විශේෂාංග

ඇත් රජු රජ ගමනින් යන විසිතුර මෙන්න බලන් සිරි දළදා පෙරහර

ශ්‍රී ලංකාවේ පෙරහර සමය ලෙස සැලකෙන්නේ ඇසළ සමයයි. ජූලි, අගෝස්තු මාස ඊට අයත්ය. කතරගම මහා දේවාලයේ පැවැත්වෙන ඇසළ පෙරහරින් ඇරඹෙන මෙම පෙරහර මංගල්‍යයන් මහනුවර දළදා පෙරහර, සතර මහා දේවල පෙරහර, අලුත්නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුර, මහියංගණය ආදී වශයෙන් ඒ ඒ දේවාල මුල්කර ගනිමින් පැවැත්වෙන පෙරහර මාලාවකින් සමන්විතය.

මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය ගත් විට ක්‍රි.ව.18 වන සියවසේ මැද භාගය දක්වා දිවෙයි. එම පෙරහරට අයත් වූයේ කතරගම, විෂ්ණු, නාථ, පත්තිනි යන දේවාලවල පෙරහර හතර පමණකි. පසුව වැලිවිට ශ්‍රී සංඝරාජ හිමියන්ගේ අනුශාසකත්වය හා ඉල්ලීම අනුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් (ක්‍රි.ව.1747-1782) එකී සතර මහා දේවාල පෙරහරට දළදා මාලිගාවේ පෙරහරද එක් කෙරුණි.

පැරණි දඹදිව පැවැති අෂාඪ හෙවත් ඇසළ උත්සවයේ පරිණාමයෙන් ඇසළ පෙරහර ඇතිවූවක් සේ පිළිගැනේ. විජයාගමනයෙන් පසු දඹදිව පැවැති එම අෂාඪ උත්සවය ලංකාවේද පැවැත්වීම හේතුවෙන් මෙරට ඇසළ උත්සවය ආරම්භ වූ බවද මතයකි.

සුර අසුර යුද්ධයෙන් අසුරයන් පරදවා සුරයන් ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා ඇසළ උත්සවය ආරම්භ වී යැයි තවත් මතයක් තිබේ. ඇතමෙකු පවසන්නේ වංකනාසික තිස්ස රජ සමයේදී (ක්‍රි.ව.110-113) මෙරට ආක්‍රමණය කළ සොළීන් විසින් පැහැරගෙන ගිය පාත්‍ර ධාතුවද සිරකරුවන් 12000 ක්ද මුදාගෙන ආ ගජබා රජු ප්‍රමුඛ නීල මහා යෝධයාගේ යුද වික්‍රමය සමරනු වස් ඇසළ උත්සවය පවත්වන්නට ඇති බවයි. එම ආක්‍රමණයට වන්දි වශයෙන් සොළී සිරකරුවන් 12000 ක්ද, පත්තිනි දේවියගේ රන් සළඹද ගෙන එන ලද බව පැවැසේ. වංශකතාවලට අනුව ලංකාවේ දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව.301-328) රජතුමාගේ සමයේදීය. රජතුමා විසින් රාජකීය දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරයට මහත් හරසරින් යුතු පෙරහරකින් දළදාව වැඩම කරවූ බව සඳහන් වේ. එතැන් සිට වාර්ෂිකව දළදා පෙරහර පැවැත්විණි.

එහිදී පෙරහර කිරීමට දින 10 කට පෙර අණ බෙර ගසා රටවැසියන් දැනුවත් කිරීම සිදුවිය.

මෙකී පෙරහර ගමන් කළ මාර්ගය විසිතුරු ලෙස සරසවා දේශීය මූර්ති ශිල්පීන් ලවා බෝධිසත්ව චරිතය ප්‍රතිනිර්මාණය කෙරෙන පිළිම කරවූ බවද , චිත්‍ර ශිල්පීන් ලවා සිතුවම් කළ බවද, නැටුම් ගැයුම් වැයුම් හා තූර්ය වාදන ශිල්පීන් ලවා ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කෙරෙන පරිදි විසිතුරු ලෙස පෙරහර පැවැත්වූ බවද සඳහන් වේ.

අනුරාධපුර යුගයෙන් පසුවද පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව.1153-1186) සමයේදී අති උත්කර්ෂවත් අන්දමින් පෙරහර පැවැත්වූ අන්දම වංශකතාවල සඳහන්ව තිබේ. පෙරහර මාර්ගයේ තැන තැන තොරණ ඉදි කොට ධජ පතාක, කොඩි, මල්දම් ආදියෙන් සරසවා පැවැත්වූ මෙම පෙරහරේ වීණා, වස්, කුළල්, භෘදංග, භේරී ආදිය වයන ගයන ජනයා මෙන්ම රූමත් නාට්‍යාංගනාවෝද නෘත්‍ය ගීත ආදියෙන් පූජා පවත්වමින් ගමන් කළහ.

දඹදෙණි සමයේදී පණ්ඩිත  පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1236-1270) විසිතුරු අන්දමින් පෙරහර පැවැත්වූ අන්දම දඹදෙණි අස්නෙහි සඳහන්ව ඇත.එම පෙරහර සිරිවර්ධන පුරයටත්, දඹදෙණියේ විජේසුන්දරාරාම විහාරස්ථානයටත් ගමන් කළ අතර සතරමහා දේවාලද මේ පෙරහර හා සම්බන්ධ වී ගමන් කළහ. නැටුම් ගැයුම් වැයුම්වලින් විසිතුරු වූ මෙම පෙරහරෙහි රජතුමාද ගමන් කළේ යැයි පැවැසේ. පොළොන්නරුවේ වැඩ සිටි දළදා වහන්සේ යාපහුවට වැඩම කරවන ලද පෙරහරේ ඓරාවණ ඇත් රජා ඇතුළු අලි ඇතුන් හාරසිය අනූ නවයක්ද, අශ්වයන් හාරසිය අසූ නවයක්ද ගමන් ගත්හයි කීමෙන් එදවස දළදා පෙරහර කෙතරම් අසිරිමත් වීදැයි සිතාගත හැකිය.

කුරුණෑගල සමයේ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1302-1326) විසින් පැවැත්වූ දළදා පෙරහර  ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ගන්නේ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම හා පෙරහර පැවැත්වීම පිළිබඳ නීතිරීති සම්ප්‍රදායක් ඇති කිරීමයි. එම නීති රීති හා සිරිත් විරිත් ප්‍රකාරව මනාව සංවිධානය කෙරුණු දළදා පෙරහර ක්‍රමයක් ආරම්භ විය. මහනුවර රාජ්‍ය සමය දක්වා විකාශය වූයේ මෙකී නීති රීති හා චාරිත්‍ර වාරිත්‍රය.

කෙසේ වෙතත් විදෙස් ආක්‍රමණ හේතුවෙන් කුරුණෑගල යුගයෙන් පසු මහනුවර සමය තෙක් දළදා පෙරහරක් පැවැත්වූ බවට සඳහනක් නැත. එහෙත් කෝට්ටේ යුගයේදී ඇතැම්විට සතරමහා දේවාල පෙරහර පවත්වන්නට ඇතැයි සිතිය හැකිය. එකල පෙරහර පැවැත්වීමට වඩා දළදාව ආරක්ෂා කරගැනීමේ කාර්යය වැදගත් විය. එහෙයින් විවිධ ස්ථානවල දළදා වහන්සේ සඟවා තැබීමට සිදුවිය.

ක්‍රි.ව.1590 දී පෘතුගීසින් කන්ද උඩරටින් පන්නා දැමූ පළමුවන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමු විහාරයේ කුරහන් ගලක් යට සඟවා තිබූ දළදාව මහනුවරට වඩම්මවා තම රාජ්‍ය උරුමය තහවුරු කර ගත්තේය.

එතෙක් පැවැති මහනුවර ඇසළ පෙරහර සමන්විත වූයේ කතරගම, නාථ, විෂ්ණු, පත්තිනි සතර දේවාල පෙරහරවලිනි. දළදා මැඳුරේ පෙරහරද ඊට එක් කිරීමෙන් පසු දළදා කරඬුව වැඩම්මවීම සඳහා එතෙක් රජතුමන් ප්‍රයෝජනයට ගත් රන්හිලිගෙය (රන්සිවිගෙය) පූජා කළේය. එතැන් පටන් කිසිදු රජෙක් රන්හිලි ගෙවල් සිය භාවිතයට ගත්තේ නැත.

ඉංග්‍රීසින්ගේ රාජ්‍ය සමයේදී රට නියඟයකින් පීඩාවට පත්වූ අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් මත දළදා වහන්සේ එළියට වඩම්මවා චාරිත්‍රානුකූලව දළදා පෙරහර පවත්වා අවසාන වනවාත් සමඟම නුවර වීදි සෝදා යන ලෙසින් මහා වැස්සක් වට බවත්, එයින්ම නියඟය අවසන් වූ බවත් සඳහන්ය. රටවැසියන් දළදා වතුර නමින් හැඳින්වූ මේ මහ වැස්ස සොබා දහම විසින් එදා රාජ්‍ය පාලකයන්ට ‘දසරාජ ධර්මයෙන් රට පාලනය කරපල්ලා’ යන නියමය ලබාදුන්නාක් මෙනි.

වර්තමානයේදී දළදා පෙරහර පවත්වනු ලබන්නේ මාලිගාවේ නැකත්රාළ විසින් නියම කරන ලද සුබ නැකතකට අනුව සතර මහා දේවාලවල කරන කප් සිටුවීමෙනි. නැකත් රාළ විසින් ගම් දහයේ විදානේලාට දැනුම් දී පෙරහර කාර්යයන් සියල්ල සංවිධානය කිරීම සාමාන්‍ය පිළිවෙතයි. කප් සිටුවීම සඳහා ගන්නේ අලුත්නුවර දේවාල බිමේ පිහිටි ඵල නොදැරූ කොස් ගසක කඳින් කපා ගත් කොටසකි. නියමිත දිනයේදී එම ස්ථානයට යන කපුරාළලා සුබ මොහොතින් කප් සිටුවීමට අවශ්‍ය තරම් කොටසක් ගසෙන්  කපා වෙන් කරගෙන රියන් 1, 1/2 බැගින් වූ  කොටස් හතරකට වෙන් කර කපා ගනිති. එසේ කපා ගන්නා ‘කප් ලී’ පෙරහරකින් දේවාල වෙත ගෙනවිත් සවස් වරුවේ යෙදෙන සුබ මොහොතින් දේවාල හතරේ කපුරාළලා ඒ ඒ දේවාලවල නියමිත ස්ථානයේ කප් සිටුවති.

ඊට නියමිත චාරිත්‍ර වාරිත්‍ර පුද පූජා පවත්වා කප් සිටුවීමෙන් පසු එදින සිට දින පහක් සන්ධ්‍යා කාලයේදී දේවාභරණ කපවටා වඩම්මවමින් තූර්ය වාදන සහිත පෙරහර පවත්වති. දෙවියන් උදෙසා දේවාල හතරේ පැවැත්වෙන මෙම පෙරහර දේවාල පෙරහර නමින් හැඳින්වෙයි.

දින පහක් තිස්සේ පවත්වන මෙම දේවාල පෙරහර  අවසන් වන්නේ පස්වන දින දේවාලවල බස්නායක නිළමෙවරුන් ප්‍රධාන කොටගත් නිලධාරීන්ද, ආවතේවකරුවන්, කපුරාළලා සහ පෙරහරකරුවන් දේවාලවල දේවාභරණ සහිත රන්සිවි ගෙය ඇතකු පිට තබා පෙරහරකින් දළදා මාලිගාව ඉදිරිපිටට ගමන් කිරීමෙනි.

දේවාල වටා සිදු කළ පෙරහරවලින් පසු මේ එළැඹෙන්නේ කුඹල් පෙරහරයි. මේ වන විට මාලිගාවේ කාරියකරවන රාළ මාලිගාවට අයත් මුරායුධ, පලිහ, සේසත්, රිදී අංකුස, මුතුකුඩ, රිදී පන්තේරු, රිදී උඩැක්කි, රිදී අත් පන්දම්, වඩන තලාතු ආදිය එළිපෙහෙළියට ගෙන රාජකාරි කරවන්නන් ලවා පිරිසුදු කොට කුඹල් පෙරහරේ ගෙනයාමට නියමිත උරුමකරුවන්ට භාරදී වැඩකටයුතු සංවිධානය කරති.

දේවාල පෙරහර හතරට වඩා අලංකාර විචිත්‍රවත් වූ දළදා මාලිගාවේ පෙරහරට ගම් දහයේ විදානේලා, බෙර වාදකයෝ සහ නැට්ටුවෝද මාලිගාවේ දළදා කරඬුව වඩම්මන ඇතාද ඇතුළත් වෙති. එම ඇතා පෙරටු කරගත් මාලිගාවේ පෙරහරේ කසකරුවෝද, ගිනි පන්දම්කරුවෝද, බෙර දවුල් හොරණෑකරුවෝද, පන්තේරු, ලී කෙළි, වෙස් ආදී නැටුම්කරුවෝද, පෙරමුණේරාළ, ගජනායක නිලමේ, කාරියකරවන රාළ, දියවඩන නිලමේද ගමන් කරති. කුඹල් පෙරහර නමින් හැඳින්වෙන මේ පෙරහර දිනපතාම ආරම්භ වන්නේ සුබ හෝරාවකදී නිකුත් කෙරෙන කාලතුවක්කු හඬත් සමගය.

නියමිත වීදි කිහිපයක කෙරෙන වීදි සංචාරයෙන් පසු මධ්‍යම රාත්‍රියේදී පමණ පෙරහර අවසන් කෙරේ. මේ අන්දමට දින පහක් පුරා පැවැත්වෙන කුඹල් පෙරහරින් පසු හයවන දින සිට ඇරඹෙන්නේ රන්දෝලි පෙරහරයි.

මහනුවර ඇසළ පෙරහරෙහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ආරම්භ වන රන්දෝලි පෙරහරේ විශේෂත්වය වන්නේ සතර දේවාල පෙරහර අගට එම දේවාලවලට අයත් රන් දේවාභරණ ගෙන යන රන්දෝලි නම් රථ විශේෂයක් එකතු කිරීමයි. ඒ හැරෙන්නට සමස්ත පෙරහරේම අගය හා විචිත්‍රත්වය වැඩි කරමින් අලි ඇතුන් සංඛ්‍යාව ද නැටුම් කණ්ඩායම් සංඛ්‍යාවද වැඩි කෙරෙයි. රන්දෝලි පෙරහරේ මාලිගාවේ කරඬුව වඩම්මන (මෙහිදී දළදාව වඩම්මවන්නේ නැත) ඇතා මාලිගාව ඉදිරිපිට ඇති මණ්ඩපයේදී සරසවනු ලැබේ. නිලමේවරුන් තම තමාට නියමිත දේවාලවල හා මාලිගා පරිශ්‍රයේ ඒ ඒ ස්ථානවල තුප්පොට්ටිය සඳහා උඩරට ඇඳුමෙන් සැරසෙති. ඒ වන විට සුවඳ පැනින් ජලස්නානය කොට නියමිත රාජකීය ඇඳුමෙන් සැරසී කඩුකස්ථාන සහිතව සූදානම්ව සිටින දියවඩන නිලමේ වෙත යන පනික්කියෝ දියවඩන නිලමෙට වැඳ නමස්කාර කොට ඔහු කැඳවාගෙන එති. ඒත් සමග තූර්ය නාද කොට හේවිසි මණ්ඩපයේ සිට එළන ලද පාවඩ  මතුපිට දළදා කරඬුව ඇතුගෙ පිට තැබීම දියවඩන නිලමේ ගමන් කරන අතර කත් තබන රාළගෙන් ලැබෙන දිය කෙණ්ඩියෙන්  පැන් පිළිගෙන පිරිසුදු වෙයි.

ඉන් පසු දළදා කරඬුව නියමිත සුබ හෝරාවේදී ගුරුදෙණියේ විදානේ, කාරියකරවන රාළ ආදීන් ඉදිරියේදී  ඇතා පිට වූ  රන් සිවි ගෙයි තැන්පත් කරයි. ඒත් සමගම පෙරහර ගමන් කළ යුතු හෝරාව හඟවන වෙඩි හඬ නිකුත් වෙයි. ගමන් හේවිසි නාදය පැතිර යයි. දළදා කරඬුව රැගත් ඇතා…. සාඩම්බර ඇත් ගමනින් යුතුව මාලිගා පරිශ්‍රයෙන් හෙමින් හෙමින් වීදියට ප්‍රවිෂ්ටව ඒ වන විට සකස් වී ඇති දළදා පෙරහරට එක් වෙයි. මහනුවර සෙංකඩගල පුරවරයේ වීදි සංචාරය කෙරෙන දළදා පෙරහර පස්වන දිනයේ වීදි සංචාරය කිරීමෙන් පසු අස්ගිරි විහාරයේ ආදාහන මළු විහාරස්ථානයට පිවිස එහි දළදා කරඬුව තැන්පත් කරනු ලබයි. මාලිගාවේ පෙරහර එසේ තාවකාලික ඉසිඹුවක් සඳහා අස්ගිරි විහාරයේ නතර වෙද්දී…. සතර මහා දේවාල දිය කැපීම සඳහා ගැටඹේ තොටුපොළ කරා ගමන් කරනු ඇත. දේවාලවල කපු මහත්වරු ගඟ මැදට ගමන් කර කප් සිටුවීමට ගත් කප් හා පෙර අවුරුද්දේ දිය කැපීමේදී ගත් දියද ගඟට දමති. ඉන් පසු නියමිත සුබ හෝරාවේදී රන් කඩුවෙන් දිය දෙබෑ කර  පුරවා ගන්නා ජලය සහිත කෙණ්ඩියද පෙරහරෙන් ගැටඹේ සිට මහනුවර ගණදෙවි කෝවිලට පැමිණ පුද පූජා පවත්වති.

එසේ පවත්වමින් තිබෙද්දී අස්ගිරි විහාරයේ ලැගුම් ගෙන සිටින දළදා පෙරහර අවසන් කාර්යයට පෙරහර සූදානම් කර ඇතුපිට දළදා කරඬුව වඩම්මවා ඒ බව වෙඬි හඬකින් සංඥා කරනු ලබයි. ගණදෙවි කෝවිලෙන් පිටත් වන සතර මහා දේවාල  පෙරහර අස්ගිරි විහාරය කරා ගොස් දළදා පෙරහරට එක් වෙති. අනතුරුව දහවල් පෙරහර නම් වූ දිය කැපුම් මංගල්‍යය හමාර කළ පෙරහර ද ශ්‍රී දළදා පෙරහරද මහනුවර නගරයේ වීදි සංචාරය කොට සුබ මොහොතින් දළදා මාලිගයට ප්‍රවිෂ්ට වෙති. සිවු මහා දේවාල පෙරහරද ඒ දේවාල කරා පැමිණෙති. රටට සෞභාග්‍යය උදාවෙන සේ වර්ෂාවත්, ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදයත් ලබා දෙන ලෙස වසරක් පාසා සිදු කෙරෙන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ඉන් නිමාවෙති. ඒ සොබා දහම විසින් මැවූ පරිසරයේ වෙනස්කම් රැසක් සමගින් එදත් අදත් සිංහල බෞද්ධයන් සලකන්නේ මහත් හාස්කමක් ලෙසිනි.

සඳරුවන් ලොකුහේවා