News

ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව ලංකාවේ

ලෝකයේ වැඩිහිටි ජනගහනය දිනෙන් දින ඉහළ ගියත් වැඩිහිටියන්ගේ වයස දිනෙන් දින පහළ යමින් තිබේ. අප පරම ආයුෂ විඳින්නට නොගන්නා උත්සාහයක් නැත. එහෙත් එලෙස කිසිදු උත්සාහයක් නොගෙන දකුණු ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව කටුමැටි පැල්පතක ජීවත් වන්නීය.

කළුතර දිස්ත්‍රික්කයේ නෑබඩ ක්ලෝඩන් වත්තේ, ‘හෙදරලිය’ කොටසේ ගරා වැටෙන පැල්පතක ජීවත්වන වේලු පාප්පානී ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාවය. 1903 මැයි මස 03 වැනිදා උපන් වේලු පාප්පානිගේ වයස හෙට (ඔක්තෝබර් 01දා) වන විට අවුරුදු 117යි. මාස හතරකි. දකුණු ආසියාවේ වියපත්ම පුද්ගලයා ලෙස පසුගිය ජනවාරි මාසය වන විට වාර්තා වූයේ ජපානයේ පුද්ගලයෙකි.

අඩි 9×9 තරම් කුඩා කාමරයක ගරා වැටෙන පැල්පතක දිවි ගෙවන ඇය තවමත් ඉතාම නිරෝගීය. හොඳින් ඇස්, පෙනෙන, කන් ඇසෙන හොඳ සිහි බුද්ධියෙන් පසුවන්නීය. දෙමළ ජාතික පියෙකුට හා සිංහල ජාතික මවකට දාව 1903 මැයි තුන්වැනිදා පාප්පානි මෙලොව එළිය දුටුවාය.

පාප්පානිට දුවෙක් සහ පුතෙක් සිටියද දැන් ඒ දෙදෙනාම කොහේ දැයි පාප්පානි නොදනී. චතුර ලෙස සිංහල සහ දෙමළ කතා කළ හැකි පාප්පානි තවමත් තනිවම ඇවිද යන්නට වෙර දරන්නීය. නිතර ලස්සනට අඳින්නට අවශ්‍ය ඇය ජීවත් වන්නේ අතිශයින්ම කටුක, දුෂ්කර කටු-මැටි පැල්පතකය. ඇයට රැකවරණය සලසන සෙවණැල්ල මෙන් ළඟ සිටින මාලා ලෙච්චමී (68) සහ ඇගේ සැමියා තංගයියා ජීවත්වන්නේ ද මේ කුඩා පැල්පතේය.

වැසිකිළි, කැසිකිළි කිසිම පහසුකමක් නැති මේ කටු මැටි පැල්පතේ මේ තිදෙනාම වැතිරෙති. සැතපුම් කාලක් පමණ දුර ගෙවා බොන්න වතුර සොයා යන තංගයියා කුලී කම්කරුවෙකි. කුලියක් නොලැබුනොත් මුදලක් නොලැබෙන නිසා තිදෙනාටම බඩ ගින්නේ සිටින්නට සිදුවන අවස්ථාද ඇත.

එස්.මාලා ලෙච්චමී (68) මෙසේ අදහස් පළ කළාය. – ‘‘මම වත්තේ කුලියට කිරි කපල තමයි ජීවත් වෙන්නෙ. මහත්තය කුලී වැඩක් ලැබුණොත් කරනවා. පාප්පාම්මා අපට හමුවෙලා දැං අවුරුදු තිහක් විතර වෙනවා. එයාගෙ දරුවො මෙහේ නැහැ. මගේ පුතාව පුංචි කාලෙ බලාගත්තේ පාපම්මා. ඒ නිසා එයාව අපේ අම්ම වගේ අපි බලා ගන්නවා.

නමුත් අපට ගෙයක් නෑ. මේ පැල්පත තෙමෙනවා. බිත්ති පෙරළෙනවා. වතුර නෑ. පාපම්මාට යන්න වැසිකිළියක් නෑ. ඉන්නෙ මේ ඇඳ උඩම තමයි. මම කිරිකපන්න යනවා. මහත්තයට කුලියක් ලැබුණොත් මෙයාව කුස්සියෙ තියල යනවා. දෙන ඕන දෙයක් කනවා. ලොකුවට ලෙඩක් නෑ.

එයාට හොඳට අඳින්න ඕන. නිතරම තෙමා ගන්නවා. පිටි දෙන්න ඕන. ආණ්ඩුවෙන් මාසෙටම රුපියල් 5000ක් ලැබෙනවා. ඒක සුමානෙටත් මදි. දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමිය, සමෘද්ධි කට්ටිය පසුගිය අවුරුද්දෙ ඇවිත් තෑගි දීලා ගියා. පත්තරේ, ටී.වී. වල ගියාම අපට ගෙයක් හදල දෙනවා කිව්වා. වතුර දෙනවා කිව්වා. තාම මොනවත් නෑ. අවුරුදු 117ක් ගියත් එයත් අපිත් කන්නේ රොටි, පාන්, තෝසෙ තමයි.’’

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න