විශේෂාංග

ඇත්තටම ජවිපෙ විනාශ වුණේ කොහොමද?

2020.08.16 දින මහාචාර්ය අතුල සුමතිපාල මහතා විසින් ‘සති අග අරුණ’ට ලියා තිබූ ‘පිටතින් විනාශ කළ නොහැකි වූ ජවිපෙ ඇතුළතින් විනාශ කළ කුමන්ත්‍රණය’ මැයෙන් වූ ලිපියට ඌන පූරණයකි.

ජවිපෙ යනු මෙරට බිහිවූ වෙනස්ම ආකාරයේ වමේ දේශපාලන පක්ෂයකි. විවිධ හැලහැප්පීම් මධ්‍යයේ දිගු ගමනක් පැමිණ (සමහර සිද්ධීන් අප අනුමත නොකළත්) ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ එය තම උපරිම සාර්ථකත්වය පෙන්නුවේ 2004දීය. වසර දහයක් වැනි කෙටි කාලයක් තුළ ඔවුන් ලැබූ එම ප්‍රජාතන්ත්‍රවාදී සාර්ථකත්වයම ඔවුන්ගේ නවමු බව හා ආකර්ෂණීය බව රටට පෙන්නුවේය. කෙසේ නමුත් එම සාර්ථකත්වය ඔවුන්ගේ විනාශයටද මග පෑදූ බව මාගේ හැඟීමයි.

මෙතෙක් කාලයක් මෙරට දේශපාලන බලය පවත්වාගෙන ආ කණ්ඩායම් දෙක වෙනත් කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් එම බලය ලබාගනු දැකීමට කැමති වූයේ නැත. (තවමත් තත්ත්වය එසේමය) නමුත් 2004දී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 41ක් ලබාගැනීම, ඔවුන්ට ලැබුණු අමාත්‍යාංශ අන් අයට වඩා හොඳින් කරගෙන යාම හා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම යන කාරණා මත එම පක්ෂ දෙකම තැති ගත්තේය. ජවිපෙ හා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාව තුළ යම් ප්‍රසාදයක් ගොඩනැගෙන්නට වූ බැවින් ඔවුන්ගෙන් එල්ල විය හැකි අනාගත දේශපාලන අභියෝගය වටහාගත් දේශපාලන නායකයන් කිහිප දෙනෙක් වහාම තම ක්‍රියාන්විතය ආරම්භ කළේය.

වැඩි කාලයක් ගතවූයේ නැත. ජවිපෙ තුළ විවිධ හැලහැප්පීම්, මතගැටුම් ඇතිවන්නට විය. එහි ප්‍රතිඵලය ලෙස ටික කලකට පසු විමල් වීරවංශ ඇතුළු පිරිසක් ජවිපෙන් ඉවත් විය. ඒ හා සමගම පොදු පෙරමුණ විසින් ඔවුන් සාදරයෙන් පිළිගන්නා ලදී. පසුව ඔවුන් වෙනම පක්ෂයක් පිහිටුවාගෙන පොදු පෙරමුණ තුළ තම ස්ථාවරත්වය ගොඩනගා ගත්හ. කවුරු කෙසේ කීවත් ජවිපෙ පරිහානියේ මූලාරම්භය සිදුවූයේ එතැන් පටන්ය. ඉන් වසර කිහිපයකට පසු අදිසි හස්තයක බලපෑම නිසා කුමාර් ගුණරත්නම් ඇතුළු තවත් පිරිසක් ජවිපෙන් වෙන්වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩනගා ගත්හ. එයද ජවිපෙට එල්ල වූ තබත් ප්‍රබල අභියෝගයක් විය.

බාහිරින් එල්ල වූ මෙම අභියෝගයන් නිවැරදිව විග්‍රහ කරගැනීමට ජවිපෙ අපොහොසත් විය. එදා පක්ෂය තුළ ඇතිවූ මතගැටුම්වලට හේතු නිවැරදිව හඳුනාගෙන පක්ෂය කැඩී යා නොදී රැක ගැනීමට තරම් දේශපාලනික වශයෙන් පරිණත වූවා නම් අද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත නොවන්නට ඉඩ තිබුණි. නමුත් ඔවුන් කළේ පක්ෂයෙන් වෙන්ව ගිය පිරිස හා ඊට උඩගෙඩි දුන් පිරිස සමග බද්ධ වෛරයක් ඇති කරගෙන සැබෑ ගැටලුව නිවැරදිව සමාලෝචනය කර නොගැනීමයි. 2004දී ලැබූ විශාල ජයග්‍රහණය පිළිබඳ ජවිපෙ සමහර නායකයන් අධි තක්​සේරුවක සිටීමද එයට යම් පමණකින් දායක වන්නට ඇත. සමහරු ඉක්මනින් බලය ලබාගැනීම සඳහා ධනවාදී පක්ෂ සමග එකතු වන්නට තීරණය කළා වන්නට පුළුවන.

ජවිපෙ නව නායකත්වයද පක්ෂයේ පරිහානියට බෙහෙවින් හේතු වූ බව මාගේ හැඟීමයි. ඔහුගේ නායකත්වය යටතේ පක්ෂය සම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් බවට වේගයෙන් රූපාන්තරණය විය. එක් ධනවාදී පක්ෂයක් සමග බද්ධ වෛරයකින් ක්‍රියා කළ අතර අනෙක් ධනවාදී පක්ෂය සමග අනවශ්‍ය තරමට සමීප විය. ඒ හා සමගම ජවිපෙට ලැදිව සිටි ජනතාව වේගයෙන් ඔවුන්ගෙන් දුරස් විය. නමුත් ඔවුන් එම තත්ත්වය නිවැරදිව අවබෝධ කරගත්තේ නැත. ජනතාවගේ අදහස්වලට, ඔවුන්ගේ සිතුම් පැතුම්වලට සංවේදී වූයේ නැත. මම පුද්ගලිකව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මේ පිළිබඳ කිහිප විටක් පවසා සිටියද ඔහු එය නිවැරදි අවධානයට ලක් කළේ නැත. පවතින මේ දේශපාලන ක්‍රමවේදය තුළ ජනතාවගේ සිතුම් පැතුම් නිවැරදිව අවබෝධ කර නොගෙන ඉදිරියට යාම බෙහෙවින් අසීරු කාර්යයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් ලබාගත්තේ එම තත්ත්වය නිවැරදිව අවබෝධ කරගත් නිසාය.

ජවිපෙ අප රටට අත්‍යාවශ්‍ය දේශපාලන පක්ෂයකි. නමුත් ඒ දැනට පවතින ජවිපෙ නොව, නව නායකත්වයක් යටතේ දේශපාලන ගැති නොවූ මධ්‍යස්ථ මතධාරී ජනතාවගේ සිතැඟියාවන් නිවැරදිව හඳුනාගත හැකි, ඒ ඔස්සේ රටට වැඩදායී ඉදිරි ගමනක් යාහැකි වාමාංශික පක්ෂයකි. වත්මන් ජනපති දැනට කරගෙන යන වැඩපිළිවෙළ මේ අයුරින්ම ඉදිරියට කරගෙන යාමට හැකි වුවහොත් ජවිපෙට සිදුවන්නේ අපේ පැරණි වමේ දේශපාලන පක්ෂවලට වූ පරිද්දෙන් ඊළඟ මැතිවරණයේදී කුණු කූඩයට වැටීමට හෝ ධනවාදී පක්ෂයක ඔඩොක්කුවට වැටීමටය. මේ ඔවුන්ට එයින් බේරීමට ඇති එකම හා අවසන් අවස්ථාවයි. එහෙයින් වහාම පක්ෂ නායකත්වය හා පසුගිය වැඩපිළිවෙළ ගැඹුරු සංවාදයකට භාජන කර නව ඉදිරි වැඩපිළිවෙළක් සහිතව ප්‍රතිසංවිධානය විය යුතුය. රටට හිතකර යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන පුරවැසියකු ලෙස මේ අවසන් මොහොතේ හෝ ජවිපෙට එම නුවණ පහළ වේවායි ප්‍රාර්ථනා කරමි.

දේශාන්ත දුනුසිංහ