විශේෂාංග

ඇත්තටම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්නේ ඇයි?

 

 

19 සංශෝධනය විකෘතියක්. අඩුපාඩු රාශියක් තියෙනවා. එක්කෝ ජනාධිපතිට බලය තිබිය යුතුයි. නැත්නම් අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බලය තිබිය යුතුයි. නැතුව ඒ දෙපාර්ශ්වයටම බලය නැති ව්‍යවස්ථා සභාව කියා එකක් දාගෙන ඒකට ජනාධිපතිවරයා අභිබවා යන යම් යම් බලතල දුන්නම ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බවයි අපි හිතන්නේ. ජනතාව තෝරා ගන්නේ ජනාධිපතිතුමාව. ජනාධිපති තමයි ජනතාවට වග කියන්නේ. එතුමාගේ තීරණය අවසානාත්මක විය යුතුයි. ජනාධිපතිගේ තීරණය ව්‍යවස්ථා සභාවකට යටත් කළාම ඒක සාධාරණ නැහැ. ජනතාවට අවශ්‍ය දේ ලබා දීමට අපට හැකියාවක් තිබිය යුතුයි. මේ කිසිම දෙයක් අපි අලුතින් ගෙන ආ දේවල් නොවෙයි. මේවා නීතියේ තිබුණු දේවල්. මේ අය 19 සංශෝධනය ගෙන ආවාට පස්සේ අපි කරන්නේ යළි 19 සංශෝධනයෙන් ආපස්සට යාමයි. ඔබ දකිනවා 19 ව්‍යවස්ථාවෙන් පසුව ගෙවී ගිය කාලය. ඒ අවුරුදු පහක යහපාලන කාලය තුළ හැම ක්ෂේත්‍රයකම තිබුණේ පිරිහීමක්. ඇයි මේ 19 ක් අල්ලගෙන දඟලන්නේ. 19 එක්ක ආණ්ඩු කළ එකම ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. ඒ අය ආණ්ඩු කරලා පාස්කු ප්‍රහාරය සිදු වුණා ආරක්ෂාව සහතික කරන්න බැරුව. සම්පූර්ණයෙන්ම කුඩු ව්‍යාප්තවෙලා. හැම තැනම අපරාධ වැඩි වෙලා. ආර්ථිකය කඩා වැටිලා. 19 නැතිව තිබූ කාලයට සාපේක්ෂව රටක් වශයෙන් අපි ආපස්සට ගිහින් තියෙන්නේ. ඒ නිසා තමයි මේ අවශ්‍යතාව පැන නැගිල තියෙන්නේ.

මේ ආණ්ඩුවේ පළමුවන, වැදගත්ම කාර්යය කරන්න සිදුව තිබෙන්නේ අධිකරණ ඇමැතිවරයා ලෙස ඔබේ මූලිකත්වයෙන්. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු කියවීම ඔබ කළේ විපක්ෂයේ බාධා සහ ඝෝෂා කිරීම් මැද. එවැනි පරිසරයක් ආගන්තුකවූ ඔබ කොහොමද ඒ අවස්ථාවට මුහුණ දුන්නේ..?

ලංකාවේ තියෙන මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ මම මේ තත්ත්වය බලාපොරොත්තු නොවුණාමත් නොවේ. මම හිතනවා නීතියෙන් ක්‍රමවේදයක් සකස් කර තියෙනවා කොහොමද නීතියක් වෙනස් කරන්නේ, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්නේ සහ අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ කොහොමද කියලා. ඒ නීතියට අනුකූලව තමයි අපි මේ සියලු දේවල් කළේ. කැබිනට් මණ්ඩලය දුන් උපදෙස් මත මුලින්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් කෙටුම් පතක් සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් අනුමැතිය ලැබුණට පස්සේ නීතිපතිගේ අවසරය මත අපි එය ගැසට් පත්‍රයේ පළ කළා. ඉන් පස්සේ ජනතාව ඒ ගැන හොඳින් දැනුවත් වුණා. කිසිම දෙයක් රහසින් කළේ නැහැ. සති දෙක ගිය පසුව තමයි පළමුවර කියවීම ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. සතියක් තියෙනවා ඒ ගැන සෑහීමකට පත් නොවන පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒ ගැන මතය විමසන්න. ඉන් සති දෙකක් ගිය පසුව දෙවන වර කියවීමත්, තුන්වැනි වර කියවීමේ දී කාරක සභා අවස්ථාවේ යම් යම් වෙනස්කම් කළ හැකියි. මේ ක්‍රමවේදයට අනුකූලව තමයි අපි කටයුතු කරන්නේ.

ජනතාවට මේ මොහොතේ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යද කියන ප්‍රශ්නය ඇතැමුන් විමසනවා.?

ජනතාවට අවශ්‍ය හැමදේම අපි දැන් කරගෙන යනවනේ. අපි අනෙක් දෙවල් නතර කරලා මේ ව්‍යවස්ථා සංශෝධනය කරන්නේ නැහැනේ. මත්කුඩුවලින් ජනතාව මුදා ගැනීම සඳහා අපි විශාල සංග්‍රාමයක යෙදෙනවා. ආර්ථිකය නඟා සිටුවීමට කළ හැකි සියලු දේ කරගෙන යනවා. අධිකරණ ඇමැති ලෙස මම අලුත් නීති කීපයක්ම ගෙන එන්න උත්සාහ කරනවා. කැබිනට් පත්‍රිකා කීපයක්ම ඉදිරිපත්කර තිබෙනවා. මේ හැම දේම යන අතරතුර අපි මේකත් කරනවා. ජනතාවට අවශ්‍ය සේවය සැලසීම සඳහා ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට මේ සංශෝධනය අවශ්‍යයි.

20 වැනි සංශෝධනය ජනතාවාදී වෙන්නේ කොහොමද.?

වඩා යුහුසුළු හා කාර්යක්ෂම රාජ්‍ය පාලනයකට අවශ්‍ය පසුබිම සකස් කිරීමෙන් තමයි මෙය ජනතාවාදී වෙන්නේ. ලංකාවේ පොලිස්පතිට දැන් ස්ථානාධිපතිවරයෙක් මාරු කරන්න බැහැ පොලිස් කොමිසමේ අවසරය නැතුව. එතකොට පොලිස්පතිට අධිකාරියක් තියෙනවද තමන්ගේ දෙපාර්තමේන්තුව බලා ගන්න. ඔබ දන්නවා ශානි අබේසේකර සමග සිටි නිශාන්ත සිල්වා. නිශාන්තට ස්ථාන මාරුවක් දුන්නාම මේ කොමිසම මැදිහත් වෙලා ඔහුව යළි ගෙන්වා ගත්තා. ආණ්ඩුව පැරදුණු ගමන් ඔහු රට පැන්නා. ඒකවත් කර ගන්න බැරි නම් මොකටද පොලිස්පතිවරයෙක්. කොමිසම දැමූ විට පොලිස් සේවයේ ප්‍රමාණාත්මක වෙනසක් නේ විය යුත්තේ. ඒ වෙනස සංකේතවත් වන්නේ රටේ අපරාධ අඩු වීමෙන් නේ. ඔබ දන්නවාද 2015 වර්ෂයේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලැබුණු කුඩු නියැදි ප්‍රමාණය 6700 යි. 2016 දී නියැදි 7900 යි. 2017 දී නියැදි 9000යි. 2018 දී 11000 යි. 2019 වෙද්දී 16000 යි. මහා විශාල වශයෙන් වැඩිවෙලා. කොමිෂන් සභා හදලා වැඩක් තිනෙවද ජනතාවගේ ප්‍රශ්නවලට ඒවායෙන් උත්තර නැත්නම්. 2005 සිට 2015 දක්වා ලංකාවේ ආර්ථික වර්ධන වේගය දළ වශයෙන් 6.3% යි. කොමිෂන් සමග යහපාලනය එය බැස්සුවා 2.1% ට. 2009 මැයි 21 ප්‍රභාකරන්ව ඝාතනය කරලා යුද්ධය සම්පූර්ණයෙන් හෝ නතර කළාට පස්සේ 2015 දක්වා එකම සාහාසික සිද්ධියක් වුණේ නැහැ. 2015 යහපාලනය ආවට පස්සේ ප්‍රභාකරන්ට සාපේක්ෂව සහරාන්ල වගේ අයගෙන්වත් රට බේරා ගන්න බැරි වුණා. පාස්කු ප්‍රහාරයට යද්දී අගමැති සහ ජනාධිපති එකිනෙකා සමග කතා කරන්නේ නෑ. දෙන්නා එකට වාඩි වෙන්නේ නෑ. එවැනි ව්‍යාකූල තැනකටද අපි රට ගෙනයා යුත්තේ කියන එක හොඳට පේනවා. ඒ නිසා මේ මහා විකෘතියෙන් රට එළියට ගත යුතුයි.

20 වැනි සංශෝධනය එන්නේ 19 ව්‍යවස්ථාවේ සියල්ල අහෝසි කරමින්ද, 19 සංශෝධනයේ හොඳ දෙයක් ඇත්තේම නැද්ද?

ඇත්තවශයෙන්ම කියනවා නම් 19 තුළ යම් යම් හොඳ දේවල් තියෙනවා. ඒ හින්දා තමයි අපි මේක අදියර දෙකකින් කරන්නේ. සමගාමීව යන අදියර දෙකක්. මේ අය 19 ගෙනාවනේ. 2019දී සහ 2020 මහ මැතිවරණයේදීත් අපි දිගින් දිගටම ජනතාවට කිව්වනේ 19 වෙනස් කරනවා කියලා. ඒකනේ ජනතාව 2/3 දීලා තියෙන්නේ. ජනාධිපතිතුමාගේ අවුරුදු පහෙන් අවුරුද්දක් ගෙවිලා. වෙනස් කර කර ඉන්න තව අවුරුදු ගානක් ගියොත් එතුමගේ ගැම්ම අඩු වෙනවා. බලාපොරොත්තු වන සේවය කරන්න අපහසු වෙනවා. ඒ නිසා අපි ඉක්මණින් 19න් 18ට යනවා. 18 කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගෙන ආ සංශෝධනයක්. අපි එතැනට අපසු යනවා. ඒ හා සමගාමීව අලුත් ව්‍යවස්ථාවක ප්‍රතිපාදනත් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා විද්වත් මණ්ඩලයක් පත් කර තිබෙනවා. 19 තුළ ඇති හොඳ දේ එකතු කරගෙන අපි අලුත් ව්‍යවස්ථාවකට යනවා. නමුත් ඉක්මණටම අපට මේක කරන්න ඕන නිසා අපි තීරණය කළා 19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා 19 ගෙන ආ අවස්ථාවේ තිබුණු තත්ත්වයට ආපසු යනවා කියලා.

ඒ කියන්නේ ආපස්සට යාමක්?

ආපස්සට නෙවෙයි. අපි දකින විදිහට රටක් වශයෙන් ඉදිරියට යාමක්. ඒ ප්‍රොවිෂන්ස් ටික බැලුවාම ආපස්සට යාමක්. නමුත් අවසන් වශයෙන් අප බැලිය යුතුයි. 19 න් ගෙන ආ කොමිෂන් වැනි වෙනස් කිරීම් රටේ ආර්ථික වර්ධනයකට තුඩු දුන්නද කියලා ජාතික ආරක්ෂාව තහවුරු වුණාද, ජනතාව අතර සාමය, සමගිය වර්ධනය වුණාද, කලට වේලාවට ඡන්ද පැවැත්වූවාද, අපරාධ අඩුවුණාද කියන එක. මේ හැම දේම අසමත්නේ. යහපාලන ආණ්ඩුවෙන් ඇහැව්වොත් මොනවද කළේ කියලා ඔවුන් කියන එකම දේ තමයි 19 ගෙනාවා කියා. ඉන් ලැබුණු දෙයක් නැහැ.

ඔබ එක්තරා අවස්ථාවකදී පවසා තිබුණා 17 වැනි සංශෝධනය සහ 19 වැනි සංශෝධනය එක සමානයි කියා. කොහොමද එහෙම වෙන්නේ?

බොහෝ විට. මේ 17 සහ 19 සංශෝධන ජනතාවාදී සංශෝධන නොවෙයි. මේක දේශපාලන කුමන්ත්‍රණයක්. 78 දී විධායක ජනාධිපති ක්‍රමය ගෙනාවේ අපි නෙවෙයි එක්සත් ජාතික පක්ෂය. ඒක තමයි සාන්ද්‍රණය වැඩි බලවත්ම එක. එ.ජා.ප.ය 1994 දී චන්ද්‍රිකා මැතිණියට පැරදුනා. 1999 දී යළි රනිල් වික්‍රමසිංහත් පැරදුණා. 2000 දී රනිල් වික්‍රමසිංහ දිනුවා. අගමැති රනිල් ජනාධිපති චන්ද්‍රිකා. ඇගේ බලය ජනාධිපතිවරණයෙන් පැරදුණු පුද්ගලයාට ලබා දීමට අටවපු උගුලක් තමයි 17 වැනි සංශෝධනය. ඒ 17 න් ජනාධිපතිනියගේ සමහර බලතල අතට ගන්න බැලුවත් ඒක හරි ගියේ නැහැ. ඒ නිසා ඔය කොමිෂන් සභා ටික ගෙනාවා. ඉන් පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තේරුණා මේ කොමිෂන් නිසා වැඩ කරගන්න, අවශ්‍ය තීන්දු තීරණ ගන්න බැරි බව. ඒ නිසා එතුමා 18 ට ආවා. ඒත් ඒකත් සාන්ද්‍රණය අතින් 78 ව්‍යවස්ථාවට වඩා අඩුයි. එහෙම යද්දී රනිල් වික්‍රමසිංහ ඔහුගේ කුමන්ත්‍රණය යළි දියත් කළා. යළි ඡන්දය ඉල්ලා දිනන්න බැරි නිසා රනිල් මෛත්‍රිපාල සිරිසේනව ඉදිරියට දාලා ජනාධිපති කරලා පසුව ජනාධිපති බලතල තම අතට ගන්න කළ රනිල්ගේ දෙවන කුමන්ත්‍රණය තමයි 19 කියන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත්වෙලා එහි තටු කැපුවා. ඒ නිසා තමයි මේ විකෘතිය නිර්මාණය වෙලා තියෙන්නේ. එකම ආණ්ඩුව නායකයෝ දෙන්නෙක්. එක බස් එකක ඩ්‍රයිවර්ලා දෙන්නෙක්. දහ නවයට මැදිහත් වුණු හැම මිනිහෙක්ම දැන් ඒකට විරුද්ධයි. මෛත්‍රිපාල සිරිසේන කියනවා මේක වෙනස් කළ යුතුයි කියා. සුමන්තිරන් කියනවා මේක තාවකාලිකව ගෙනා එකක් කියලා. මේක ලියූ ජයම්පති වික්‍රමරත්නව හොයා ගන්න නෑ. මන්ත්‍රී ධුරයත් එපා කියලා රටත් දාලා යන්න ගියා. ඒ අයට එපාවූ 19 අපට මොකටද.

20 වැනි සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කරන්න කැබිනට් මණ්ඩලයට ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට විපක්ෂය චෝදනා කරනවා.?

මම ඒක පිළිගන්නෙ නැහැ. මමත් අහගෙන හිටියා. විපක්ෂය කියන්නේ පට්ටපල් බොරු. කැබිනට්ටුවේදී මේ සියල්ල පැය ගානක් තර්ක කළා. සමහර තර්ක ඉතාමත් උද්වේගකර වුණා. එහෙම තමයි කැබිනට් එකක්, වෙනත් මත දරාගෙන අවසානයෙ එකඟතාවකට එනවා. අපි එකඟතාවකට ඇවිත් තමයි මෙය ගැසට් කළේ.

කැබිනට්ටුවේ දී මෙය අධ්‍යයනය කරලා අනුමත නොකළ නිසා තමයි එහි වෙනස්කම් සොයන්න වෙනම කමිටුවක් දැම්මේ කියලයි විපක්ෂය කියන්නේ.?

ඒ අය එහෙම කියනවා. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. මිනිස්සුන්ගේ විවිධ මත තියෙනවනේ. කැබිනට්ටුවට පිටින් ආ මත තියෙනවා. ඒවා විමසලා කරුණු වාර්තා කරන්න කියලයි කිව්වේ. ඒ ගැන සලකා බලලා යම් යම් වෙනස්කම් අපි කමිටු අවස්ථාවේදී කරනවා.

අපේ රටේ බලයට පත් හැම ආණ්ඩුවක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විවිධාකාරයේ සංශෝධන ගෙන ආවා. රටේ මූලික නීතිය මෙලෙස වරින් වර වෙනස් කිරීම සුදුසුද.?

රටේ මූලික නීතිය වෙනස් වෙනවා. අවුරුදු සීයක් විතර එකම දේ තියාගෙන ඉන්න බැහැ. ඇමරිකාවේ එකසිය ගානක්, ඉන්දියාවේ දාහත් සැරයක් විතර සංශෝධනය වෙලා තියෙනවා. නමුත් ලංකාවේ සංශෝධනවල වෙනස්කම තමයි ඔබ කියූ ආකාරයට මේ කිසිම සංශෝධනයක් රට වෙනුවෙන් කළ සංශෝධන නෙවෙයි. පෞද්ගලික අරමුණු ඉටු කර ගන්න බලහත්කාරයෙන් තමයි ඔය සංශෝධන ගෙනැවිත් තියෙන්නේ. 17 ගෙනාපු නිසා 18 ගේන්න වුණා. 19 ගෙනාපු නිසා තමයි 20 ගේන්න වුණේ. 17 වැනි සංශෝධනය ආවේ නැත්නම් තිබුණු ව්‍යවස්ථාවම තමයි යන්නේ. එහෙම නම් අලුත් ව්‍යවස්ථාවකට යන්න ඕනේ. ජනාධිපතිවරයෙකුට බලය තියෙනවා කියලා ව්‍යවස්ථාවේ තියෙනවා. රටේ සියලුම ජනතාවගෙන් ජනාධිපතිවරයා තෝරාපත් කර ගන්නවා. ඉන් පස්සේ එතුමාගේ තටු කපනවා. ඒක හරි නෑනේ. තුලන හා සංචරණය ඕනෑම ආණ්ඩුක්‍රමයක තියෙනවා.

කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ජනාධිපතිවරයාට විධායක බලය තියෙනවා. පාර්ලිමේන්තුවට තියෙනවා නීති හදන බලය. ශක්තිමත් නායකත්වයක් නැතිව මේක කරන්න බැහැ. මේ අවුරුදු පහ අරගෙන යන්න ඕනේ. මේ පත්වුණා විතරයි. අවුරුදු දෙක තුන හතර යද්දී විවිධ බාධක එනවා. මේ සමහර බලතල අවශ්‍ය වන්නේ ඒ වෙලාවෙදී. ඒ නිසා තමයි අපි මේ තුන්කල් බලලා ජනාධිපතිතුමාව ශක්තිමත් කරන්න බලන්නේ.

ජනතාවට අවශ්‍යයි එතුමන්ගෙන් සේවයක් කර ගන්න. එතුමට දලා තියෙන බලතලවත් පාවිච්චි කරන්නේ නැහැ. ජනාධිපති මන්දිරේට යන්නෙත් නැහැ. විශ්‍රාම කාලෙදී ජීවත් වෙන්න කියලා එතුමා ගෙවල් හදාගෙනත් නැහැ. හිටපු ගෙදරමයි ඉන්නේ. පාරෙ යද්දීත් ආරක්ෂක රථ දෙකයි පාවිච්චි කරන්නේ. දෙදාහක ආරක්ෂකයින් දෙසීයකට සීමා කළා. එතුමාගේ බිරිඳ වෙළෙඳසලට තනියෙන් ගිහින් බඩු ගන්නේ. එතුමා බලය ඉල්ලන්නේ අරගෙන යකා නටන්න නෙවෙයි. ජනතා සේවය සඳහා ශක්තිමත් විය යුතුයි. යම් යම් තීන්දු තීරණ ගන්න පුළුවන් විය යුතුයි. ඒක වැරදි වුණොත් අපිත් දන්නවා එතුමාත් දන්නවා අවුරුදු පහකින් ජනතාවට වග කියන්න ඕනේ කියලා. තුනෙන් දෙක නෙවෙයි හයෙන් පහ ලැබුණු අයටත් ජනතාව තමන්ගේ ඡන්දෙන් පාඩම් උගන්වලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඒ ගැන හොඳ කළමනාකරණයකින් ඉන්නවා. අපිත් ඒක හොඳින් කියවගෙනයි ඉන්නේ. බලය අරගෙන යකා නටන්න ගියොත් ජනතාව අපිව ගෙදර යවනවා.

19 වැනි සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේදී තමන්ගේ ඡන්දය ලබා ගත්තේ අලුත් ව්‍යවස්ථාවකට පොරොන්දුවක් දීලා යැයි අද ආණ්ඩුවේ සිටින සමහරු කියනවා. අනාගතයේදී විස්ස ගැනත් ඒ විදිහට කියන්න සිදුවේවිද?

ඕක නම් ඉතිං මට පේන කියන්න බැහැ. ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය මට උපදෙස් ලබා දුන්නා විද්වත් මණ්ඩලයක් පත් කරන්න කියලා. හැම ක්‍ෂේත්‍රයක්ම නියෝජනය කරන හොඳ විද්වත් කමිටුවක් ඉන්නවා. අවශ්‍යතාවක් නැත් නම් එවැනි අයගේ කාලය නාස්ති කරන්නේ නැහැනේ. කාලවකවානුවක් කියන්න බැහැ කවද ද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පත දෙන්නේ කියලා. නමුත් අපට අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය තියෙනවා.

ආණ්ඩුව විසින් විසි වැනි සංශෝධනයට ගෙන එන වෙනස්කම් විවාදය අවසානයේ ඡන්ද විමසීමට පෙර කාරක සභා අවස්ථාවේදී ගෙන එන බව කියනවා. ඒ වෙලාවේ විපක්ෂය විසින් සංශෝධන ගෙන ආවොත් ඒවා පිළිගන්නවද?

අපි සලකල බලනවා ඒ සංශෝධන පිළිගන්න පුළුවන්ද කියලා. ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඔක්කොම දානවා කියලා. ප්‍රතික්‍ෂේප කරන්නත් පුළුවන්. විපක්ෂය කියන කියන සංශෝධන අපි විස්සට ගේන්නේ නැහැ. විපක්ෂයට ඕන ඕන දේ කරන්න නම් ඉතින් විස්ස නොගෙනත් ඉන්න තිබුණනේ. සියල්ල කරන්නේ නැහැ. ඒක පැහැදිලියි. අපි ව්‍යවස්ථාදායක සභාව වෙනස් කරලා පාර්ලිමේන්තු සභාව ගේනවා. ඒක වෙනස් කරන්න බෑ විපක්ෂය කිව්වා කියලා.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවට යාම වැළැක්වීම සඳහා එම කාරක සභා අලුතින් පිහිටුවීම අත්හිටුවා ඇති බවට චෝදනාවක් එල්ල වෙනවා.?

ආංශික අධීක්ෂණ කාරක සභාවට යම් පනතක් ඉදිරිපත් කළ යුතුයි කියා කොහෙද කියලා තියෙන්නේ. අපේ රටේ ව්‍යවස්ථාවේ එහෙම නීතියක් නැහැ. ඒක තියෙන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලයි. ඒ ස්ථාවර නියෝගවලම තියෙනවා යම් කිසි ස්ථාවර නියෝගයක් යටපත් කළ හැකියි කියා. ඒක හැදුවෙත් ඔය කියන අයම තමයි. ඒ නිසා අපි ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරනවා.

20 වැනි ව්‍යවස්ථාවට අමතර දෙයක් ඔබෙන් අසන්නම්. නඩු පමා වීම, රස පරීක්ෂක වාර්තා පමාවීම පිළිබඳ විසඳුම් ලබා දෙන බවට සෑම අධිකරණ ඇමැතිවරයෙක්ම පොරොන්දු වුණා. දැන් මේ ප්‍රශ්නය ඔබ හමුවට ඇවිත්?

අනිවාර්යයෙන්ම විශාල ගැටලු රැසක් තියෙනවා. විසඳන්න ඕනේ. මම හිතනවා ඔය ගැන කතා කරනවට වැඩිය තව අවුරුද්දකින් විතර අපි සාකචඡාවක් තියලා බලමු විසඳලද කියලා. අඩු ගානේ විසඳන්න අඩිතාලමක්වත් දාලා තියෙනවද කියලා. මේ වෙනස්කම් කරද්දී අපිට අභියෝගත් තියෙනවා. නමුත් වෙනස්කළ යුතු ආකාරය ගැන මට ලොකු අවබෝධයක් තියෙනවා. හැකි දේවල් දැන් ඉඳලා මම කරගෙන යනවා. කරලාත් තියෙනවා. ළමා අපචාර සම්බන්ධයෙන් වෙනම උසාවි පටන් ගත්තා. ළමයින් ලිංගික කටයුතුවලට පොලඹවන අසභ්‍ය ප්‍රකාශවලට එරෙහි නීතිමය පනත අපි පසුගිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළා. දරුවන් සේවයට යෙදවිය හැකි වයස වෙනස් කළා. වයස 18 ළමයින්ව අපරාධකරුවන් සමග සිරගත කරන එක වළක්වාලන නීතියක් ගෙන ආවා. මට සීයට සීයක් සහතික වෙන්න බැහැ. නමුත් උත්සාහය නම් අත අරින්නේ නැහැ.

අජිත් අලහකෝන්