Uncategorized

ආයතනික වගකීම සහ තිරසාරත්වය උදෙසා ශ්‍රී ලංකා ටෙලිකොම් හි අඛණ්ඩ දායකත්වයට තවත් ඇගයුමක්

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතනයේ ආයතනික වගකීම සහ තිරසාරත්වය උදෙසා වන දායකත්වය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩය මගින් පිරිනැමූ 2019 හොඳම ආයතනික පුරවැසි සම්මාන උළෙලේදී නැවත වරක් ජාතික මට්ටමෙන් ඇගයුමට ලක්විය. මෙම සම්මාන රාත්‍රිය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ඉකුත්දා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදිණි.

SLT ආයතනය මෙහිදී ‘වෙනත්’ යන කාණ්ඩය යටතේ හොඳම කාර්ය සාධනය සඳහා ක්‍ෂේත්‍ර සම්මානය හිමිකරගත්තේය.

රටේ ඩිජිටල් පරිනාමය උදෙසා උත්ප්‍රේරණ කාර්යභාරයක් ඉටුකරමින්, ජනතාව වෙනුවෙන් බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා සහ ඒ සඳහා වන ප්‍රවේශයන් වර්ධනය කරමින් දැරිය හැකි මිල ගණන් යටතේ ඒවා පිරිනමමින් රටේ ආර්ථිකය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හැකිවිය. එමෙන්ම විශාල පරාසයක ශක්තිමත් තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සපයමින් රටේ ජනතාවගේ අධ්‍යාපනය, රැකියාවන්, රසාස්වාදනය ආදිය නවමු තලයකට රැගෙන යෑමට මෙන්ම ඔවුන්ගේ පහසුව වැඩි වර්ධනය කිරීමටද සමාගමට හැකියාව ලැබුණි. කාබන් විමෝවනය (carbon footprint) අවම වන පරිදි ඊ-සේවාවන් සහ ඊ-විසඳුම් වෙත යොමුකරමින් රටේ හරිත පෙරළියක් සඳහා ප්‍රධාන භූමිකාවක්ද සිදුවිය. එයට අමතරව රට පුරා සේවයේ යෙදෙන 7000 ක් ඉක්මවා යන දැවැන්ත ශ්‍රම බළකායක සේවා යෝජකයා ලෙසද SLT ක්‍රියා කරයි. මෙසේ රැකියා අවස්ථා උත්පාදනය කරන අතරවාරයේ සේවක සුබසාධනය අතින්ද වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම හේතුවෙන් එම සමාගම තෝරාගැනීමට ලක්වන සේවා යෝජකයකු බවට පත්ව සිටියි.

වර්ෂ 2030 දී ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන, දැනුම පාදක කරගත් ආර්ථිකයකින් බලගැන්වුණු රටක් බවට පත්වීමේ රජයේ දැක්මට අනුව SLT හි උපාය මාර්ගයන් පෙළගස්වා තිබේ. රටේ තොරතුරු සහ සන්නිවේදන සාක්‍ෂරතාවය වර්ධනය වනසේ රටේ ජාතික ඩිජිටල් ආර්ථික උපායමාර්ගයන් වෙත කැපී පෙනෙන දායකත්වයක් ලබාදීම සමාගමේ දැක්ම සහ මූලික ප්‍රයත්නය වේ. එපමණක් නොව, ජාතික සන්නිවේදන යටිතල පහසුකම් ජාල ක්‍රියාකරු ලෙසින්ද සබ්මැරීන් රැහැන් සඳහා විපුල ආයෝජනයක් කරමින්ද මෙරට ආර්ථිකය වෙනුවෙන් කැපී පෙනෙන වටිනාකමක් එක්කිරීමට SLT කටයුතු කර තිබේ.

මේ සියල්ල වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදුකරන අතරවාරයේ 2018 වසරේදී රුපියල් බිලියන 81.4ක් ඉක්මවූ සමස්ත ආදායමක් දායක කිරීමට SLT සමූහයට හැකිවිය. එසේම බදු වශයෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 30ක දායකත්වයක් ලබාදීමටද සමාගමට හැකිව තිබේ.

ශ්‍රී ලංකාවේ ආයතනික තිරසාරත්වය පිළිබඳ වැදගත්කම අගයමින් ව්‍යාපාරයේ තිරසාරත්වය ඇගයීමට ලක්කිරීමත් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණුවලට සමගාමීව එදිනෙදා ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවලදී සම්පත් කාර්යක්‍ෂමව භාවිත කිරීම, පරිසර දූෂණය අවම කිරීම මෙන්ම සියලු ව්‍යාපාර මෙහෙයුම් සහ නිෂ්පාදන කාර්යයේදී සේවකයන්ගේ, පාරිභෝගිකයන්ගේ හා ප්‍රජාවන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය සුරක්‍ෂිත කිරීමේ අරමුණු පෙරදැරිව මෙම ‘හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානය’ සංවිධානය වේ. ඉහත සඳහන් හඳුන්වාදීම් ඔස්සේ ආයතනික වගකීම සහ තිරසාරත්වය සම්බන්ධයෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම සහ දායකත්වය SLT වෙත දිගින් දිගටම හිමිවන මෙම සම්මානවලින් සනාථ කර දක්වයි.