැකිවනු ඇත.

අප කෙසේ කීවත් සෑම දෙයකම අසුබ පැත්තම දකින පිරිසක්ද සමාජයේ සිටින බව අපි දනිමු. ඇඳිරි නීතිය දිවා කාලයේ හෝ ඉවත් කිරීම බහුතරයේ සතුටට හේතු වුවත් ඇතැමකු කියන්නේ එසේ කිරීම අවදානම් සහගත බවය. විහිළුවට කාරණය වන්නේ ඇඳිරි නීතිය ඉවත් කිරීම නොකළ යුතු බව කියන්නේ ඇඳිරි නීතිය නිසා එදාවේල සරිකර ගත් ජනතාවට කුසගින්නේ සිටීමට සිදුව ඇතැයි කියූ පිරිසම වීමය.

මේ අය එසේ කියන්නේ වෙනත් අරමුණු සිත් යට තබාගෙන නමුත් ඔවුන් කියන එක් දෙයක් ඇත්තය. එනම් ඇඳිරි නීතිය ඉවත් කිරීමේ අවදානමක් පවතින බවය. එහෙත් එය අවදානමක් වන්නේද, නැත්ද යන්න තීරණය වන්නේ අපගේ හැසිරීම මතය. ඒ අනුව බලන විට ඇඳිරි නීතිය යටතේ ජීවත්වීම එතරම් අපහසු නැත. ඇඳිරි නීතියේදී වගකීම ඇත්තේ ආණ්ඩුවටය. ඇඳිරි නීතිය ඉවත් කළ පසු වගකීම ඇත්තේ අපටය. ඇඳිරි නීතිය ඉවත් කරමින් ලබාදෙන නිදහස ඇඳිරි නීතියට වඩා බරය. අපි ඒ බර දරමින් රට සුවපත් කරමු.