කතුවැකි

ඇඩම් ස්මිත් පවා හොල්මං වෙන ආර්ථිකයක, මේක අමුතුම සහනයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩලය ජනවාරි මස සිට රුපියල් බිලියන 229ක සහන පැකේජයක් ලබාදීමට තීරණය කිරීම මේ වන විට බෙහෙවින් අවධානයට ලක්ව ඇති මාතෘකාව බවට සැකයක් නැත.

රට ප්‍රබල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියදී ආණ්ඩුව මෙසේ සහන පැකේජයක් දෙන්නේ කවර ආර්ථික විද්‍යා මූල ධර්මයකට අනුවදැයි කවරෙකුට හෝ ගැටලුවක් මතුවීම නොවැළැක්විය හැකිය. ඉතා මෑතදී නිකුත් කළ මහ බැංකු වාර්තාව අනුව මෙරට ආහාර උද්ධමනය සියයට 22.1කි. ආහාර උද්ධමනය අතින් අපේ රට සිටින්නේ දකුණු ආසියාවේ පළමු තැනය. ආසියාවෙන් සිව් වැනි තැනය. මුළු ලෝකයෙන්ම 12 වැනි තැනය.

මහ බැංකු දත්ත අනුව 2021 නොවැම්බර් මස සියයට 9.9 කින්ද දෙසැම්බර් මස සියයට 12.1කින්ද උද්ධමනය ඉහළ ගොස් ඇත.

ආහාරමය සහ ආහාරමය නොවන අයිතමවල මිල ගණන් ඉහළ යාම මෙම උද්ධමනයට බලපා තිබේ. එසේ බලන් සිටිද්දී උද්ධමනය ඉහළ නගිද්දී ආණ්ඩුව බිලියන 229ක සුවිසල් සහන පැකේජයක් ලබාදීම ඇවිළෙන උද්ධමන ගින්නට පිදුරු දැමීමක් නොවන්නේ දැයි අප මුලින් මතු කළ ගැටලුව තවත් ආකාරයකින්ද මතු කළ හැකිය. ආර්ථික විද්‍යාත්මකව බලන කල එකී ගැටලුවෙහි යුක්ති යුක්තභාවයක් දැකිය හැකිය. භාණ්ඩ හා සේවා සීමිත වීමේදී ඒ පිළිබඳ ඉල්ලුම ඉහළ යාම උද්ධමනයට හේතුවන බව ආර්ථික විද්‍යා පොතේ හෝඩිය කියවූවෙකුට වුවද වැටහෙන කරුණකි. ආණ්ඩුව ජනවාරි මස සිට ලබා​දෙන පැකේජයෙන් රාජ්‍ය සේවකයන්ට පමණක් නොව විශ්‍රාමිකයන්ටද ආබාධිත සෙබළුන්ටද වාසි සැලසේ. එක් පැත්තකින් විශ්‍රාමිකයන්ගේ සහ ආබාධිත සෙබළුන්ගේ දුක්ගැනවිලි කාලයක් තිස්සේ ඇසෙන්නකි.

එහෙයින් මේ පැකේජයේදී ඔවුන්ද අමතක නොකිරීම අගය කළ යුතු කරුණකි. මේ තුන්ගොල්ලන්ට සහන සැලසීමෙන් පවුල් විශාල සංඛ්‍යාවකට ප්‍රතිලාභ සැලසෙන බව අමුතුවෙන් කිව යුත නැත. ආණ්ඩුව නව පැකේජය මගින් සමෘද්ධිලාභීන්ට ලබා දෙන 3500ටද රු. 1000ක එකතුවක් ඇත. එසේම වතුකම්කරුවන්ද ගිලිහී නැත. ඔවුන්ට රුපියල් 40ක් අඩුවට එනම් රුපියල් 120යේ තිරිඟු පිටි කිලෝව රුපියල් 80ක් වැනි සහන මිලකට ලබා දීමට තීරණය කර තිබේ. එසේ සහන මිල යටතේ තිරිඟුපිටි කිලෝ 15ක් එක් වතුකම්කරු පවුලකට හිමිවේ. පසුගිය කාලයේ වගා හානියට මුහුණ දෙමින් ගොවීහු ආණ්ඩුවෙන් සහන ඉල්ලූහ. මෙම පැකේයේදී එයටද කන්දී රුපියල් 75ක් නිශ්චිත මිලකට වී කිලෝවක් මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කිරීම සාධනීය පියවරක් වුවද වී කිලෝවකට වැඩිපුර එකතුවන රුපියල් 25 වී වෙළෙඳ​පොළේ මාෆියාකාරයන් අතට පත් නොවී ගොවියා අතටම ලැබෙන වැඩපිළිවෙළක් නම් ආණ්ඩුව සැකසිය යුතු බව අවධාරණය කළ යුතුමය. එහෙම නොවුණහොත් ගොවියාට සහන දෙන්න ගිය ආණ්ඩුවට සිදුවන්නේ වක්කඩේ හකුරු හැංගූ මිනිහාට වෙච්ච දේමය.

මේ අතර වතු වගාකරුවන් දිරිමත් කිරීමට පර්චස් 20ක වතු වගාවට රුපියල් 5000ක දීමනාවකුත් වගාව අක්කරයකට වැඩි නම් රුපියල් 10000ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ. මෙහිලා ප්‍රායෝගික ගැටලු කීපයකි. පර්චස් 20කට 5000ක් ලබාදී අක්කරයට වැඩි වගාවන්ට රුපියල් 10000ක් ලබාදීම කෙතරම් ප්‍රායෝගිකද යන ගැටලුව ඉන් පළමුවැන්නය. එසේම එසේ ලබාදීමේ නිර්ණායක මොනවාද යන්නද නිශ්චිත විය යුතුය. ආණ්ඩුවේ මේ සහන පැකේජයට සමෘද්ධියත් නොලබන එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වන පහළටම වැටුණු මිනිසුන් ගැනද අවධානය යොමු විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුදත් නව ලිබරල් ආර්ථික විද්‍යාව අනුව නම් මේ සහන පැකේජය හිසරදේට කොට්ටේ මාරු කරනවා වැනි වැඩකි.

එහෙත් රට මුහුණ පා තිබෙන උග්‍ර උද්ධමනයට දීර්ඝකාලීනව විසඳුම් සොයන අතර ඊට හසුවී එදිනෙදා අවශ්‍යතාත් සපුරා ගත නොහැකිව අසරණව සිටින මහජනතාව නොතකා හැරීම ආණ්ඩුවට කළ හැක්කක් නොවේ. සහන පැකේජ එපා යැයි කියන උදවිය ඉන් අදහස් කරන්නේ අඩු ආදායම්ලාභී ජනතාව පාරටම වැටෙනකම් නෑසුනුකන්ව නොපෙනෙන දෑස්ව සිටීමදැයි අපට නොවැටහේ.

උග්‍ර ආර්ථික අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් සොයන අතරේ මහජනතාවට පටි පිට පටි තද කර ගන්නැයි ආණ්ඩුවට ප්‍රකාශ කළ නොහැකිය. එහෙත් මේ සහන පැකේජ ලබාදීමට ආණ්ඩුවට මුදල් සොයා ගන්නේ කෙසේද යන ගැටලුවටද මග නොහැරිය හැකි එකකි. ඒ සඳහා සල්ලි සොයා ගන්නේ සල්ලි අච්චු ගහල නම් එය අතීසාරෙට අමුඩෙ ගැසීම වැනි පිළියමකි. මේ ආකාරයට වටිනාකමක් නැතිව සල්ලි කොළ අච්චු ගැසීමෙන් භාණ්ඩ මිල තවත් ඉහළ යනු ඇත. එසේම සීමිත භාණ්ඩ සඳහා තිබෙන ඉල්ලුමද ඉහළ යනු ඇත.

එසේ වුවද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ නම් සඳහන් කරන්නේ සහන පැකේජයේ බර ජනතාව පිට නොපටවා අපනයනය ඉහළ දැමීම සහ විදේශ සේවා නියුක්තිය වැඩි කිරීමෙන් එසේම සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමෙන් ඒ සඳහා මුදල් සොයා ගන්නා බවය. එසේම මුදල් ඇමැති රාජ්‍ය වියදම් කපා දැමීමද තවත් ධනෝපාය මාර්ගයකි. එහෙත් ඔහුම සඳහන් කරන පරිදි 2021 වසරේ රාජ්‍ය වියදම් කපා දැමීමෙන් ලැබී තිබෙන්නේ කෝටි 5කි.

කෙසේ වුවද අත්‍යවශ්‍ය ආහාරවලට හා ඖෂධවලට ගැහුව්ව බදුද ඉවත් කිරීමට තීරණය කිරීම ආණ්ඩුවේ සහන පැකේජය තවදුරටත් සහනයක් කිරීමකි.

එයට හේතුව බදු ඉවත් නොකර සහන පැකේජ ලබාදීම පළක් නොවන වැඩක් හෙයිනි.

කොහොම නමුදු රාජ්‍ය සේවය තුළ කෙතරම් ගැටලු තිබුණද රාජ්‍ය සේවකයන්ට සහන පැකේජයක් ලබාදීමට රජය ගෙන තිබෙන තීන්දුවට ඔවුන්ගේ පැත්තෙන්ද හොඳ ප්‍රතිචාරයක් ලැබිය යුතුය. ඒ රාජ්‍ය සේවාව තුළ තිබෙන නාස්තිය පාඩුව අවම කර ගැනීමට උඩ සිට පහළට සිටින සියලු දෙනා දැඩිව සිතට ගැනීමය. ඕනෑම දේකට වර්ජනයට යාමට පෙර මේ මොහොතේ රට මුහුණ පා තිබෙන අර්බුදය දෙස එක් වරක් නොව දෙවරක්වත් සිතිය යුතුය. ඉකුත් දිනවල වාර්තා වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයෙන් කෝටි 2ක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි විය. ඒ අහිමි වූයේ රාජ්‍ය ආදායමය. එසේ රාජ්‍ය ආදායම අහිමි වෙද්දිත් ආණ්ඩුව රාජ්‍ය සේවකයා ඇතුළු රට වැසියන් දෙස ජනප්‍රියවාදී ආර්ථික විද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන් එහාට ගොස් බැලීම ධනවාදී ආර්ථික න්‍යායේ ආරම්භක න්‍යායාචාර්යවරයකු වූ ඇඩම් ස්මිත්ටත් සිතා ගැනීමට නොහැකි වන වැඩක් වනු ඇත.