අතන මෙතන

ඇඳිරි නීතිය වෙලාවේ කසිප්පු පෙරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රි පොලිස් දැලේ

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් තම නිවස තුල කසිප්පු පෙරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 04 වැනිදා කටුගස්තොට පොලිසිය වෙත ලද තොරතුරක් මත ක්‍රියාත්මකවූ පොලිස් නිලධාරින් පිරිසක් විසින් මෙම මන්ත්‍රිවරයා ඔහුගේ නිවෙස තුලදී අත්අඩංගුවට ගෙන ඇත.

මන්ත්‍රිවරයාගේ නිවෙස තුල තිබී කසිප්පු  පෙරීමට යොදා ගත් බව පැවැසෙන ගෑස් සිලින්ඩරයක් ඇතුලු උපකරණ සමග කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 25 ක්,කසිප්පු මිලිලීටර් 1500 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රිවරයා පොලිස් ඇප මත මුදාහැර ඇත.

කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.උවින්දසිරි මහතාගේ උපදෙස් මත දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.සේනාරත්න,උ.පො.ප.විජේසිංහ,කා.පො.සැ. සමන්ති(20576)ඇතුලු පිරිසක්  විසින් මෙම අත්අඩංගුවට ගැණීම සිදුකර ඇත.

විජයරුවන් හල්ඔලුව-හාරිස්පත්තුව