විශේෂාංග

ආයේ දෙකක් නෑ මේකා සිවුරු ඇරපු එකෙක්

උදය රොහාන් ද සිල්වා කී විට නොදන්නා බොහෝ දෙනෙක් ඔහුව යූ.ආර්. ද සිල්වා කී විට හඳුනයි. ජනාධිපති නීතිඥයකු වන ඔහු නීතිය පිළිබඳ ග්‍රන්ථ ගණනාවක් ලියා ඇති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකි. මෙකල අධිකරණ අමාත්‍යාංශයේ නීති උපදේශකය. මේ හැඳින්වීම්වලට වඩා ඔහුගේ කළු කබාය ඇතුළේ තවත් චරිතයක් සිටින්නේය. ඔහු දක්ෂ වේදිකා නළුවෙකි. ඉස්කෝලේ යන කාලයේ සිටම නිවේදනයටත්, අත්අකුරුවලටත් දක්ෂයෙකි. එබැවින් අපි මෙවර ඔහුට ආරාධිත ලිපිය ලියන්නට ආරාධනා කළෙමු.

පාසල නිම වී ලංගම රතු බසයේ නිවසට පැමිණ දිවා ආහාර ගැනීමෙන් පසු පියා ගෙදර එනතෙක්ම සෙල්ලම් කිරීමට අප දැක්වූයේ පුදුම ආසාවකි. ඒ ආසාවට අපට වෙලාවක්ද එදා තිබිණි. ටියුෂන් පසුපස දරුවන් හඹා යාමක් එකල නොතිබූ නිසා අපට අපේ ළමා කාලය අහිමි නොවුණේය. මගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට් සහ බස් එළවීමයි. පොල්පිත්තෙන් ක්‍රිකට් පිත්තක් සකස් කරගත්තාට පසු කඩුල්ලට භාවිත කළේ ලොකු නෙස්ප්‍රේ ටින් තුනකි. ඒ ටින් තුනම බස් රථ එළවීමේ සෙල්ලමට ගත්තේ බස් රියැදුරෙක් ලෙස හැසිරීමට මට තිබූ බලවත් ආසාව නිසාය. ගෙදරදී එවන් දේ කිරීමේ ආසාවන් තිබුණ මට පාසලේ ප්‍රවෘත්ති කීමේ ආසාවක්ද ඇති වුණේය.

ආනන්දෙ අපගේ ක්‍රිකට් භාර ආචාර්යවරයා වූයේ ලයනල් මෙන්ඩිස් ගුරුතුමායි. අද ලංකාවේ බොහෝ පාසල්වල ප්‍රවෘත්ති ප්‍රචාරය කරන ඒකක ඇත. නමුත් පාසල්වල මුලින්ම ප්‍රවෘත්ති ප්‍රචාරය ඇරඹුවේ ආනන්දයෙනි. එහි නියමුවා වූයේද අපේ ක්‍රිකට් භාර සර්ය. මම එතුමා හමුවී මගේ ආසාව ප්‍රකාශ කළෙමි. නිවේදනය සඳහා අවශ්‍ය මූලික අංගයන් වන්නේ හොඳ ‘ස’ කියවීමය. මට ‘ස’ යනු හොඳින් කියැවීමට හැකිදැයි බැලීමට එතුමා වෙළෙඳ දැන්වීමක් කියවීමට දුන්නේය.

‘‘සීතල සුළං රැල්ලක සුවය මැදින් ඔබ සුන්දර ලෝකයකට ගෙන යන්නේ…’’

මම ඒ දැන්වීම කියාගෙන ගියෙමි. මුළු දැන්වීමම කියා අවසන් වීමට පෙර,

‘‘හරි, හරි තමුසෙගේ ‘ස’ යනු හොඳයි. හෙට ඉඳන් උදේම ඇවිත් නිවුස් කියනවා.’’

එතුමාගේ වදන් මට ඉමහත් සතුටක් ගෙන දුන්නේය. ‘ස’ යන්නේ​ හොඳකම නිසා ඊට පසුදින සිට වරින් වර සහෘද ආනන්දීයයන් සමග මම ද ප්‍රවෘත්ති කීම කරගෙන ගියෙමි.

70 දශකය කලාව බෙහෙවින් පෝෂණය වූ යුගයක් ලෙස කවුරුත් පිළිගන්නා කරුණකි. එකල මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු, මහගමසේකර, බුද්ධදාස ගලප්පත්ති යන කවි කිවිඳියන් ලියූ කවි පොත් කියැවීමට දැක්වූ පිපාසය තුළ නිසඳැස් ලිවීමේ ආසාව මට ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ඇති විය. ආනන්දයේ සියලුම ශිෂ්‍යයන්ට දැකගත හැකි ආකාරයට සකස් කර තිබූ දැන්වීම් පුවරුවේ ‘නිර්මාණ’ බිත්ති පුවත්පත සැකසූ බී.ඒ. චන්ද්‍රසිරිගේ ඉල්ලීමට නිසඳැස් ලියා එහි පළ කිරීමෙන් මට මාගේ ආසාව ඉටුකර ගැනීමට හැකි විය. චන්ද්‍රසිරි විසින් අඳින ලද චිත්‍ර මාගේ නිසඳැස් වඩාත් සුන්දර කිරීමට සමත් විය. ආනන්දයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හොඳම නිර්මාණශීලී කෘතිය වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් පිරිනැමුණි. ‘සිවගුරුනාදන් ත්‍යාගය’ නම් වූ එය මගේ කාව්‍ය නිර්මාණ එකලස් කර සැකසූ ග්‍රන්ථයට හිමිවීම මට ඉමහත් සතුටක් ගෙන දෙන්නක් විය. මගේ නිසඳැස් කා අතරත් ජනප්‍රිය වුණේය. එකල ආනන්දීය මගේ පන්ති සගයෝ සිය පෙම්වතියන්ට මා ලවා නිසඳැස් නිර්මාණය කොට ලබාදීමට උනන්දු වූහ. මාගේ ලස්සන අත්අකුරු සහ නිසඳැස්වල වූ ආකර්ෂණීය බව නිසාම සමහර ප්‍රේම කතා දිගටම ගලාගෙන ගොස් තිබේ. ඔවුන්ට මුලින්ම ආදරණීය නිසඳැස් ලැබුණේ තම ආදවන්තරයාගේ අත්අකුරුවලින් නොවන බව ඇතැමෙක් දැනගෙන තිබුණේ ඔවුන් විවාහ වී දරුමල්ලොත් ලැබුණු පසුවය.

‘‘මං මුලින්ම මෙයාට කැමති වුණේ ඒ ලස්සන අත්අකුරු හින්දා…’’

ඔවුන්ගේ විවාහ උත්සවයන්හිදී ඇතැම් තරුණ බිරිඳක් මට මූණටම කීවාය. ඇය ඒ කතාව කියූ විට මිතුරාත් මමත් සිනාසුනෙමු.

ජීව විද්‍යා අංශයෙන් වෛද්‍යවරයකු වීමට ආනන්දයේ ඉගෙනුම ලැබුවද මා තුළ සිටි සුන්දර මිනිසා මාව ඒ පැත්තෙන් කලා ලෝකයටම තල්ලු කෙරිණි. නාට්‍යවලට මා දැක්වූ දැඩි කැමැත්ත නිසාම නෝබට් ජේ. මයර් නම් වූ ශ්‍රේෂ්ඨ ජර්මන් ජාතික නාට්‍යකරුවා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු විසින් සංවිධානය කරන ලද වැඩමුළුවට ආනන්දයෙන් මාව සහභාගි කරවීමට බන්දු එස්. කොඩිකාර ගුරුතුමාත්, ගාමිණී විජේසූරිය ගුරුතුමාත් උනන්දු වූහ. එම වැඩමුළුවට වෙනත් පාසල්වලින් පැමිණ සිටි ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි මට මුණ ගැසුණේය. නෝබට් ජේ. මයර්ගේ කටහඬ පුහුණු අභ්‍යාස සහ අභිනය වැඩසටහන් අප සැමගේම රංගන හැකියාව වැඩිකර ගන්නට මහත් පිටිවහලක් විය. නෝබට් ජේ. මයර් අධ්‍යක්ෂණය කළ ‘අනේ අබිලික්’ නාට්‍යයෙ රඟපාන්නටද අපට අවස්ථාව ලැබුණේය.

‘අනේ අබිලික්’ නාට්‍යයේ කපුවාගේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම සම්බන්ධව මයර් මා විශේෂ ඇගයීමකට ලක් ක​ළේය. එපමණක් නොව, ඔහු සමග ජර්මනියට ගොස් වැඩිදුර නාට්‍යකරණය හැදෑරීමටද මට ආරාධනා කළේය. මගේ පියා එයට කිසිසේත් කැමති නොවන බව දැන සිටි මා ඒ බව ගෙදරට කීවේ නැත.

‘අනේ අබිලික්’ නාට්‍යයේ රඟපෑමෙන් ලැබූ පන්නරය මත මම සෝමලතා සුබසිංහ සමග ළමා නාට්‍ය දෙකකට සම්බන්ධ වී කටයුතු කළෙමි. ඒ වනවිට මා පාසල් අතර ඒකපුද්ගල ප්‍රසංග ඉදිරිපත් කිරීමෙන් ජනප්‍රිය වී සිටි අතර, ආනන්දයේ මා සමග ඉගෙනුම ලැබූ චන්දන තිලකරත්න රචනා කොට නිෂ්පාදනය කළ ‘නූතන කැකිල්ලේ’ නාට්‍යයේ මහ ඇමැතිගේ චරිතය රඟපානු දුටු ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ඔහුගේ ‘මාරාසාද්’ නාට්‍යයට මට ආරාධනා කළේය. එහි පුහුණුවීම් කටයුතු රෑ වනතුරු තිබෙන බවද කතා කිරීමේදී දැන ගන්නට ලැබුණි. එවන් ක්‍රියාවකට තාත්තාගෙන් කිසිසේත් අනුමැතියක්​ නොලැබෙන බව දන්නා නිසා ‘මරාසාද්’ රඟපාන්නට යන්නදැයි මා තාත්තාගෙන් ඇසුවේ නැත. ඉන්පසු ජැක්සන් ඇන්තනී රඟපෑවේ ඒ චරිතයයි. ගුවන්විදුලි හඬ පරීක්ෂණයෙන් ‘ඒ’ ශ්‍රේණියේ ශිල්පියකු ලෙසද සමත් වී සිටියෙමි.

‘‘ඔය විදිහට නාට්‍ය නට නට ඉන්නවද? නැත්නම් ලෝයර් කෙනෙක් වෙනවද?’’

සියල්ල අමතක කර කලා කටයුතුවල යෙදෙන මගේ ක්‍රියා පටිපාටිය ඉවසීමට නොහැකි තැන මගේ පියා මගෙන් ඇසූ ගැඹුරුම ප්‍රශ්නයයි. මා කලාවට කෙතරම් ලැදි වුවද යා යුතු මග එය නොවන බව ඒ ගැඹුරු හඬ මට පසක් කළේය. මගේ පියා මාව නීති විද්‍යාලයට ඇතුළත් කළේ ඔහු විසින්ම එහි ගොස් ඉල්ලුම්පතක් පුරවා භාරදී‍මෙනි.

අද සිටින බොහෝමයක් තාත්තලා අතරින් අපේ තාත්තා ‘පුදුමාකාර’ තාත්තා කෙනෙක් කියා අදටද මට සිතෙයි. ඒ, මගේ ජීවිත ගමන වෙනස් කළාටම නොවෙයි. අපටම කියා නිවසක් ගොඩනගනවාට වඩා ඔහුගේ කැපවීම තිබුණේ අපට ඉගැන්වීමටයි. එයට ඔහු ඉමහත් වෑයමක් දැරීය. බැංකු නිලධාරියකු ලෙස මගේ පියා චාර්ටඩ් බැංකුවේ සේවය කරන අවදියේ පාසල අවසන් වූ පසු මා එහි ගෙන ගොස් ඔහුගේ වැඩ අවසන් වනතුරු තබාගත් අවස්ථා තිබුණි. විවාහයට පෙර සිට යුද හමුදාවේ ස්වේච්ඡා සේවයට බැඳී සිටි ඔහු විවාහයෙන් පසු දුර බැහැර ප්‍රදේශවල පවා සේවයට ගියේ පවුලේ නඩත්තුවට බැංකු වැටුප මදිවූ හෙයින් අමතර ආදායමක් ලබාගැනීම සඳහා බව මගේ මව මා හට පවසා තිබුණි. අතිකාල දීමනා තුළින් පවුලේ ආර්ථිකය සවිමත් කිරීමට ඔහු දැරූ වෙහෙස මම සියැසින් දුටිමි.

තාත්තාගෙ දැඩි ඕනෑකමටම මම නීති විද්‍යාලයේ දොරගුළු හැර ගත්තෙමි. ඒ 1980 වසරේ ජනවාරියේය. නීති විද්‍යාලයට අඩිය තැබූ මොහොතේම මුහුණ දුන් නවකවදය අද ද මට සුන්දර අත්දැකීමකි. මා ගේට්ටුවෙන් ඇතුළු වෙද්දීම ඔවුහු පෙරමග සිටියහ.

‘‘මෙහෙට වරෙන්, මෙහෙට වරෙන්. උඹ කොළඹින්ද.. ගමෙන්ද? මොකද්ද ඉස්කෝලේ…’’

එය පහසු ප්‍රශ්නයකි. මම උත්තර දුන්නෙමි.

‘‘මම කොළඹ. ගියේ ආනන්දෙට.’’

“ආනන්දේ? මොකක්ද ඒ? මරියකඩේ සෙන්ට්‍රල් කියපං”

“ඔව්, ඔව්. එහෙම තමා.”

“වරෙල්ලා වරෙල්ලා කට්ටිය ඔක්කොම පේළියට ගිහින් බිම වාඩිවෙයල්ලා.”

නවක වදය මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගේ අණ එලෙස විය. නීති විද්‍යාලයේ මැද තිබෙන තණකොළ පලසේ වාඩිවීමට පළමු වසරට ඇතුළු වූ අපට අණ ලැබුණි.

“උඹ දැන් ඔක්කෝටම පන්සිල් දීපං.”

ඒ මට පැවරුණු රාජකාරියයි. රඟපෑම තුළින් ලද අත්දැකීම් උපයෝගි කරගනිමින් මම වහාම භික්ෂූන් වහන්සේ නමක් බවට පරිවර්තනය වීමි.

“පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන්වීම සඳහා නමස්කාරය කියන්න.”

මම භික්ෂූන් වහන්සේ නමකගේ ස්වරයට අනුගත වෙමින් කිසිදු චකිතයක් නොපෙන්වා පන්සිල් දුන්නෙමි. අනතුරුව ‘සමන්තා චක්ක වාලේන’ යන පාඨයද කියා අවසන් කළෙමි.

“ආයේ දෙකක් නෑ මේකා සිවුරු ඇරපු එකෙක්, උඹ හෙටත් වරෙන්, මග අරින්න එහෙම බෑ.”

මට අණ ලැබිණි.

මම නොපැකිලව ඊටද අවනත භාවය පළ කරමින් පසු දිනද නවක වදයට සහභාගි වීමි.

“අපට ආරංචියි උඹ නාට්‍යකාරයෙක් කියලා.”

මා රඟපෑ ‘අනේ අබිලික්’ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යය බැලූ ජ්‍යෙෂ්ඨයෙක් ඔත්තුව දී තිබුණි.

“දැන් ඔක්කෝටම පේන්න ඒකේ කෑල්ලක් කරපං. අපිට හිනා ගියේ නැත්නම් වැඩ වරදියි.”

‘අනේ අබිලික්’ නාට්‍යයේ දෙබස් කියමින් මා රඟපෑ විට ඔවුහු හූ හඬ නගමින් සිනාසෙන්නට පටන් ගත්හ.

“මාර පිස්සු ළමයෙක් නේද රුවනි.”

අපේ වසරේ ගෑනු ළමයෙක් තම යාළුවාට කියනු මට ඇසුණි.

ඒ පිස්සු ළමයා දිනක ඇගේ ජීවන සහකරුවා වේ යැයි ඇය එදා නොසිතන්නට ඇත. රුවනිද අද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් සම්පාදක තනතුර දරමින් තවමත් ඇගේ හොඳම යෙහෙළිය වී සිටිනු ඇති බව නොසිතන්නට ඇත.

දිවුරුම් දීමෙන් පසු එළඹුන සඳුදා දිනයේ, නීතිඥ වෘත්තියට සම්බන්ධ කිසිදු පවුල් පසුබිමක් නොමැතිව මම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පියමං කෙරුවෙමි. මහේස්ත්‍රාත් අධිකරණයේ උපදේශන ශාලාවට ඇතුළු වූ අවස්ථාවේ මාගේ නෙත ගැටුණු චරිතයක් විය. ඔහු මට වඩා අවුරුදු දෙකකට පෙර දිවුරුම් දී වෘත්තියේ යෙදී සිටි නීතිඥ වීරසේන රණහේවායි. නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමයේ උප සභාපතිව සිටියදී එකට වැඩ කිරීමෙන්, ජූරිය ඇමතීමේ තරගවලට සහභාගි වීමෙන් හා විවාද කණ්ඩායමේ සාමාජිකයකු වී සිටීමෙන් ඔහු මා සමග හිතවත්ව සිටියේය.

“ආ උදය රොහාන්, වරෙං මචං මගේ මේසේ ඉඩ තියෙනවා. මං උඹට උදව් කරන්නම්.”

මට අඬ ගසා ඔහු ළඟ වාඩි කරවා ගත්තේය.

නීතිඥ වීරසේකර රණහේවා මට පළමු නඩුව ලබාදී උසාවියේ පෙනී සිටින ආකාරයද කියා දුන්නේය. මම අංක 3 අධිකරණයට ගොස් වාඩි වී බලා සිටියෙමි. උදේ 10ට පමණ විනිශ්චයකාරතුමා අධිකරණයට පැමිණීමෙන් පසු නඩු කතා කිරීම ආරම්භ විය. මුලින්ම විභාග නඩු කතා කර, ඒවා සුදානම් යැයි නීතිඥවරුන් කී පසු නඩු ගොනු පසෙකින් තැබීම සිදු කෙරිණි. ඉන්පසු කැඳවීම් නඩු අඬගසන ලදී. විවිධ ඉල්ලීම් පැමිණිල්ලෙන් සහ විත්තියෙන් කෙරුණු අතර ඒවාට ඉඩදීම හෝ ප්‍රතික්ෂේප කිරීම විනිසුරුතුමා කරන අයුරු දකිමින් මගේ වාරය එනතුරු මම බලා සිටියෙමි.

අලුතින් කතා කරන නඩු අවසානයේ මෝෂන් කතා කිරීම ඇරඹිණි. නඩු පහක් හයක් යනතුරුත් මට දුන් අංකය කතා නො කෙරෙන විට, දැං ගනියි දැං ගනියි යන රිද්මයට මගේ හෘද ස්පන්දනය වැඩි වන බවක් දැනුණි. අවසානයේ ඒ අංකය කතා කළේය.

“නීතිඥ වීරසේන මහතාගේ මෝසම යැයි”

මුඩ්ලියර් කෑ ගැසීය. මම ඉදිරියට ගියෙමි. මා යමක් කීමට උත්සාහ ගත්තද තොල කට වියළී ගිය බවක් සහ දෙකනින් දුම් විසිවෙන බවක් මට දැනුණි. මගේ දෙකකුල් වෙවුලන්නට විය. ඒත් ඉන්පසු හුරු වූ උසාවියේදී මගේ දෙකකුල් කවදාවත් වෙවුලුවේ නැත. මම ටිකෙන් ටික ‘නඩු’ කතා කිරීම ඉගෙන ගත්තෙමි. නීතිඥවරයකුට සිය දක්ෂතා උපරිම ලෙසින් විදහා පෑමට නම් හරස් ප්‍රශ්න කලාව හොඳින් ප්‍රගුණ කළ යුතු බව නොරහසකි. හරස් ප්‍රශ්න ඇසීම කලාවක් ලෙස අවබෝධ කරගැනුමට මට උපකාර වූයේ මාගේ ගුරුතුමා වූ ආනන්ද විජේසේකර සහ අර්ඩ්ලි පෙරේරා යන ජනාධිපති නීතිඥවරුන්​ දෙදෙනාය. හොඳින් සූදානම් වී කෙටියෙන් ඉලක්කයට හරස් ප්‍රශ්න ඇසීම විත්තිකරු නිදහස් කරගැනුමට බෙහෙවින් උපකාරී වේ. එසේ නොකළහොත් විත්තිකරු ගෙදර යනවා වෙනුවට හිරගෙට යා හැකිය යන්න මතක තබාගත් සුවිශේෂ කරුණක් බව මම හැමවිටම මගේ කනිෂ්ඨ නීතිඥවරුන්ටද කියා දෙමි.

එවක් පටන් මම බොහෝ නඩු වෙනුවෙන් පෙනී සිටියෙමි. ඒවයේ ජයග්‍රහණ දුටුවෙමි. නිවරැද්දේ රක්ෂිත බන්ධනාගාරවල සිටින අයට යුක්තිය ඉටු කළෙමි. ‘කොටකෙතන ද්විත්ව ඝාතන නඩුව’ කොළඹ මහාධිකරණයේදී විභාගයට ගනු ලැබූ කහවත්ත ප්‍රදේශයේ සිදුවූ ආන්දෝලනාත්මක මිනීමැරුම් දෙකක් සම්බන්ධ නඩුවකි. එම ප්‍රදේශයේ ඝාතන ගණනාවක් සිදුව තිබූ අතර ඒ ඝාතන සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් ඒකකයක් පවා පිහිටුවා තිබුණි.

එම නඩුවෙන් මවක හා දියණියක දූෂණය කර, දෙදෙනාම ඝාතනයට ලක් කර පුලුස්සා දැමීම සම්බන්ධව අධි චෝදනා ඉදිරිපත් කර තිබුණි. එකල මහාධිකරණයේ විනිසුරුතුමිය වන දේවිකා තෙන්නකෝන් ඉදිරියේ විභාගයට ගන්නා ලදී. විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට සිටි ප්‍රධාන සාක්ෂිකරු නීතිපතිතුමා විසින් සමාව දෙනු ලැබූ, අපරාධ සහායකයකුය. ඔහුව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියදී සමාවක් ලබා, පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට එකඟ වී තිබිණි. සිද්ධිය කරන ලද පුද්ගලයා අතුරුදන් කිරීමක් කර විත්තිකරුවන් ලෙස කවරකු හෝ ඉදිරිපත් කිරීම පොලිසියේ එකම අභිප්‍රාය වූ බව නඩු ගොනුව හොඳින් අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙනී ගියේය. හරස් ප්‍රශ්න ඇසීමේදී එම සාක්ෂිකරු තමන්ගේ බේරීමට අසත්‍ය සාක්ෂි දෙනු ලබන බව සලකුණු කරන ලද, නඩුවේ හරයට කිඳා බසින පරස්පරතා සහ ඌනතාවලින් පෙන්වා දීමට හැකි විය. ඔහුගේ සාක්ෂිය පැමිණිල්ලේ වෛද්‍ය සාක්ෂි සමග පරස්පර බව විත්තිය විසින් පෙන්වා දෙන ලදී. තවද මියගිය දෙදෙනාගේ DNA, නඩුවේ විත්තිකරුවන්ගේ DNA සමග පරීක්ෂාවක් සිදුකරන ලද නමුත් විත්තිකරුවන්ගේ DNA සමග ගැළපීමක් සිදුවී නොතිබිණි. මෙම නඩුවට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණ නඩු ගොනුව පරීක්ෂා කිරීමේදී තවත් DNA වාර්තාවක් සොයා ගැනීමට අපට හැකි විය. අපරාධය කළ පුද්ගලයාව වෙනත් නඩුවක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන DNA පරීක්ෂාවක් කර තිබුණි. ඔහුගේ DNA සටහන් දත්ත ගබඩාවේ තැන්පත් වී තිබී ඇත. මෙම නඩුවට අදාළ විත්තිකරුවන්ගේ පරීක්ෂාව කරද්දී දත්ත ගබඩාවේ තිබූ එකී පුද්ගලයාගේ DNA සමග මියගිය දෙදෙනාගෙ DNA ගැළපෙන බවට පරිගණකයෙන් සංඥා නිකුත් වී ඇත.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායමේ නීතිඥ දර්ශන කුරුප්පු ඉමහත් වෙහෙසක් දරා මහාධිකරණයට එම වාර්තාව ගෙන්වාගෙන මහාධිකරණ නඩුවට විත්තිය වෙනුවෙන් ඉදිරිපත් කර සාක්ෂි මෙහෙයවීම කළේය. නඩුවේ ඉදිරිපත් වූ සියලු කරුණා සලකා බලා පැමිණිල්ලේ නඩුව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර නැති බවට තීන්දු කර, 2015 මැයි 28 වැනි දින විනිසුරුතුමිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළාය. සමාජයට නීතිඥවරයකුගේ සේවය කෙතරම් වටින්නේද යන්න එම නඩුවෙන් මනාව පෙන්නුම් කිරීමට අපට හැකි විය.

ඒ එකකි, දෙකකි. මම නඩු බොහෝ කතා කළෙමි. දැනුදු කතා කරන්නෙමි. එනමුදු මම හැමවිටම සිහියේ තබාගෙන සිටින කරුණක් ඇත. ඒ අධිකරණ සහායකයකු ලෙස නීතිඥවරයකුගේ කාර්ය භාරය යුක්තිය පසිඳලීමට අධිකරණයට සහාය වීම බව මතකයේ තබා ගැනීමයි. ඒ තාක් අපට වැරදීමක් සිදුවන්නේ නැත. මම, මගේ කනිෂ්ඨ නීතිඥයන්ට සේම රගර් ක්‍රීඩකයන් වී සිටින දරු දෙදෙනාටත් නිතර කියන්නේ තමනට අවංක විය යුතු බවයි. එවිට කිසිදු චෝදනාවක් හෝ වරදක් අපෙන් කිසිවකුටත් වෙන්නේ නැත. මුදල මත පමණක් ක්‍රියාකරන්නන් ලෙස සමාජය නීතිඥවරුන් ගැන ​ගොඩනගා ගෙන ඇති ප්‍රතිරූපය වෙනස් කිරීම එදත්, අදත්, හෙටත් මගේ අරමුණයි. එවිට කළු කබාය තුළ සුන්දර මිනිසුන් සහ ගැහැනුන් සිටින බව සමාජය පිළිගනු ඇත.

ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා

ඡායාරූප- ඒෂාන් දසනායන