විශේෂාංග

ආර්ථික සංවර්ධනය පිළිබඳ කාන්තා ඇඳුම් න්‍යාය

භෞතික ජීවන තත්ත්ව දර්ශකය, දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වැනි රටක සංවර්ධනය මැනීමේදී උපකාරි කර ගත හැකි නවතම ආර්ථික දර්ශකයක් මෙරට සිටින ආර්ථික විද්‍යාඥයකු පසුගියදා ලොවට හඳුන්වා දුන්නේය. ඔහු නම් අන් කවරෙකුවත් නොව අපට සිටින අතේ ඇඟිලි ගණනටත් අඩු ආර්ථික විද්‍යාඥයන් අතුරින් ප්‍රමුඛයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වාය. ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණය හා පොදු සැපයීම් පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයාද වන ආචාර්ය හර්ෂ සොයාගත් නව ආර්ථික විද්‍යා න්‍යාය නම් රටක ආර්ථික සංවර්ධනය ඒ රටේ කාන්තාවන්ගේ ඇඳුම් පැලඳුම් හා ආයිත්තම්වලට සමානුපාතික බවය.

එය තවත් විස්තර ලෙස කියන්නේ නම්, කිසියම් රටක කාන්තාවන් හොඳින් ඇඳ පලඳින්නේ නම්, අඩි උස සපත්තු පලඳින්නේ නම් හා රූපලාවණ්‍යාගාරවලටද යන්නේ නම් ඒ රට ඉහළ මැදි ආදායම් ලබන රටකි.

ආචාර්ය හර්ෂද සිල්වාගේ මේ සොයා ගැනීම ගැන අපට නම් එතරම් පුදුමයක් නැත්තේ ඔහු ආර්ථිකය සම්බන්ධයෙන් දක්වා ඇති නිපුණතාව අපට රහසක් නොවන බැවිනි. පසුගිය ආණ්ඩුව සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉලක්කමක් එහා මෙහා වුවත් ඒ ගැන අර්ථකථන ඉදිරිපත් කළේ මේ ආචාර්ය හර්ෂයන් බව අමතක කළ හැක්කේ කෙසේද? ඔහු දැන් කොටස් වෙළෙඳපොළ කතා නොකරන්නේ දැන් එහි කතා කිරීමට තරම් දෙයක් නොමැති නිසා විය හැකිය.

ආචාර්ය හර්ෂ ද සිල්වා කියන අන්දමට මෙතෙක් කලක් පහළ මැදි ආදායම් ලබන රටක්ව පැවැති ශ්‍රී ලංකාව මීට මාස දෙකකට පෙර ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබේ.

එය සනාථ වන්නේ අපේ කාන්තාවන් ජැන්ඩි පහට අඳින පලඳින නිසාවෙනි. අපේ රට මේ දියුණුව ලබන්නට ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ආර්ථික විද්‍යා ඥානය ඉවහල් වූවාට සැක නැත. ඇතැම් විටෙක ආණ්ඩුවේ උසනම් සිකුරිටි – මිටිනම් කම්කරු රැකියා ප්‍රතිපත්තියද මෙතුමන්ගේ අදහසක් අනුව ක්‍රියාක්මක වූවක් විය හැකිය.

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ මේ සංවර්ධන න්‍යාය තව තවත් විස්තාරණය කර ගන්නට පුළුවන.

සුපර් මාර්කට්ටුවක් දොරකඩ ඉන්නා කෙනකුට මේ රටේ ලොව අංක එකේ සංවර්ධිත රටක් බව තේරුම් ගත හැකිය. පෝය දාට පෙර දවසේ බාර් එකක් ළඟින් ගියොත් මේ රටේ මහා සංවර්ධනය තවත් හොඳින් තේරුම් ගත හැකිය. වුවමනා නම් කෝපි කඩේ ටෙලි නළුව නරඹන විටද රට සංවර්ධිත බව ඉඳුරා කිව හැකිය. මක් නිසාද ඒ ටෙලි නළුවේ හැටියට ඈත පිටිසර මුළුතැන්ගෙයි උයන කාන්තාවද ඉන්නේ මේක් අප් කර තොල් රතු කර නවීනම සාය හැට්ට ඇඳලාය. ආචාර්ය හර්ෂ කෝපි කඩේ මේවා බැලුවා නම් මේ රට නිකං සංවර්ධිත නොව මෙගා සංවර්ධිත බව කියනු ඇත.

එසේම ආචාර්ය හර්ෂ දැකිය යුතු තවත් දසුන් පෙළක් තිබේ. සුපර් මාර්කට්ටුවෙන් බඩු ගන්නා අති බහුතරය එසේ කරන්නේ ක්‍රෙඩිට් කාඩ් හෙවත් ණය පතට පින් සිදු වෙන්නටය. ඒ ක්‍රෙඩිට් කාඩ් බොල් ණය වී ගිණුමට බැර කරන්නට මූල්‍ය ආයතනවලට සිදුව ඇති සැටි පසුව සොයා බැලිය යුතු කාරණයකි. අනෙක් අතට රටේ සංවර්ධනය සොයා බැලිය හැකි නිර්ණායකය ක්ෂුද්‍ර මූල්‍ය ණයය. පිටිසර බද ප්‍රදේශවල ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත් ගැමියෝ වහ බීමට සූදානම්ය. ගොවියෝ වහ බිව්වේ ජොලියට යැයි යූඑන්පී ආණ්ඩුවේ කෙරුමෙකු එදා කියූ හැටියට හර්ෂ ද සිල්වාටද ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා වහ බොන කතාව සංවර්ධනයට ඈඳා කිව හැකිය.

මේ සොයා ගැනීම අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා තවත් ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු මෙන්ම න්‍යායාචාර්යවරයකු වූ කේන්ස් ද ඉක්මවා යන ආර්ථික ඔස්තාර් කෙනකු ලෙස සැලකුම් ලැබිය යුත්තෙකි. මධ්‍යතන යුගයේ යුරෝපයේ ආර්ථික අවපාතයට විසඳුම් ලෙස සාමාන්‍ය න්‍යාය හෙවත් ‘‘general theory’’ ඉදිරිපත් කළේ කේන්ස් විසිනි. රැකියා වියුක්තිය තුරන් කිරීම සඳහා ඔහු අපූරු විසඳුමක් යෝජනා කළේය. ඔහු ආණ්ඩුවලට කීවේ රැකියා වියුක්තිය වැඩිනම් කානු කපන්නට හෝ රැකියා දී වැටුප් ගෙවන ලෙසය. තවදුරටත් රැකියා වියුක්තිය තිබේනම් කපන ලද කානු වසන්නට පිරිස් බඳවා ගන්නා ලෙස ඔහු යෝජනා කළේය. කෙසේ වුවත් ආචාර්ය හර්ෂගේ ආර්ථිකය පිළිබඳ කාන්තා ඇඳුම් න්‍යායට අනුව අපට තේරුම් ගත නොහැකි කරුණු කිහිපයක් තිබේ. ඒ අපේ නොදැනුවත්කම නිසා විය හැකිය.

රටක ගොඩනැගිලි හැදුවාට, අධිවේගී මාර්ග හැදුවාට ඒ රටේ සංවර්ධනයක් සිදුව ඇතැයි පිළිගත නොහැකි බව කීවේ හර්ෂ ද සිල්වලා ය. එසේම වරායවල් හෝ ගුවන් තොටුපොළවල් හැදීමෙන් ණය බර වැඩිවනවා මිස සංවර්ධනයට තඹ සතයක හෝ දායකත්වයක් නොලැබෙන බව කීවේද මේ අයමය. කොහොම කල්පනා කළත් මේ න්‍යාය නම් අපට තේරුම් ගන්නටම බැරිය.

කෙසේ වෙතත් ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ආර්ථිකය පිළිබඳ කාන්තා ඇඳුම් න්‍යාය ආර්ථික විද්‍යාව හදාරන සිසුන්ට සේම ආචාර්ය මහාචාර්යවරුන්ටත් ඔවුන්ගේ කටයුතු ඉතා පහසු කරන්නක් බව කිව යුතුය. රට රටවල සංවර්ධනය මැනීමට සංඛ්‍යා, දත්ත එක් රැස් කරමින් ඒවා විශ්ලේෂණය කරමින් මොළය වෙහෙසවන්නට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ඒ ඒ රටවල කාන්තාවන් අඳින පලඳින හැටි නිරීක්ෂණය කිරීම පමණකි.

ඇතැම් විටෙක ආචාර්ය හර්ෂ ද සිල්වා සමග තරගයක නිරතව සිටින රවී කරුණනායක හෝ එරාන් වික්‍රමරත්න වැනි ඇමැතිවරයෙක් ඉදිරි දිනයක මීට සමාන වෙනත් දර්ශකද උපයෝගි කරගෙන ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස නම් කරන්නටද බැරි නැත.

ආණ්ඩුව කියන සංවර්ධනය ඇහැට පේන්නේ නැත්තේ ඇයිදැයි විපක්ෂය නගන චෝදනාවට එය කදිම පිළිතුරක් වනු ඇත.