කතුවැකි

ආලෝකය උදාවේවා!

මේ අනුබුදු මිහිඳු හිමි මෙලකට වැඩම කළ පොසොන් උත්සව සමයයි. අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ මොහොතේ මුවින් පිට වූ ආලෝකෝ උදපාදී හෙවත් ‘‘ආලෝකය උදාවිය’’ යන උදාන පාඨයෙන් හැඳින්වූ ධර්මස්කන්ධය මේ පොසොන් සමයේ මෙරටට ගෙනා බැවින් මෙලක නා නා දෑසින් ආලෝකමත් විය. ඒ ආලෝකය ගෙනැවිත් වසර දෙදහස් හාරසියකට පසු ජුනි 26දාක ලාංකිකයෝ පළමු වරට ආලෝකය දෙන විදුලි බුබුළක් දුටුවෝය. ඒ 1882 ජුනි 26 කොළඹට ආ නැවක පත්තු වූ විදුලි බුබුළකි. ඒ විදුලි බුබුළ දැක වසර එකසිය විසි නවයක් ගෙවුණු අද ලංකාව ජාතික විදුලි බලශක්ති දිනය ලෙස නම් කෙරෙයි.

විදුලිය රටක ජනතාවගේ ජීවිතය සපුරා විපර්යාසයන්ට පත් කරන්නේය. දරුවාට ඤාණා ලෝකයද, පුරවැසියාට ජීවනෝපායද ගෘහණියට විමුක්තියද රටට කර්මාන්තද ජාතික ආදායමද ගෙන එන්නේ විදුලි බලයයි. විදුලිය රටක සංවර්ධනයේ ගාමක බලවේගය යයි උගතුන් කියා ඇත්තේ මේ සියල්ල පිරිසිද දැනගෙනය. මෙරට ජන ජීවිතය සියවස් ගණනාවක් පොල්තෙල් පහන් එළියෙන්ද පසුව භූමිතෙල් පහනේ ආලෝකයෙන්ද ආ ගමනේ විප්ලවීය වෙනසක් කළේ විදුලියේ ආගමනයත් සමගය. එය සංවර්ධනයේ ආගමයි.

දැන් මේ රට දුවන්නට දිනකට විදුලි මෙගාවොට් 2400ක් පමණ වුවමනාය. වෙසක් පොසොන් දාට 2600ක් පමණ වුවමනාය. විදුලිය තිබෙන ගෙවල් හැත්තෑ ලක්ෂයද ඉක්මවා තිබේ. ඊට වඩා එළියක් ඇති කියමන වන්නේ දැන් මෙරට විදුලිය නැති ගෙවල් ලක්ෂයට වඩා අඩුය කීමය. මීට දශක දෙක තුනකට කලින් මෙරට ජාතික අභියෝගය වූයේ රටේ නිවාසවලින් සියයට හැත්තෑ පහකටවත් විදුලිය ලබා දීමය. දැන් ඉතිරි ගෙවල් සංඛ්‍යාවට විදුලිය දීම අභියෝගයක් නොවේ. අභියෝගය ඇත්තේ අපේම මූලාශ්‍රවලින් බලශක්තිය උත්පාදනය කරගෙන අපේ රටේ ස්වාධීනත්වයට බලශක්තියේ උරය දීමය. දැන් විදුලි ඒකකයක් නිපදවන්නේ රුපියල් 23කටය. එයින් ගෙවල් ලක්ෂ විසි හතකට විදුලි ඒකකයක් රුපියල් 3.50කට ලැබෙන අතර ගෙවල් ලක්ෂ පහළොවකට රුපියල් පහයි අසූපහ ගණනේ විදුලිය ලැබේ. එයින් වන අලාභය බිලියන 20කි. එය මෙරට සහනාධාර ගණන් නොබලන සහනාධාරයකි.

කෙසේ වෙතත් මේ විදුලියෙන් තුනෙන් එක බැගින් තෙලෙන්, ගල් අඟුරෙන් පුනර්ජනනීය ශක්තියෙන් නිපදවේ. දැන් වුවමනා කරන්නේ තෙලෙන්, ගල් අඟුරෙන් නිපදවන විදුලිය පුනර්ජනනීය හෙවත් ජලයෙන් හුළඟෙන් අව්රැසින් නිපදවීමය. එසේ කිරීමෙන් තෙලට වෙන විදේශ විනිමය අඩු කරගෙන ස්වාධීනත්වය ඉහළ දමා ගත හැකිය. විදුලි බුබුළ දැක වසර 125 ගෙවෙන තැනේ එය සිදු වුවහොත් අපටද ආලෝකෝ උදපාදී කියා සතුටු විය හැකිය.

කාබනික පොහොරට කර තියන්නේ කවුද?

රසායනික පොහොර මෙරටට ගෙන ඒම නතර කරන බව ප්‍රකාශයට පත් කිරීමත් සමග මහා වියවුලක් ගොවි සමාජයේ ඇතිවීගෙන යයි. මේ ප්‍රකාශය කිරීමත් සමගම ඉදිරි කන්නයට පිරිමැසෙන තරමට ගෙන්වා තිබූ පොහොර මෙ.ටො. 385000 එකවරම අතුරුදන් විය. රජරට උපන් කෙනකුට පිට පළාතකින් පෙළවහක් දෙන්නේ නැත. රජරට රසායන පොහොර නිසා වකුගඩු දියවෙන නිසාය. බතේ ආසනික් හංගා ඇළදොළේ ගලන්නේ ජලය නොව වස දියරයයි යනාදී වශයෙන් කෙරුණ විරෝධතා එකවරම අතුරුදන් විය. මේ සටන් පාඨ අතුරුදන් වූයේ ලංකාවට ගෙන්වා තිබෙන පොහොර මො.ටො. 380000 අතුරුදන් වීමට වඩා වැඩි වේගයකිනි. දැන් ඒ පරිසරවේදී හඬ නෑසේ.

එදා අධිවේගී මගේ තිබූ පඬුකරද ගහ කපද්දීත් සිංහරාජය අසලින් පාරක් කපද්දීත් එදා පරිසරවේදීන් එස වූ විරෝධතා පුවරුවල අකුරු අද ගොවියන් රසායන පොහොර දියව් කියා ඔසවන විරෝධතා පුවරුවල තිබෙනු අපට දැක ගත හැකිය. දැන් ඔවුන් ඉන්නේ කන්නයක් දෙකක් ගියාට පසු හෙමිහිට කාබනික පොහොරවලට රට හුරු කරවිය යුතුය යන මතයේය. ඊළඟ කන්නයේද ඔවුන්ගේ ඒ අඬහැරයම අසන්නට සිදු වනු ඇත. සැබවින්ම තව කන්න හයක් කැපෙන විට ආණ්ඩුව අවසන්ය. සැබවින්ම රසායන පොහොර ගෙන්වන සමාගම්වලට තව කන්න තුනක් අල්ලා සිටියහොත් ඊළඟට එන ආණ්ඩුවට පොහොර හිඟයකින් තොරව නොබියව ලබා දෙමි යන පොරොන්දුව පමණක් ගොවි ජනතාව දිනා ගැනීමට මග සැකසේ.

සැබවින්ම මේ මහ පොළොව මිය ඇදී අවසන්ය. අපගේ ජලාශ සියල්ලෙහි විෂ දියර ගලන්නේය. වක්කඩේ වතුරෙන් කට සෝදන ගොවියා වකුගඩු රෝගී සායනයේ පෝලිමේ ඉන්නටත් සුදුස්සෙක් වන්නේය. එසේ තිබියදී මෙය කන්න ගණන් ගත කළ යුතු කාර්යයක් නොවේ.

තත්ත්වය එබඳුව තිබියදීත් ආණ්ඩුවේ ඇමැතිවරු අතරේ තවත් මේ කාර්යය කළ හැකිය යන ධෛර්යය නැති බව ජනතාවට පෙනේ. මේ විෂයට සම්බන්ධව රාජ්‍ය ඇමැතිවරු හයක් සිටිති. පොල්, කිතුල්, තල්, උක්, කජු, බුලත් ආදී භෝගවලටද මේ ඇමැතිවරු වගකියති. ඒ කෘෂිකර්ම, පොහොර, ගම්මිරිස් ආදී විෂයයන්ට ඉන්නා ඇමැතීන්ට අමතරවය. එහෙත් ඔවුන්ටවත් කාබනික පොහොර වුවමනා පමණ නිපදවිය හැකිද? අස්වැන්න අඩු වී ආහාර අහේනියක් ඒවිද ආදී ප්‍රශ්නවලට උත්තර නැති පාටය.

කාබනික පොහොරෙන් තේ නිපදවිය හැකිද, තේ දලු අඩුවේද, කාබනික පොහොර නිෂ්පාදන මිල ගණන් අහස උසට නගීද ආදී ප්‍රශ්නවලට උත්තර තිබෙන පාටක් නැත.

පොල්ගොල්ලෙන් උතුරට හැරවූ මහවැලිය තිස් වසරකින් නිමා කිරීම මැතිනියගේ අදහස වුවත් ජේ.ආර්. ජයවර්ධන එය සය වසරකින් නිමා කිරීමට කඩිනම් මහවැලි යෝජනාව ගෙනාවේය. තිස් වසරක දැවැන්ත යෝජනාවක් සය වසරකින් නිමා කිරීමට ඇලඩින්ගේ පුදුම පහන තියෙන්න ඕනෑ බව එදා බොහෝ දෙනා කීහ. එහෙත් මහවැලි වතුරට වඩා වේගයෙන් රජයේ ප්‍රචාරක වැඩපිළිවෙළ සිත් සතන් හරහා ගලා ගියේය. කඩිනමින් මහවැලි හදන්නේ කොහොමද යන පැනය නගන සියල්ලන්ටම නිශ්චිත පැහැදිලි උත්තර ලැබිණි. මහවැලිය ගොඩ ගියේ එයිනි. එහෙත් එබන්දක ලකුණක්වත් කාබනික පොහොර කෘෂිකර්මාන්තයට නැත. එම නිසා මේ යෝධ විප්ලවය කරන්නට යන අය තුළවත් මේ කාර්යය ගැන විශ්වාසය ගොඩ නගා ගත යුතුය. නැතිනම් වෙන්නේ මඩ සෝදා ගත් ගොවියා රජකමට පයින් ගසන එකය.